නිමල කොඩිතුවක්කු 


රාජ්‍ය ව්‍යවසායන්හි සාමූහික ගිවිසුම සඳහා කාර්ය සාධනය හා තිරසර භාවය පදනම් කරගත් රාමුව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය ව්‍යවසායන්හි දැනට ක්‍රියාත්මක සාමූහික ගිවිසුම්, පවතින නියමයන් සහ කොන්දේසි යටතේම 2026-12-31 දින දක්වා දීර්ඝ කිරීමටත්, 2027-01-01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා නව සංශෝධික රාමුවක් සකස් කිරීමටත්, පවතින සාමූහික ගිවිසුම් යාන්ත්‍රණය සමාලෝචනය කර එකී සංශෝධිත රාමුව සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටත් 2026-05-11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව, භාණ්ඩාගාරයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අදාළ පාර්ශ්ව ද විමසමින් ‘රාජ්‍ය ව්‍යවසායවල සාමූහික ගිවිසුම සඳහා කාර්ය සාධනය හා තිරසරභාවය පදනම් කර ගත් රාමුව ‘මැයෙන් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. කාර්මික ආරවුල් පනත, වෘත්තීය සමිති ආඥාපනත, සාප්පු හා කාර්යාල සේවක නීති සහ අනෙකුත් අදාළ කම්කරු නීතිවලට යටත්ව රාජ්‍ය ව්‍යවසායවල සාමූහික ගිවිසුම ක්‍රියාත්මක කිරීම එමගින් නිර්දේශ කර ඇති අතර, ලාබ බෙදාහැරීම සහ ප්‍රසාද දීමනා රාමුව සම්බන්ධයෙන් ද නිර්දේශ ‍ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායවල සාමුහික ගිවිසුම් ක්‍රම වේදයට අදාළ එකී නව ප්‍රතිපත්ති රාමුව 2027-01-01 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.