• තරුණ පරම්පරාවේ ආකල්ප, අධිවේගී මාර්ග ව්‍යාප්තිය සහ පෝර්ට් සිටියේ ඉදිරි මෙහෙයුම් මහල් නිවාස ඉල්ලු‍ම වැඩි කරාවිලු‍ 
  • වෙනත් රටවල ජනගහනයෙන් සියයට 50ක් මහල් නිවාස වෙත යොමු වුණත් ලංකාවේ තවමත් එය සියයට 10 ක් පමණයි
 ප්‍රයිම් සමූහයේ සභාපති 
ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි වත්කම් කළමනාකරණ ප්‍රධානී රුසිරු අබේසිංහ
භානුක අමරසිංහ
ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට මෙරට තුළ මහල් නිවාස අතිරික්තයක් නොමැති බව ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් සඳහන් කරති. විශේෂයෙන්ම අනාගත තරුණ පරම්පරාවේ ආකල්ප, අධිවේගී මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය මෙන්ම පෝර්ට් සිටියේ ඉදිරි සංවර්ධන මෙහෙයුම්ද සමගින් මහල් නිවාස සඳහා ඉල්ලු‍ම ඉහළ යනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
පසුගියදා කොළඹදී පැවැත්වුණු වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා මෙසේ පැවසීය. “දැනටමත් මේ නිවාස අතරින් බොහෝමයක් මිලදී අරගෙන. ඒ වගේම තමයි කොළඹින් මහල් නිවාසයක් මිලදී ගන්න බැරි අය මේ වනවිට ඒවා කුලියට ගැනීමට යොමු වෙනවා. ඇතැම් අය අනාගත ආයෝජනයක් විදියට නිවාස මිලදී ගන්නවා. ඒ වගේම තරුණ පිරිස් වැඩි වශයෙන් මෙවැනි නිවාස වෙත යොමුවීමක් දකිනවා. අධිවේගී මාර්ග පද්ධතියේ දියුණුව නිසාත් මහල් නිවාස වෙත යොමු වීමක් තිබෙනවා. ඒ නිසා මහල් නිවාස අතිරික්තයක් මම දකින්නේ නෑ.”
 
මෙහිදී අදහස් දැක් වූ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි වත්කම් කළමනාකරණ ප්‍රධානී රුසිරු අබේසිංහ මහතා නාගරීකරණය, ජීවන විලාසිතාවන්හි සිදුවන වෙනස්කම් මෙන්ම මහල් නිවාස කුලී වටිනාකම්හි සිදුවන ඉහළ යාම යනාදී කරුණු හේතුවෙන් අනාගතයේදී මහල් නිවාස සඳහා වන ඉල්ලු‍ම තවදුරටත් ඉහළ යනු ඇතැයි පවසා සිටියේය. “මෙතැනදී තමන්ගේ ආදායමට සරිලන මහල් නිවාසයක් සොයා ගැනීමට නොහැකි පිරිස් එවැනි නිවසක් කුලියට ගැනීමට හෝ යොමු වෙනවා.”
 
මේ අතර කොළඹ වරාය නගරයේ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින සමාගම් රැසක් ආසන්න වසර කිහිපයේදී කොළඹ නගරයේ කාර්යාල මහල් 25ක් කුලියට ගෙන තිබෙන බවත් මෙම එක් මහලක අවම වශයෙන් සේවකයන් 100ත් 150ත් අතර පිරිසක් සේවය කරනු ඇති බවත් අබේසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
 
“මොවුන් සම්පූර්ණයෙන්ම නගරයට අලු‍ත් පිරිසක්. ඔවුන්ට කොළඹ වරාය නගරය ආසන්නයෙන් ජීවත් වීමට අවශ්‍යයි. අනාගතයේ වරාය නගරයේ මහල් නිවාස ඉදිකෙරුණත්, ඒවා මිල අධිකයි. ඔවුන් අනිවාර්යයෙන්ම කොළඹ නගරයට පැමිණෙනවා. ඒ හරහා කොළඹ නගරයේ මහල් නිවාස සඳහා වන ඉල්ලු‍ම ඉහළ යනවා.”
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමලාල් මහතා “ලෝකයේ අනෙකුත් රටවල් හා සාපේක්ෂව බලන කොට අද වෙන කොට අපේ රටේ විට නිවාස භාවිතය යම් ප්‍රමාණයකින් අඩුයි. වෙනත් රටවල ජනගහනයෙන් සියයට 50 ක් 60ක් පමණ මහල් නිවාස වෙත යොමු වී තිබෙනවා. ලංකාවේ එය සියයට 10ක් වත් නෑ. එයත් කොළඹට පමණක් සීමා වෙලා.” යනුවෙන්ද සඳහන් කළේය.