ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන

 


 ආයෝජකයකුගේ එක් ඩොලරයකට හිමිවන රුපියල් ප්‍රමාණය ඉහළ යාම හේතුවයි

2026 දී එ.ජ. ඩොලර් බිලියන 1.5 ක ඍ විදේශ ආයෝජන ඉලක්කයක්

මුල් මාස හතරේදී එම ඉලක්කයෙන් සියයට 10ක් සම්පූර්ණ කරගෙන

වසර තුළ ඩොලර් බිලියන 2ක් වටිනා ඍ විදෙස් ආයෝජන එකඟතා අපේක්ෂාවක්

ක්ෂේත්‍ර 08 ක ව්‍යාපාර 30ක් සඳහා වන ආයෝජන අවස්ථා ප්‍රසිද්ධියට පත් කරයි

පරන්තන්, කන්කසන්තුරේ, ඉරණවිල සහ කප්පල්තුරේ නව BOI ආයෝජන කලාප

Paypal  හිමි වීම කුරුණෑගල සහ ගාල්ලේ පිහිටුවන තාක්ෂණික උද්‍යාන වෙත වාසියක් බව පවසයි 


භානුක අමරසිංහ


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණයවීම රට වෙත වැඩි වශයෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා අවස්ථාවක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. 

ඒ අනුව රට තුළ පවතින මෙම අවස්ථාව දේශීය සම්පත් යොදාගෙන අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන සිදු කරන ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් බවත්, එය ප්‍රයෝජනයට ගනිමින් වැඩි වශයෙන් එවැනි ඍජු විදේශ ආයෝජන ආකර්ෂණයට කටයුතු කිරීම මේ මොහොතේදී සිදුකළ යුතු ප්‍රධානම කටයුත්තක් බවත් ජයවර්ධන මහතා ලංකාදීප FT සිදුකළ විමසීමකදී සඳහන් කළේය.

“විදෙස් ආයෝජකයකු දැනට මාස දෙකකට පෙරාතුව රටට ගෙන එන එක් ඩොලරයකට ලැබුණු රුපියල් වටිනාකමට වඩා දැන් ලැබෙන මුදල ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ රුපියලේ අවප්‍රමාණයවීමෙන් ආර්ථිකයට එල්ල වන බලපෑම වගේම ඍජු විදේශ ආයෝජන වෙත හිමිවන වාසිය ගැනත් කල්පනා කරන්න වෙනවා. දැන් කළ යුත්තේ රට තුළ ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යමින් එවැනි ආයෝජකයන්ට ශ්‍රී ලංකාව වඩාත් හිතකර තැනක් බව පෙන්නුම් කිරීමයි.’’

විශේෂයෙන්ම රුපියල අවප්‍රමාණයවීමෙන් ආයෝජකයන්ගේ ආයෝජන පිරිවැය අඩුවීම නිසා, ලංකාව තුළ ඉඩම් මිලදී ගැනීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ ශ්‍රම පිරිවැය යනාදිය ඩොලර් වටිනාකම් අනුව ගණනය කිරීමේදී වඩාත් ලාභදායී අවස්ථාවක් වෙයි. එසේම රුපියලේ අවප්‍රමාණයවීම නිසා ගෝලීය වෙළෙඳ පොළේ මෙරට තොරතුරු තාක්ෂණ වැනි නිෂ්පාදනවල ඩොලර් මිල අඩු වී තරගකාරීත්වය ඉහළ යාමක්ද සිදු වෙයි. ඒ අනුව මෙය ඇතැම් ක්ෂේත්‍රවල විදේශ ආයෝජන ආකර්ෂණයටද හේතුවක් වනු ඇතැයි සඳහන් වෙයි. 

කෙසේ වෙතත් ආනයන මත යැපෙන අපනයන කර්මාන්ත ආයෝජන වෙත මෙම අවස්ථාව තර්ජනයක් එල්ල කරමින් තිබේ.

ජයවර්ධන මහතා පෙන්වා දෙන ආකාරයට පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් හිමි වුණු අතර මේ වසරේදී එය ඩොලර් බිලියන 2ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව වී තිබේ.

“සැබෑ ලෙසම රට වෙතට ඩොලර් බිලියන 1.5 ක ආයෝජන ලැබේවි කියන විශ්වාසය තිබෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 2ක් පමණ වටිනා ආයෝජන එකඟතාවන් වෙත පැමිණීමේ හැකියාවක් මේ වසර තුළදී තිබෙනවා. කර්මාන්ත, සංචාරක කර්මාන්තයේ ආයෝජන, නිවාස සහ මිශ්‍ර සංවර්ධන වගේම යටිතල පහසුකම් කියන ක්ෂේත්‍ර මීට ඇතුළත්. 2026 වසරේ මුල් මාස හතර ගත්තොත් වසරේ ඍජු විදේශ ආයෝජන ඉලක්කයෙන් සියයට 10ක් පමණ දැනටමත් සම්පූර්ණ කර ගැනීමටත් අපි සමත් වෙලා තිබෙනවා.’’

පසුගියදා මත්තලදී පැවැත්වුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ආයෝජකයන් සෙවීමේ මූලික අවස්ථාව සඳහා ද දෙස් විදෙස් ආයෝජකයන් රැසකගෙන් ඉහළ ප්‍රතිචාර හිමි වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේම මෙම ව්‍යාපෘතිය ඇතුළුව ඉදිරි කාලයේදී මේ ඍජු විදේශ ආයෝජන ආරක්ෂා කර ගැනීමට නම් රට තුළ ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යා යුතු වන බවත්, ඒ සඳහා බලධාරීන් සහ මහ බැංකුව නිසි පියවර ගනීවි කියන විශ්වාසයක් තමන්ට තිබෙන බවත් ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන්ම රුපියල දරුණු ලෙස අවප්‍රමාණයවීම හරහා උද්ධමනය ඉහළ යාම සිදුවන අතර, ඒ හරහා රටෙහි සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අවදානම් ඇති කරවයි. එය දිගුකාලීන මහා පරිමාණ ආයෝජන කිරීමට සූදානමින් සිටින ආයෝජකයන් තවදුරටත් කල්මැරීමේ පියවර අනුගමනය කිරීමට හේතුවක් වනු ඇත.

“2022 ආර්ථික අර්බුදය අවස්ථාවේදී ඇතිවූ අස්ථාවරත්වය නිසා තමයි වසර ගණනාවක් යන තුරුම අපිට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න බැරි වුණේ. ආයෝජකයන් වුණත් කැමැතියි වඩාත් ස්ථාවර ආර්ථිකයක් තුළ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න.’’

මේ අතර දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලෙස ක්ෂේත්‍ර 08 ක ව්‍යාපාර 30ක් සඳහා වන ආයෝජන අවස්ථා ප්‍රසිද්ධියට පත් කර තිබෙන බවත්, ඒ අතර සංචාරක පහසුකම්, විදුලිබල, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ඇතුළු ආයෝජන අවස්ථා පවතින බවත් ඒ මහතා පවසා සිටියේය. එහිදී ඩිජිටල්කරණ පහසුකම් වැඩි වශයෙන් යොදා ගනිමින් ආයෝජකයන්ට සිය ඉල්ලු‍ම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙන්ම අදාළ අනුමැතිය ලබාදීමද ඔන්ලයින් ක්‍රමය හරහා සිදු කිරීමටද පහසුකම් සලසා තිබෙන බවත් මෙහිදී සඳහන් විය.

“ඒ වගේම තවත් අලු‍තින් ආයෝජන කලාප කිහිපයක් පැමිණෙනවා. පරන්තන්, කන්කසන්තුරේ, ඉරණවිල සහ කප්පල්තුරේ ඒ අතර ප්‍රධානයි. ඒ වගේම කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික උද්‍යාන පිහිටුවීමටත් සූදානමක් තිබෙනවා. ඒවා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට සම්බන්ධව පිහිටු වේවි. රට වෙත Paypal පහසුකම හිමිවීමත් මේ සඳහා වැඩි සහයෝගයක් දක්වාවි.“ 

රුපියල අවප්‍රමාණයවීම මැද වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය හරහා ඇති වන විශ්වාසය ආයෝජකයන්ගේ විශ්වාසය රැක ගැනීමට ප්‍රධානතම හේතුවක් වනු ඇති බවත්, ඉදිරියේදී රට වෙත හිමිවන අරමුදල් සමගින් එම විශ්වාසය තවදුරටත් වැඩි වනු ඇතැයිද ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව සිදුකළ යුත්තේ රුපියල අවප්‍රමාණයවීමට වඩා එහි ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මැදිහත්වීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.