සැමදෙනාට මූල්‍ය පහසුකම් ලබාදීමේ, මූල්‍ය අන්තර්ග්‍රහණය සහ සැමදෙනාට මූල්‍ය සාක්ෂරතාව ලබාදීම කරා යොමුවූ එහි ප්‍රතිපත්ති මෙහෙයුම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොබෝදා වැඩි දියුණු කරනු ලැබුවේය. මෙම ද්විත්ව සංකල්ප නූතන ස්ථාවර ආර්ථිකයක පදනම සපයන කුලු‍ණු වේ. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ශබ්දකෝෂයේ, මූල්‍ය අන්තර්ග්‍රහණය යනුවෙන් අදහස් වන්නේ තිරසාර මූල්‍ය පුරුදු තහවුරු කරලීම සහ එම පහසුකම් විශේෂිත සමූහයක් වෙත ලබාදීම වෙනුවට සමාජයේ සැම දෙනා වෙත එම හැකියාව ලබා දීමයි. අනික් අතට මූල්‍ය සාක්ෂරතාවෙන් එසේ කිරීම සඳහා මූල්‍ය ගනුදෙනුවල නිරත වෙන පුද්ගලයන් වෙතින්, අනතුරුදායක නොදැනුවත් භාවයෙන් මිදී සැබෑ දැනුමෙන් සන්නද්ධ වන ලෙස ඉල්ලා සිටී.

කෙසේ වුවද මෙම අරමුණු දෙක ඇගයුම් කරද්දී තීරණාත්මක ප්‍රතිපත්තිමය උභතෝකෝටිකයක් පැන නගී. ජනතාව තුළ මූල්‍ය සාක්ෂාරතාව පහල මට්ටමේ පවතීනම්, ඉහළ අනුපාතයේ මූල්‍ය අන්තර්ග්‍රහණයක් කරා ළඟා වීමේ අරුතක් නැති තරම්ය. ක්‍රියාත්මක කිරීම සඳහා වූ නිපුණතාවෙන් තොරව විධිමත් මූල්‍ය ක්‍රමයට නූගත් පාරිභෝගිකයන් ගෙන ඒම නුපුහුණු රියැදුරකුට සංකීර්ණ වාහනයක් පැදවීමට භාරදීම හා සමානය.

එම නිසා ප්‍රමුඛ ආර්ථිකමය කාරණයක් ලෙස, අන්තර්ග්‍රහණයට පෙර මූල්‍ය සාක්ෂරතාව තිබිය යුතුය, නැතහොත් එහි පූර්ව අවශ්‍යතාවක් ලෙස ක්‍රියා කළ යුතුය.සාක්ෂරතාවේ බුද්ධිමය ආරක්ෂාවෙන් තොරව ලහි ලහියේ සිදු කරන අන්තර්ග්‍රහණයකින් අවදානම් සහගත ජනයා කොල්ලකාරී මූල්‍ය වංචනිකයන්ට ගොදුරු වන්නේය.

ඓතිහාසික පූර්වාදර්ශය: ඉසුරු ව්‍යාපෘතිය:-

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම වර්තමාන කර්තව්‍යය ඉටුකරන්නේ මුල් වරට නොවේ. බැංකුව මෙම ද්විත්ව අරමුණු මින් පෙර ජයගෙන තිබේ. 1990 දී බැංකුව, අන්ත දුගී දුප්පතුන් ඉලක්ක කර ගනිමින් මෙම අති විශිෂ්ට වැඩපිළිවෙළ දියත් කළේය. මෙය මුල් වරට, කුඩා ගොවීන්ට සහ ඉඩම් අහිමි උදවියට දෙන ණය ව්‍යාපෘතියක් හරහා රටේ දිළිඳුකම තුරන් කිරීමේ ක්ෂුද්‍ර මූල්‍ය වැඩ පිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වූ අතර එය ඉසුරු ව්‍යාපෘතිය නමින් නම් කෙරිණ. ඉලක්ක ගත ජනයාට ඉසුර ගෙන එන්නේය යන අරුත ඒ තුළ විය.

1992 සිට 2000 දක්වා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරනු ලැබ, බිම් මට්ටමේ ප්‍රවේශය සහ ක්‍රමවත් අධ්‍යාපනය එකට මුසු කිරීමේ පරිවර්තනීය බලය මම මුල් වරට අත් දුටිමි. සාමූහික වූ මෙම වැඩපිළිවෙළ කෘෂි කර්ම සංවර්ධනය සඳහාවූ ජාත්‍යන්තර අරමුදල, කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය, ශ්‍රී ලංකාණ්ඩුව සහ එහි මහ බැංකුව විසින් මුදල් යොදවනු ලැබූ බහු ආයතනික වෑයමකි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේදී ඊට මග පෙන්වනු ලැබුවේ මහ බැංකුවේ විදග්ධ විශේෂඥ ඥානයෙන් හෙබි ප්‍රමුඛ ක්ෂුද්‍ර මූල්‍ය විශේෂඥ, ජී. එම්. පී ද සිල්වා විසිනි. බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයකු වූ ඔහුට ප්‍රධාන කාර්යාලයේත්, විවිධ දිස්ත්‍රික් ශාඛාවලත් ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ දැඩි කැපවීමෙන් යුක්ත සහයෝගය ක්‍රියාශීලී ලෙස ලැබුණි.

ඉසුරු ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ අතිශය දරුණු දරිද්‍රතාවෙන් වෙළී ගිය ජන කොටස්වලට, කාන්තාවන් බලගැන්වීමේ විශේෂිත අවධානයෙන් යුතුව ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීමයි. හුදෙක් පුණ්‍යාධාර පිරිනැමීමකට වඩා මෙම ව්‍යාපෘතියෙන් ක්‍රමානුකූලව, කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායනයන්හි ස්වයං රැකියාවල පුහුණු කිරීම ඔස්සේ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවිණි. ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු හරහා විධිමත් බැංකුකරණ ජාල රටාව තුළ මෙම ක්‍රමවත් සැලසුම් රාමුවෙන් ඔවුන් සෘජුවම ඒකාබද්ධ කර ගැනුණේය.

මෙම සැපයුම් මාර්ගය ඔස්සේ සහභාගි වූ සෑම අයකුටම, විශේෂයෙන් නිත්‍ය තැන්පතුකරණය සහ ණය ගැනීමේ යාන්ත්‍රණ ඇතුළු මූලික බැංකු පහසුකම් වල ප්‍රවේශය ලැබිණි. ගෙවා ගත නොහැකි ලෙස ණයබරවීමෙන්, මෙම අලු‍ත පිරිනැමූ ප්‍රවේශය කඩා නොවැටෙන බව තහවුරු කරගැනීම සඳහා මෙම ව්‍යාපෘතියෙන් වඩාත් ශක්තිමත් ප්‍රායෝගික මූල්‍ය අධ්‍යාපනයක් ලබා දෙන ලදී. මූල්‍ය යෝජනාවක් තක්සේරු කර ගන්නේ කෙසේද, නාමික පිරිවැය දෙස බැලීමට වඩා ණය ලබා ගැනීමේ ඵලදායි පොලී අනුපාතය, සැබෑ ලෙස ගණනය කර ගන්නේ කෙසේද, ඔවුන්ගේ මුදල් ඥානාන්විතව කෙසේ ආයෝජනය කරන්නේද, සහ රැවටිලිකාර ආයෝජන කෙසේ ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න ගැන පිළිබඳව කාන්තාවන් දැනුවත් කෙරිණි.

මෙම ක්‍රමවේදයේ අවසාන තක්සේරුව, 1998දී ප්‍රදානය කරන්නන් විසින් සැකසූ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වාර්තාව ඉදිරිපත් කිරීම සමග පැමිණියේය. ඉසුරු ව්‍යාපෘතිය පරිපූර්ණ ලෙස එහි අරමුණුවලට ළඟා වී, වඩාත් කොන්වූසමාජ ආර්ථික කණ්ඩායම් වලට මුල්‍ය සාක්ෂරතාව ඉගැන්වීමේදී සාර්ථකව එය කළ හැකි බව නිල වශයෙන් එයින් නිගමනය කෙරිණි. පසුව 2005 දී සමීක්ෂණ විශේෂඥ ශර්මිනී ද අල්විස් විසින් මෙහෙයවනු ලැබූ ව්‍යාපෘති බලපෑම ඇගයුම් කිරීමේ සමීක්ෂණයකදී එම නිගමනයටම එළැඹී තිබිණි.

මූල්‍ය බලගැන්වීමේ සැබෑ අරුත :-

ඉසුරු ව්‍යාපෘතියේ ක්‍රමවත් වැඩ රාමුව හරහා ඊට පෙර දැඩි දරිද්‍රතාවයේ ගැලී සිටි කාන්තාවෝ අවදානම් කළමනාකරණයේ හැකියාව ඇති, ඔවුන්ගේ ප්‍රජාව තුළ අනෙක් අයට මග පෙන්වන, බැංකු කරණයේ හැකියාව ඇති දක්ෂ ආයෝජකයන් බවට පරිවර්තනය වූවෝය.

ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයක් වූයේ එහි මිල තීරණ යාන්ත්‍රණයයි. ව්‍යාපෘතිය තුළ ණය දෙන පොලී අනුපාතය වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතය සමග දැඩි ලෙස එකේලි කරන ලද්දේ ව්‍යාපෘති පහසුකම් වලට සුදුසුකම් නොලැබීම වැළැක්වීම සඳහාය.

මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදය වරක් කැපී පෙනෙන අන්තර් ක්‍රියාවකට මග පෑදුවේය. සම්ප්‍රදායික ආයතනික කාචය තුළින් ව්‍යාපෘතිය දෙස බැලූ ජ්‍යෙෂ්ඨ වාණිජ බැංකු කරුවෙක්, ව්‍යාපෘතියට සහභාගි වූ මෙම කාන්තාවන් වෙළෙඳපොළේ පවතිනවාට වඩා පහත්, දැඩි සහන පොලී අනුපාත ඉල්ලනු වෙනුවට වෙළෙඳපොළ හා බැඳුණු ඉහළ පොලී අනුපාතයට ණය ගැනීමට කැමැති වන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

එසැණින්ම කාන්තාවන්ගෙන් ලැබුණු තියුණු, ගැඹුරු ක්‍රමවත් ප්‍රතිචාර මට සිහිපත් වේ. ණයවල විනිවිද පෙනෙනසුළු පිරිවැය ගණන් නොගන්නා බව කියා සිටි ඔවුහු රස්තියාදුවකින් හෝ නිලධාරීන්ගේ කඩදාසි වැඩ වලින් හා දුෂ්කරතාවෙන් තොරව නිශ්චිතවම තමන්ට අවශ්‍ය විට ණය ලබා ගත හැකි බවත් විස්තර කර කියා සිටියහ.

ගොවියකුට ණය මුදලක අවශ්‍යතාව මතු වීම මුළුමනින් කාලය මත රඳා පවතී. ඔහුට අවශ්‍යවන්නේ පොහොර මිලදී ගන්නට නම් ණය ක්‍රියාදාමය වගා කන්නය ආරම්භ වීමට පෙර භෞතිකව තිබිය යුතු විනා එය තිබිය යුත්තේ වැසි වැටීමෙන් සති ගණන් ගෙවී ගිය පසු නොවේ. අලු‍තෙන් සාක්ෂරතාව ලබාගත් මෙම ණය ලාභීන්ට පරිපාලන වේගයත්, අනවශ්‍ය නිලධාරීවාදී පමාවත් ඉවත් කිරීම පොලී අනුපාතයට වඩා වෙනස්වන ආකර්ෂණයක් විය.

පූර්ණ පරිමාණයේ මූල්‍ය සාක්ෂරතාවේ සහ අන්තර්ග්‍රහණයේ අවසාන නිර්වචනය මෙය වේ. එනම් මුදලේ කාලීන අගය වැටහෙන්නා වූත්, හුදෙක් නාමික පිරිවැය පරයා ගනුදෙනුමය කාර්යක්ෂමතාව ඇගයුම් කරන්නා වූත්, සැබෑ ආර්ථික ඵලදායිත්වය කරා මෙහෙයවෙන විධිමත් බැංකුකරණය භාවිත කරන්නා වූත් පාරිභෝගික පදනමකි.

නූතන කොල්ලකාරී උගුල් සහ සාක්‍ෂරතා හිඟය :-

අද දවසේ ආර්ථිකමය ක්ෂේත්‍රය අලු‍ත් අභියෝගවලට මුහුණ දෙමින් සිටීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන වැඩ පිළිවෙළ ඉතාමත් වැදගත් වන්නේ මන්ද යන්න කැපී පෙනේ. දිවයින පුරා අවදානමට පාත්‍ර කණ්ඩායම් වංචනික සහ රැවටිලිකාර කුටෝපාය මෙහෙයවන්නන් විසින් අඛණ්ඩව සූරා කෑමට භාජන වන බවට පළවෙන වාර්තාවලින් ඒ බව පෙනී යයි.

මෙම නවීන මූල්‍ය කොල්ලකරුවන් අති සූක්ෂමව නිර්මාණය කළ පිරමිඩ කූටෝපාය, ඒ ගැන නොදත් අය උගුලට හසු කරගන්නට භාවිත කරති. මේවා අතර අවුරුදු විසි පහකින් අස්වැන්න නෙළුවිට ලාභ උපයා දෙන, අනාගත දැව සම්පත් මිලට ගැනීමේ සමපේක්ෂණ කූටෝපායන් ද, නේක විධ ඩිජිටල් සහ ඇනලොග්, ක්ෂණික මුදල් ඉපයීමේ විවිධ මට්ටමේ වෙළෙඳපොළ යෝජනාද වේ. මෙම ප්‍රෝඩාකාරී පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුව, නියාමන අධීක්ෂණය සහ මහජනයාගේ දැනුවත්භාවය, ඉහළම විශ්වාසවන්තභාවයත් අත්‍යවශ්‍ය ලෙස සලකා අලු‍තෙන්ම අවධානයට ලක් කර තිබේ.

එසේ වුවද මෙම ආයතනික උත්සාහය පැවතියද අවිධිමත් මුදල් ණයට දෙන්නන් විසින් නොදැනුවත් ණය ලාභීන් දරුණු ලෙස සූරාකනු ලබන ඛේදජනක සිද්ධි නිරන්තරයෙන් මතුවේ. මෙකී වර්තමාන අර්බුදය පවතින්නේ ඔවුන්ට ණය යෝජනාවක් තක්සේරු කර ගැනීමට අවශ්‍ය මූලික විශ්ලේෂණ දැනුම නොමැති නිසාවෙනි. සැඟවුණු ගාස්තු, කොල්ලකාරී යාන්ත්‍රණ සහ ඇප උගුල් ආදියට ඔවුහු අන්ධ වෙති.

සූරාකෑම පිළිබඳ ගැටලු‍ව: නූතන අනතුරු ඇඟවුමක්:-

මෙය මට දැනගන්නට ලැබුණු එවැනි සිද්ධියකි.

වයස අවුරුදු දහතුනේ සහ පහළොවේ පසුවෙන දියණියන් දෙදෙනකුගේ මැදි වයසේ පසුවන මවක වූ ඇලිස් ට (මෙය ඇගේ සැබෑ නම නොවේ) හිටි හැටියේ සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් නිසා සිය පවුල නඩත්තු කිරීමේ පූර්ණ වගකීම භාර ගැනීමට සිදුවිය. යතුරුපැදියක ගොස් මසුන් වෙළෙඳාමේ යෙදුණු ජංගම වෙළෙන්දකු වූ ඇගේ ස්වාමියා දරුණු රෝගයක් නිසා ආබාධිත වූයේය. එම වෙළෙඳාම ඔහුගේ පවුලෙන් ඔහුට හිමිවූවකි. මියගිය ඔහුගේ පියා මත්ස්‍ය වෙළෙඳාමේ යෙදුනේ කදක් රැගෙන ගෙයින් ගෙට යමිනි. ඔහුගේ මරණින් පසුව ඇලිස් ගේ ස්වාමියා ඔහුගේ ව්‍යාපාරය භාරගෙන, මුහුදු යන ධීවරයන්ගෙන් කෙළින්ම මසුන් මිලදී ගත්තේය. ඔහු ලෙඩින් වැටුණු විට ජීවන වෘත්තිය කිරීමේ කාර්යභාරය වෙත ඇලිස් පිය මැන්නාය. හිස මත තබා ගත් බට පොතු වට්ටියක මාළු දමා ගෙන ගෙන ඇය ගෙයින් ගෙට යමින් මාළු විකුණුවාය. පවුලේ නිවසේ වහල කඩා වැටුණු විට ඒ පිටටම තවත් අර්බුදයක් මතු වූයේය.

ඉතිරි කර ගත් කිසි දෙයක් නැති තැන විධිමත් බැංකුවකින් කෙටිකාලීන ණයක් ගැනීමේ යථාවත් හැකියාවක් ද නොමැති කළ ඇගේ නිවස පිහිටි ඉඩම ඇපයට ගෙන, ඇයට ඉක්මනින් රුපියල් 400000/= ණයට දීමට කැමැති වූ, අනුග්‍රහශීලී ලෙස ඇයට දිස්වුණු ණය දෙන අයකු වෙත ඇය හැරුණාය. මාස 24ක කාලයකට ගත් එම ණය සඳහා මූලික ණය කිසිම අන්දමකින් ගෙවීමට පෙරාතුව සියයට 4 පොලිය ගෙවීමට පමණක් ඇයට මාසයක් පාසා රුපියල් 16000/= ක් අවශ්‍ය වූයේය.

දිනපතා මාළු වෙළෙඳාමෙන් ආදායම් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවකට, පවුලේ ආහාර වියදම අසීරුවෙන් සරිකර ගන්නා අතර, මෙම ණය බැඳියාව නිසා දැරිය නොහැකි බරක් නිර්මාණය වූයේය. කිසිදු විකල්ප පිළියමක් නොමැතිව, කඩා වැටුණු වහලය නිසා අනාරක්ෂිතව, ඇලිස් එම කටුක කොන්දේසිවලට එකඟ වූවාය.

මාස කීපයක් තුළදී ණය තුළ ඔබ්බවා තිබූ ගණිතමය උගුල දිස්වන්නට ගත්තේය. සියලු‍ මූල්‍ය බැඳීම් පියවා දමන්නට ඇයට ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවූයේය. පවුල වෙත තිබූ සියලු‍ බැඳියාවන් කල් දැමූ ඇය මාසිකව ණය හිමියාගේ මූල්‍ය බැඳීම්වලට කැප වූවාය.

නීතිමය ආරක්ෂාවේ මායාව: පොලිය ණය මුදලට වඩා වැඩි නොවිය යුතුය යන නීතියේ අඩුපාඩුවලින් රිංගා සූරා කෑම:-

ඇලිස් මුහුණ පෑ දුෂ්කරතාවේ වඩාත් වංචනික පැත්ත රැඳී පැවතියේ නීතිමය ආරක්ෂාව නොමැති තත්වය තුළය. යල් පැන ගිය ඊට අදාළ නීතිමය රාමුවෙන් රිංගා අවිධිමත් ණය දෙන්නෝ සිය සූරා කෑමේ පහසුව සලසා ගත්හ. ශ්‍රී ලංකාවේ අවිධිමත් ණයදීම් නාමිකව පාලනය කරන ලද්දේ සියවසකට වඩා පැරණි 1918 අංක 2 දරන මුදල් ණයට දීමේ ආඥා පනත යටතේය. මෙම නීතිමය රාමුවේ එක් මූලිකාංගයක් වන්නේ ultra duplum නැතහොත් in duplum යන්නය. මූලික වශයෙන් ගත් මුල් ණය මුදල ඉක්මවා , පොලී අය කිරීම එයින් තහනම් කර තිබිණි. මෙම නීතිය යටතේ රුපියල් 400000/= ක මූලික ණය මුදල සඳහා අය කළ හැකි ඒකරාශී වූ මුළු පොලිය තවත් රුපියල් 400000/= කට සීමාවේ. එයින් අදහස් වන්නේ නීත්‍යානුකූලව ඇලිස්ගෙන් අය කළ හැකි පොලිය ඇතුළු මුළු මුදල රුපියල් 800000/= ඉක්මවා නොයා යුතු බවයි.

කෙසේ වුවද මෙම ultra ludlum නීතිය උල්ලංඝනය කිරීම මගහරවා ණය දෙන්නාගේ ගිවිසුම පරෙස්සමින් සූක්‍ෂම ලෙස නිර්මාණය කර තිබිණි. අවිනිශ්චිත ලෙස පොලී ඒකරාශි කිරීම මත රැඳී පවතිනවාට වඩා ණය දෙන්නා, ඇපයට තැබූ දේ සූරා කෑම සැබෑ ඉලක්කය බවට පත් කරගෙන, වත්කම් උකහා ගැනීමේ වගන්තිය හරහා ලාභය ලබා කරගත්තේය.

ඇලිස් මාස 24 ක ණය කාලය තුළ සියයට 4 ක මාසික පොලී ගෙවීම පැහැර හැරීමේ අවස්ථා පැවති නිසා ගිවිසුම සකසා තිබුනේ පවුලේ ඉඩම ගනුදෙනුවේ කේන්ද්‍රය කරගෙනය. නියමිත කාලය තුළ පොලිය හා මුළු මුදල ඇය ගෙවීමට අපොහොසත් වුවහොත්, දළ වශයෙන් රුපියල් 10,00, 000/= වත් වටිනා පොරොන්දු වූ ඉඩම ණය හිමියාට සින්න වන ආකාරයට එයින් හැකියාව සලසා තිබිණි.

ගණනය කරනු ලැබූ පොලිය ගිවිසුමේ ජීව කාලය තුළ අනිවාර්යයෙන්ම ඉක්ම නොයන නිසා මෙම පිළිවෙළ තුළ තාක්ෂණික වශයෙන් නීත්‍යානුකූල බවක් පෙනෙන්ට තිබුණද එය අතිශය සූරා කෑමක් විය හැකිය. මෙම නීතිමය හැසිරවීමෙන් පාරිභෝගික ආරක්ෂණ මූලධර්මය, සුළු හදිසි ණයක් භාවිත කර මූලික ණය මුදල මෙන් 25 ගුණයක් වටිනා පාරම්පරික දේපළ අවදානමට ලක් කර එය අහිමි කිරීමේ යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කරනු ලැබීය.

මෙම පද්ධතිමය අසාර්ථකභාවය වර්තමාන නියාමනික අඩපණ භාවයෙන් තව දුරටත් දරුණු වී තිබේ. රජය මෑතකදී 2026 අංක 9; දරන, ක්ෂුද්‍ර මූල්‍ය‍ සහ ණය නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කරනු ලැබුවේ නියාමනය කරනු නොලැබූ ණය දෙන්නන් අධීක්ෂණයට ලක් කර අවදානම් සහගත පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහාය. මෙතෙක් එම වැඩ රාමුව මුළුමනින් ක්‍රියාත්මක කර නොමැති අතර බිම් මට්ටමේ උදාසීනව ක්‍රියාත්මක වෙමින් පවතී.

තවමත් ඇලිස් වැනි මූල්‍යමය සහ ආර්ථික වශයෙන් අවදානම් සහගත කාන්තාවන් කරා සමීප වීමට එය තවමත් අසමත්ව පවතී. ඇගේ ණය විධිමත් ණය දෙන්නා විසින් සටකපට ලෙස පිළියෙළ කර යාන්ත්‍රිකව ultra duplum සීමාවට අනුකූල බව පෙනී යන ආකාරයෙන් පෞද්ගලික ගිවිසුමක් හරහා මෙහෙයවන බැවින් ගනුදෙනුව නියාමනයන්ට හසුනොවී යට ගැසේ. මෙහෙයුම් හැකියාවෙන්, ප්‍රාදේශීය මට්ටමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවෙන් හා බිම් මට්ටමේ ප්‍රජාව වෙත ළඟා වීමේ හැකියාවෙන් තොරව මෙම නීතියට ඵලදායි ලෙස, විධිමත් ක්ෂුද්‍ර මූල්‍ය අංශයෙන් පිටත බැංකු නොවූ මූලාශ්‍රවලින් ණය ලබාගන්නා අය ඉලක්ක කරගත් අවිධිමත් ක්‍රියාකාරිකයන් නියාමනය කළ නොහැකිය.

අන්තර්ග්‍රහණයේ මිත්‍යාව:-

ඇලිස් ගේ පරාචක්‍රය අසරණ පුද්ගලයන් පිළිබඳ හුදෙකලා සිද්ධියක් නොවේ. ඊට වඩා, එය ආර්ථික සාක්‍ෂරතාව හෝ එය නොමැතිවීම ආන්තීකරණයේ ව්‍යුහාත්මක රෝගකාරක පරපෝෂිතයකු ලෙස මෙහෙයුම් විය හැකි ආකාරය එයින් පෙන්වා දෙන්නකි. ආර්ථික සාක්ෂරතාව යනුවෙන් හැඳින්වෙන්නේ හුදෙක් ආර්ථික සාක්ෂරතාවේ විස්තර වෙන නැවත ගෙවීමේ හැකියාව නොවේ. ආර්ථික සාක්ෂරතාව යනු ආර්ථික ක්‍රම, නීතිමය රාමු, සංස්ථාපිතයන්, බලය සම්බන්ධ හැඩගැසීම්, සීමාවන් ඇතැම් විට තනි පුද්ගල තෝරා ගැනීම් අවුරාලීම සිදුවන්නේ කෙසේද යන්න පුළුල්ව වටහා ගැනීමකි. ඇලිස්ගේ අවදානම් සහගත භාවය එක් එක් අංශ අතර වෙළී, පන්තිය, ස්ත්‍රී පුරුෂ භාවය, භූගෝලීය සාධක සහ හිටිහැටියේ මතුවන දේශීය අර්බුද සමග අස්ථාවර ලෙස ගැඹුරින්ම වෙළී පවතින්නකි. නාගරික අඩු ආදායම් ලාභී කාන්තාවක ලෙස ශ්‍රම වෙළෙඳපොළ වෙත ඇගේ මුල් පිවිසීම ඒ වන විටත් සාම්ප්‍රදායික ලිංගමය කාර්යභාරය සහ අවිධිමත් ජාල රටා සමග ගොඩනැගී තිබිණි.

පරම්පරා තුනක් හරහා පැමිණ සංක්‍රාන්ත වූ ඇගේ පවුලේ ව්‍යවසායෙන් පිළිබිඹු වන්නේ තාක්ෂණික සහ ආර්ථික ආරක්ෂාව තුළ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රතිගමනයකි.

1) පළමු පරම්පරාව : - මුළුමනින්ම ශාරීරික ශ්‍රමය මත විශ්වාසය තබා ඇලිස්ගේ මාමණ්ඩිය පාරම්පරික කද භාවිත කර මාළු රැගෙන ගියේය.

2) දෙවැනි පරම්පරාව:- යතුරුපැදියක් (මෝටර් බයිසිකලයක් ) උපයෝගී කරගනිමින් වෙළෙඳාම නවීකරණය කරගත් ඇගේ ස්වාමියා ,ළඟාවිය හැකි භූගෝලීය ප්‍රදේශය ව්‍යාප්ත කර ගැනීම සහ ව්‍යාපාරයේ ධාරිතාව වැඩි කර ගැනීම සිදුකළේය.

3) තුන්වැනි පරම්පරාව :- ස්වාමියාගේ අසනීපය නිසාම හුදෙක් ඇලිස් වෙත ව්‍යාපාරය සංක්‍රමණය වීම සිදුවූයේ නැත. සිදුවූයේ ප්‍රතික්‍රමණය (ආපස්සට යාමකි) වීමකි. ආයතනික නොසැලකිල්ල සහ ක්‍රමය තුළ වූ ලිංගික බාධක හේතු කර ගෙන ඇලිස්ට වඩාත් ප්‍රාථමික වූ අතිශය වෙහෙසකර බෙදා හැරීමක් කරමින් හිස මත බටපොතු වට්ටිය තබාගෙන ගෙයින් ගෙට ඇවිද යන්නට සිදුවිය.

මෙම ආපස්සට යාමෙන් අවිධිමත් ආර්ථිකය තුළ වාහන වැනි ඵලදායී ප්‍රාග්ධන වත්කම් ඉවත ලා ශාරීරික වශයෙන් වඩා පීඩාකාරී ශ්‍රමයේ අවම තම ඵල දරන්නාවූ ක්‍රමයක් කරා තල්ලු‍ වීමට සිදුවිය. විනාශකාරී ව්‍යුහාත්මක කම්පනය සිදුවූ විට නිවසේ වහල කඩා වැටුණු විට විධිමත් බැංකු සම්බන්ධතා නොමැති වීමෙන් මූල්‍ය ආරක්ෂණ ජාල සහ සමීපවිය හැකි ආයතනික ණය මුළුමනින් ඇලිස් වෙතින් ඈත් වී කොල්ලකාරී අවිධිමත් ණය දෙන්නන් වෙත මුළුමනින් ඇය අසූවූවාය. එවැනි ණය ජාලවලින් නිරන්තරයෙන්ම ප්‍රජාවට සහයෝගය දෙන විලාසයෙන්, කොන් වී සිටි කාන්තාවන් ගේ අවශ්‍යතා සිය වාසියට හරවා ගනිමින් ඉඩම් ඇතුළු ඔවුන්ට අයත් වත්කම් ක්‍රමයෙන් කඩා වඩා ගනු ලබයි.

මහ බැංකු සන්නිවේදනයට හසුනොවන තැන් :-

ඇලිස් උගුලට අසුවීමේ සිද්ධියෙන් ආයතනික සන්නිවේදනයේ සහ සාර්ව විචක්ෂණයේ අතිශය අසාර්ථකභාවය කැපී පෙනේ. සාර්ව මට්ටමේ මූල්‍ය ප්‍රතිපත්ති සහ කොන්වූ ප්‍රජාවන්හි ක්ෂුද්‍ර මට්ටමේ යථාර්ථය අතර පරතරය පියවා දමන්නට ඉතිහාසය පුරා රාජ්‍ය මූල්‍ය අධිකාරීන් ප්‍රයත්න දරා තිබේ. මහ බැංකු ආයතන නිරන්තරයෙන්ම මූල්‍ය අන්තර්ග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියද ඔවුන්ගේ සන්නිවේදන උපක්‍රම, අවිධිමත් ණයට ගොදුරු වෙන අයට සමීප විය නොහැකි ආකාරයෙන්, අවිධිමත් ශ්‍රමිකයන් අතහැර විධිමත් ආර්ථික ක්‍රියාකාරකයන් වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් පවතී.

වර්තමානයේදී අර්ථාන්විත ආර්ථික සාක්ෂරතාවකට වඩා ඈතට යා හැකි ආයතනමය හැකියාවකින් යුක්ත වීම සඳහා ශීඝ්‍ර වූ නැවත සැලසුම් කිරීමක් අවශ්‍ය වන්නේය. ඉහළ පෙළේ මූල්‍යායතන වලට සීමාවූ සන්නිවේදන ක්‍රමයක් පවතින විට, එම තත්වයේ ප්‍රතිඵල ලෙස කොල්ලකාරී ණය දෙන්නන්ට තොරතුරු සන්නිවේදනමය රික්තකයක් තුළ අරක් ගන්නට තුඩු දෙයි. නැවත නිර්මාණය කළ පූර්ව ක්‍රියාකාරී මහ බැංකු සන්නිවේදනයකට එම නිසා, ක්‍රියාකාරීව අධීක්ෂණය කිරීමටත්, අසමානුපාතික ලෙස අඩු ආදායම්ලාභී තනිවූ (ස්වාමිපුරුෂයන් නොමැති) මව්වරුන් ඉලක්ක කරනා සූරා කෑමට නැඹුරු අවිධිමත් ණය පරිසරයන් නියාමනය කිරීමටත් සාර්ව විචක්ෂණශීලී පැවැත්මක් අවශ්‍ය වේ.

මූල්‍ය ආරක්ෂණ තොරතුරු සහ පාරිභෝගික ආරක්ෂණ සැලසුම් රාමු, ඇප හා සම්මිශ්‍ර වූ පොලී,සහ ණය ගැනීමේ අවදානම් සහගත තත්වයට අදාළ නීතිමය සංකීර්ණතා පැහැදිලිව පෙනී යන බිම් මට්ටමේ අයට පිවිසිය හැකි මාධ්‍යයකින් සමන්විය යුතුය. අවදානම් සහගත පවුල්වලට අයත් වූවන්ගේ පැවැත්මට අදාළ මූලික ආරක්ෂණයන්ට පීඩනය එල්ලවීම නවතාලීම ඒ ඔස්සේ කළ යුතුය.

අනාගතය දැක්ම:-

සන්නිවේදනයෙන් ප්‍රාතිහාර්යය පෑ හැකිය යන සිතින් මවාගත් පරමාදර්ශ තුළ මහා බැංකුකරුවෝ දිවි ගෙවති. හුදෙක් ජාතික මට්ටමේ මහජන දැනුවත් කිරීම් තුළට ඔවුන් කොටුවනු වෙනුවට, අවදානම් සහගත සමූහ වෙත සන්නිවේදන පතුරුවා හැරිය හැකි ඵලදායි ක්‍රමයක් ඔවුන්ට තිබිය යුතුය. අවදානම් සහගත වූවන්ට විසඳුම් ලබාදීම සඳහා ක්‍රියා කාරකයන් සහ ප්‍රතිපත්ති සුසමාදර්ශ සම්බන්ධ තුන්විධ මාරු වීමකට නතු විය යුතුය.

1) ජීවත්වීමේ හැකියාව කොල්ලකාරී ප්‍රාග්ධනයෙන් වෙන් කිරීම:- නව මූල්‍ය පරිසර පද්ධතියකට ප්‍රජාපාලන, සූරා කෑමෙන් තොර ණය විකල්පයන් අවශ්‍ය වේ. ප්‍රදේශවලට සම්බන්ධ කාන්තා මූලික සාමූහික පොලී අය නොකරන අරමුදල්වලින් හෙබි අන්තර් ආංශික සහයෝගීතාවක්, නිවාස අලු‍ත් වැඩියා, හදිසි වෛද්‍ය අවශ්‍යතා, ආදී ව්‍යුහාත්මක කම්පනයන්ට භාජන වන කාන්තාවන් අවිධිමත් කොල්ලකාරී ණය දෙන්නන්ට ගොදුරුවීම වළක්වාලීමට තිබිය යුතුය.

2) වත්කම් ආරක්ෂණය සහ නීතිමය සහයෝගීතාව:- අඩු ආදායම්ලාභී පවුල් වලට අයත් ඔවුන් පදිංචි ඉඩම් කොල්ලකාරී වත්කම් කඩා වඩා ගන්නන්ගෙන් ආරක්ෂා කර දීමට බලධාරීන් කඩිනමින් නීතිමය මැදිහත්වීමක් කළ යුතුය. මෙම කාර්යය සඳහා සාමූහික සහයෝගීතා ජාල රටාවක් ගොඩනැගිය යුතුවේ.

3) සමාජ යටිතල පහසුකම් සහ සාමූහික ආරක්ෂණය:- රජය සහ සිවිල් සමාජය, විසින් ළදරු රැකවරණය, සෞඛ්‍ය ආරක්ෂණය සහ නිවාස නඩත්තුව අත්‍යාවශ්‍ය මහජන යටිතල පහසුකම් ලෙස පිළිගත යුතුය. මවුපියන්ට ඔවුන්ගේ දරුවන් වැඩිවියට පැමිණෙනතුරු ආධාර පිරිනැමීමෙන් සිංගප්පූරු ආණ්ඩුව මෑතකදී මෙම කාර්ය කරනු ලැබුවේය.

පවුලේ ආදායම් උපයන්නා ලෙසත්, රෝගී ස්වාමියා රැකබලා ගන්නා ලෙසත්, නව යොවුන් වියේ පසුවූ දෙදෙනකුගේ මව ලෙසත් එක විට කටයුතු කිරීමට ඇලිස්ට සිදුවූයේය. එසේ ගත් කල ඵලදායි සමාජාරක්ෂණ ජාල රටාවකින් තොරව ඇයගේ ආර්ථික පරාජය තවදුරටත් තීව්‍ර කරනු ලැබුවේය.

අවසාන වශයෙන් ඇලිස් සහ ඒ හා සමාන තත්වයේ පසුවෙන කාන්තාවන් මුහුණපාන යථාර්ථය පරිවර්තනය කිරීමට තනි තනි මූල්‍ය දැනුවත් කිරීම් හැරෙන්නට වඩා දෙයක් අවශ්‍යය.

ශ්‍රී ලංකාවට දැඩි අසරණභාවය මත යැපෙන, ක්‍රමයකින් ඉවත් වී අවදානමට ලක් විය හැකි කාන්තාවන්ගේ සාමූහික ගෞරවය, වත්කම් සුරක්ෂිතතාව සහ ආර්ථික යුක්තිය සුරක්ෂිත කරන ක්‍රමයක් කරා ගමන් කළ හැකිය.

කොල්ලකාරී ණය දෙන්නන්ගෙන් ආරක්ෂා විය යුතුය යන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනතුරු ඇඟවීම ඇයට අසන්නට නොලැබුණු බව ඇලිස් මා හට කියා සිටියාය.

මෙම අඩුපාඩු විසින් නිල ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ මෙන්ම සන්නිවේදන උපායමාර්ගවලද වෙනස් වීමක් ඉල්ලා සිටිනු ලැබේ.