IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පළමු මාස හතරේදී සංචාරක පැමිණීමේ සියයට 14.3 වර්ධනයක්

 

  • මෙම වසරේ පළමු මාස 4ට සංචාරකයන් 896,884 ක්. පෙර වසරට සාපේක්ෂව සියයට 14.3 වර්ධනයක්
  • පසුගිය අප්‍රේල් මාසයේදී පැමිණි සංචාරක සංඛ්‍යාව 174,608 ක්. පසුගිය වසරේ අප්‍රේල් මාසයට සපෙක්ෂව සියයට 17.3 ක වර්ධනයක්
  • මෙම වසරේ අප්‍රේල් මස මාසික සංචාරක ඉලක්කය සංචාරකයන් 50,102 කින් මගහැරිලා
  • පළමු මාස 4 තුළ මෙරට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාව,රුසියාව සහ බ්‍රිතාන්‍ය යන රටවලින්
  • මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 30 සහ ආදායම් ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 5 සීමාව පසුකිරීම තරමක් අසීරු වනු ඇතැයි පාර්ශ්වකරුවෝ පවසති

චාරුමිණී ද සිල්වා


මෙරට පළමු මාස 4 තුළ මෙරටට සංචාරකයන් 896,884 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14.3 ක වර්ධනයක් බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම වසරේ පළමු මාස 4 තුළ මෙරටට පැමිණි සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳම වසරක් වූ 2018 වසරේ පළමු මාස 4 තුළ මෙරටට පැමිණි සංචාරකයන් පිරිසද පසුකර ඇති අතර දෙවැනි වී ඇත්තේ 2019 පළමු මාස 4 තුළ මෙරටට පැමිණි සංචාරකයන් 907,575 ට පමණි.

මෙම වසරේ පළමු මාස තුනේ මෙරට සංචාරක කර්මාන්තය ලබාගත් ප්‍රගතිය අප්‍රේල් මාසයේදී අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇතැයි සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ ප්‍රකාශ කළහ.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට සංචාරකයන් 174,608 ක් පැමිණ තිබූ අතර එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 17.3 ක වර්ධනයකි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 148,867 ක් මෙරටට පැමිණ තිබිණි. පසුගිය වසර අටෙහි අප්‍රේල් මාස සමග මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස සංසන්දනය කළ විට එය දෙවැනි වන්නේ 2018 වසරේ අප්‍රේල් මාසයට පමණි. 2018 වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 180,429 ක් මෙරටට පැමිණ තිබිණි.

මෙරටට පැමිණි සංචාරකයන් පිරිස පසුගිය අප්‍රේල් මාසයේදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළත් 224,710 ක් සංචාරකයන් පිරිසක් මෙරටට ගේනවා ගැනීමේ අප්‍රේල් මස ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. සංචාරකයන් 50,102 කින් හා සියයට 30 ක ප්‍රතිශතයකින් අප්‍රේල් මස ඉලක්කය මගහැරී ගියේය.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණ තිබු සංචාරකයන් 229,298 ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ මෙරටට පැමිණ තිබූ සංචාරකයන් සංඛ්‍යාව සියයට 24 කින් පහත වැටී තිබිණි. මෙම පහත වැටීම අර්ධ වශයෙන් සෘතුමය වන බවත් සෑම වසරකම අප්‍රේල් මාසයේදී සංචාරකයන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ ප්‍රකාශ කළහ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී දිනකට පැමිණෙන සංචාරකයන්ගේ සාමාන්‍යයද 5,516 සිට 5,820 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසය සමග සංසන්දනය කිරීමේදී අප්‍රේල් මාසයේදී දිනකට මෙරටට පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව 7,397 සිට 5,820 දක්වා සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ.

අප්‍රේල් මාසයේදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 38,744 ක් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 22.2 කි. දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයටත්, තෙවැනි ස්ථානය රුසියාවටත් හිමිව ඇති අතර පිළිවෙළින් බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 17,348 ක් සහ රුසියාවෙන් සංචාරකයන් 13,525 ක් අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ තිබේ. එසේම අප්‍රේල් මාසයේදී මෙරටට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණි අනෙකුත් රටවල් අතර ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය සිටී.

මෙම වසරේ පළමු මාස 4 තුළදී මෙරට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 157,059 මෙරටට පැමිණ ඇත. එසේම මෙම වසරේ පළමු මාස 4 තුළ වැඩියෙන්ම සංචාරකයන් මෙරටට පැමිණි රටවල් අතර දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයටත් හිමිව තිබේ. එහිදී රුසියාවෙන් සංචාරකයන් 107,093 ක් සහ බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 87,053ක් මෙම වසරේ පළමු මාස 4 තුළදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

එහෙත් සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන්ගේ මතය වී ඇත්තේ මෙම සංඛ්‍යාලේඛන ශක්තිමත් ප්‍රකෘතියක් සහ අලු‍ත් වූ ගෝලීය උනන්දුව පෙන්නුම් කළත්, මෙම වසරේ සංචාරක ඉපැයීම් ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදල සහ මෙරටට වසර අවසානය වනවිට සංචාරකයන් ලක්ෂ 30 ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම තරමක් අසීරු වනු ඇති බවයි.

සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස 8 තුළදී මෙරට තවත් සංචාරකයන් ලක්ෂ 21 ක් මෙරටට ගෙන්වා ගතයුතු අතර ඒ සඳහා මසකට සාමාන්‍යයක් ලෙස සංචාරකයන් 262,000 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. එහෙත් මෙතෙක් මෙරට පැමිණි සංචාරකයන් පිරිස පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී මාසයකට මෙරටට සාමාන්‍යයක් ලෙස සංචාරකයන් පැමිණ ඇත්තේ 224,000 ක් පමණි. මෙම වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීමට නම් මාසිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කර ගත යුතුව ඇත.



අදහස් (0)

පළමු මාස හතරේදී සංචාරක පැමිණීමේ සියයට 14.3 වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site