ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ වෙළෙඳපොළ රැසක ගැනුම්කරුවන් මෙවර කොළඹට 


ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වැනි FACETS Sri Lanka  ප්‍රදර්ශනය, 2027 ජනවාරි 4 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වේ. මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් හා නිෂ්පාදකයන් සියයකට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. 
ශ්‍රී ලාංකීය මැණික්වල ඇති උසස් තත්වය සහ දේශීය ස්වර්ණාභරණ ශිල්පීන්ගේ අද්විතීය දක්ෂතාව අත්විඳීම සඳහා ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ වෙළෙඳපොළ රැසක ගැනුම්කරුවන් මෙවර කොළඹට පැමිණෙනු ඇත.
මෙම 34 වන ප්‍රදර්ශනය පිළිබඳව නිල වශයෙන් දැනුම්දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් එක්විය. එහිදී විශේෂ ආරාධිත අමුත්තන් කිහිපදෙනෙක් මෙම ප්‍රදර්ශනයේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය පිළිබඳව අදහස් දැක්වූහ. 
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති මහාචාර්ය එස්.පී. චමින්ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ සහ Cinnamon Life at City of Dreams හෝටල් කළමනාකරු රොෂාන් ජෝර්ජ් යන මහත්වරු ඒ අතර වූහ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා තමන් පූර්ණ සහයෝගය ලබාදෙන බව ඔවුහු සඳහන් කළෝය.
මෙම 34 වැනි FACETS Sri Lanka  ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවටම ආවේණික වූ ලෝප්‍රකට නිල් මැණික් (sapphires) සහ ඉතා අනර්ඝ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීම සඳහාම වෙන්වූ විශේෂිත කුටිවලින් සමන්විත වේ. මීට අමතරව, Sapphire Night, Story Corner, Power Breakfast, මෙන්ම මැණික් පතල් සහ වරාය නගරය නැරඹීමේ සංචාර ඇතුළු සුවිශේෂී වැඩසටහන් මාලාවක්ද මීට සමගාමීව පැවැත්වීමට නියමිතය. මෙය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට එකිනෙකා හඳුනා ගැනීමටත්, අත්දැකීම් බෙදාහදා ගැනීමටත් සහ නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමටත් අනගි අවස්ථාවක් වනු නිසැකය.
FACETS Sri Lanka ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය  (NGJA) ලබා දෙනු ලබන දායකත්වය සුවිශේෂී වේ. මෙම ප්‍රදර්ශනයේ දිගුකාලීන හවුල්කරුවන් වන EDB” දේශීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ලෝක වෙළෙඳපොළ සමග සම්බන්ධ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරයි. එමෙන්ම, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ක්ෂේත්‍රයේ ගුණාත්මක ප්‍රමිති ආරක්ෂා කිරීමටත්, එහි දියුණුව උදෙසාත් නිරන්තරයෙන් කැපවී සිටී. තවද මෙම රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), සමග එක්ව ඉටුකරන කාර්යභාරයෙන් FACETS  මෙරට විශිෂ්ටතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලෙස ස්ථාවරව හා ශක්තිමත්ව සිටීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.
මෙම ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂී වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ  (SLGJA) සභාපති අක්‍රම් කාසීම් මහතා, ‘‘FACETS 2027 යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය ලොවටම විදහා දක්වන කදිම අවස්ථාවක්- එමගින් අප සතු සියවස් ගණනාවක පැරණි මැණික් උරුමය, දේශීය ශිල්පීන්ගේ දක්ෂතාව, ව්‍යවසායකත්වය සහ අප සතු නව නිර්මාණශීලී හැකියාව සියල්ල මේ හරහා එකම වේදිකාවකදී දැකබලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව යනු අද්විතීය මැණික් වර්ග ලබාගත හැකි රටක් පමණක් නොව, ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාමේ අතිශය විශ්වාසවන්ත ගමනාන්තයක් බව මේ තුළින් අප නැවත වරක් ඔප්පු කර පෙන්වනවා.” යනුවෙන් පැවසුවේය.