• රක්ෂණ ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑමෙන් නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළට 
  • මැදපෙරදිගට තේ, ආහාර අපනයනකරුවන්ට ක්ෂණික බලපෑමක් 
  • සැපයුම් සේවා සමාගම් අමතර ගාස්තු ගෙවා විකල්ප ක්‍රම වෙත යොමු වෙයි 
  • මැදපෙරදිග මඟහැර ඇමෙරිකාවට සහ යුරෝපයට භාණ්ඩ යැවීමටත් සැලසුම් 
  • කොළඹ තේ වෙන්දේසියේදී මැදපෙරදිග සඳහා වන තේ ඉල්ලු‍ම පහළට 
  • තේ අපනයනය නොකළොත් තේ නිෂ්පාදකයන්ට මුදල් ගෙවීමේ නොහැකියාවක්

භානුක අමරසිංහ 


මැදපෙරදිග කලාපයේ හට ගෙන තිබෙන යුද ගැටුම් හේතුවෙන් මෙරට නිෂ්පාදන අපනයනය කරගැනීමේ දැඩි අර්බුදයක් මතුව තිබෙන බව වාර්තා වෙයි. විශේෂයෙන්ම යුද අවදානම හේතුවෙන් භාණ්ඩ නෞකා ගමන් සීමා වීමත්, ඉහළ යන රක්ෂණ ගාස්තු සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් නෞකා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමත් මෙම තත්වයට මූලිකවම හේතුව වී තිබේ. 

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත පහර දෙමින් මෙම යුද ගැටුම් ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ගත වූ දින කිහිපයේදී පමණක් මෙලෙස භාණ්ඩ නැව්ගත කිරීමට නොහැකි වීමෙන් අපනයනකරුවන් ගැටලු‍ රැසකට මුහුණ දී තිබෙන බවත්, එය ඔවුන්ගේ මුදල් ප්‍රවාහ වෙත බලපා තිබෙන බවත් අපනයනකරුවෝ සඳහන් කරති. 

එසේම විකල්ප මාර්ග ඔස්සේ එම නිෂ්පාදන අපනයනය කිරීමට යාමෙන් අමතර ගාස්තු ගෙවීමටද අපනයනකරුවන්ට සිදුව තිබෙන බවත් වාර්තා වෙයි. 

ශ්‍රී ලංකාව සැලකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් මැද පෙරදිග වෙත අපනයනය කරන අතර, ඇමෙරිකාව සහ යුරෝපය වෙත කරන අපනයන්හිද මධ්‍යස්ථානයක් ලෙස එක්සත් අරාබි එමීරයේ ඩුබායි වරාය ඇතුළු වරාය කිහිපයක් ක්‍රියාත්මක වීමත්, ඉරානය මේ වනවිට එම ස්ථාන වෙත පහරදීමත් තත්ත්වය වඩාත් දරුණු කර තිබේ. 

 “දැනටමත් මේ තත්වය අපනයනකරුවන් වෙත දරුණු ලෙස බලපාමින් තිබෙනවා. මැදපෙරදිග කලාපය කියන්නේ අපේ තේ ප්‍රධානව අපනයන නිෂ්පාදනවල මූලික ගැනුම්කරුවෙක් වගේම යුරෝපය වෙත සිදුකරන ඇගලු‍ම්, කුළුබඩු අපනයනයේ ප්‍රධානම මධ්‍යස්ථානයක්.’’  යනුවෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරී හිෂාම් මරික්කාර් මහතා සඳහන් කළේය. 

2025 වසරේදී මෙරට සමස්ත භාණ්ඩ අපනයනය වූ ඩොලර් බිලියන 13.9 න් ඩොලර් බිලියන 1.03ක භාණ්ඩ අපනයනයක් මැදපෙරදිග කලාපය (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) වෙත සිදු කර තිබේ. එය 2024 වසරේ සිදුකළ ඩොලර් මිලියන 969 ක අපනයන හා සැසඳීමේදි සියයට 6.29 ක වර්ධනයකි. 

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ සංගමයේ සභාපති ත්‍රිෂර්මාන් ෆ්‍රින්ක් මහතා දැන් අමතර නැව් ගාස්තු ගෙවා භාණ්ඩ ප්‍රවාහනය කිරිමට සිදුව තිබෙන බව පවසා සිටියේය. 

මේ අතර මැදපෙරදිග කලාපය වෙත නෞකා මගින් යැවෙන භාණ්ඩ යම් ස්ථානයක සිට ගුවන් මගින් හෝ ගොඩබිම ඔස්සේ ට්‍රක් රථ හරහා හෝ මෙම ගැටුම් පවතින රාජ්‍ය වෙත යැවීමටද අදහස් කරගෙන සිටින බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. 

එක්සත් අරාබි එමීරයේ සිට ක්‍රියාත්මක බහුජාතික ලොජිස්ටික් සේවා සමාගමක් වන Aramax හි මෙරට කළමනාකාර සන්ජය සමරසිංහ මහතා ලංකාදීප FT වෙත අදහස් දක්වමින්, තමන් මේ වන විට මැදපෙරදිග සහ ඒ හරහා ඇමෙරිකාව හා යුරෝපයට සිදු කරන භාණ්ඩ ප්‍රවාහනයට විකල්ප ක්‍රම හඳුන්වාදී තිබෙන බව පවසා සිටියේය. 

“එතැනදී අපි සෞදියේ රියාද් වරායට මේ භාණ්ඩ නැව් මගින් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒවා ට්‍රක් රථ හෝ ගුවන් මගින් මැදපෙරදිග අනෙකුත් රටවලට යවනවා. දැනටමත් අපි ගුවන් සමාගම් සමගින් මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. හැබැයි මේ සඳහා යම් අමතර වියදමක් දරන්න වෙනවා.” 

මෙහිදී මැදපෙරදිග කලාපය මඟහරිමින් සිංගප්පූරුව හරහා ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර පිහිටි වරාය වෙත මෙම භාණ්ඩ යැවීමටද කටයුතු යොදමින් සිටින බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

“මැදපෙරදිග ගැටුම් නිසා ලොකුම බලපෑම වෙන්නේ ලංකාවේ තේ අපනයනයට. මොකද ඉරානය කියන්නේ අපේ හොඳම ගැනුම්කරුවෙක්. ඉරානයට සම්බාධක පනවා තිබුණු කාලයේදී පවා ලංකාවේ අපනයනකරුවන් ලෙබනනය, ලිබියාව හරහා ඉරානයට තේ යැව්වා. ඒත් දැන් තත්වය වෙනස්. ලංකාවේ ඇගලු‍ම් නිෂ්පාදනවලට වගේම මැදපෙරදිග කලාපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය භාණ්ඩ යැවීමත් ගැටලු‍වක්.” 

ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග කලාපය වෙත සිදු කරන වැඩිම අපනයනය වන තේ සඳහා එල්ල වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත කරුණු දැක් වූ කොළඹ තේ ගනුදෙනුකරුවන්ගේ සංගමයේ සභාපති ලු‍ෂාන්ත ද සිල්වා මහතා, තේ නිෂ්පාදන අපනයනය කරගත නොහැකි වුවහොත් එය තේ නිෂ්පාදකයන් වෙත දරුණු ලෙස බලපානු ඇතැයි සඳහන් කළේය. 

 “මේ යුද ගැටුම් ආරම්භවීමෙන් පස්සේ පළමු තේ වෙන්දේසිය පසුගිය අගරුවාදා සහ බදාදා සිද්ධ වුණා. එතැතදී ඉරානයට සහ ඉරාකයට යැවෙන තේ කිලෝවක් සඳහා ලැබුණු මුදල රුපියල් 75ත් 100ත් අතර අගයකින් පහළ ගියා. පවතින අවදානම නිසා එම කලාපයට අපනයනය සඳහා තේ මිලදී ගැනීමේ ඉල්ලු‍ම පහළ යෑම ඊට හේතුවයි.“ 

 මේ අතර අද වනවිට පවතින අවදානමත් සමගින් ලොව පුරා නැව් ගාස්තු ඉහළ ගොස් ඇති බවත්, මේ වනවිට නෞකා මගින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා රක්ෂණ පහසුකම් ලබාදීම්ද සිදු නොකරන බවත් ඒ මහතා සඳහන් කළේය. 

දත්ත වාර්තා අනුව 2024 වසරේදී ඉරානය වෙත පමණක් අපනයනය කර ඇති තේ තොගවල වටිනාකම ඩොලර් මිලියන 57.28 කි. එසේම ඩොලර් මිලියන 4.86ක් වටිනා තේ පැකට්ටුද අපනයනය කර තිබේ. 

මීට අමතරව එක්සත් අරාබි එමීරය වෙත ඩොලර් මිලියන 81.36 ක් වටිනා තේ තොගද, ඩොලර් මිලියන 31.83ක් වටිනා තේ පැකට්ටුද, ක්වේටය වෙත ඩොලර් මිලියන 13.99ක් වටිනා තේ පැකට්ටුද, ජෝර්දානය වෙත ඩොලර් මිලියන 32.88 ක් වටිනා තේ පැකට්ටුද, කටාරය වෙත ඩොලර් මිලියන 2.09 ක් වටිනා තේ පැකට්ටුද අපනයනය කර තිබේ.