
ප්‍රමාද වූ ගෝලීය අලෙවිකරණ ප්‍රවර්ධනයට විකල්පයක්
සංචාරක ස්ථාන සහ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් 2026 අයවැයෙන් රුපියල් බිලියන 8 කට වැඩි මුදලක් වෙන්කරලා
මේ වසරේදී හෝටල් පාසලෙන් පුහුණුව ලබන පිරිස 7,000 ක් දක්වා වැඩි කිරීමට සැලසුමක්
සංචාරක කර්මාන්තය විධිමත් කරන නව සංචාරක පනත මෙම වසරේදී
MICE සංචාරක කර්මාන්තය සියයට 6 සිට සියයට 9 ක් දක්වා වර්ධනය වෙලා
2030 වන විට සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ලක්ෂ 8 ක මානව සම්පතක් අවශ්‍යයි
භානුක අමරසිංහ
මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම වසර තුළ අතරමැදි ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ බලධාරීහු සඳහන් කරති.
විශේෂයෙන්ම දැනට ප්‍රමාද වී තිබෙන ගෝලීය සංචාරක අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන තෙක් ඉහළ වියදම් හැකියාවක් සහිත සංචාරකයන් ආකර්ෂණය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
සංචාරක කර්මාන්තයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (19) පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.
විශේෂයෙන්ම පසුගිය වසරේදී වාර්තාගත ලෙස මිලියන 2.36 ක වැඩිම සංචාරක පැමිණීමක් සටහන් වුවත්, සංචාරක ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් සිදුවීමට මෙම ගෝලීය අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහනක් නොමැතිවීම අඩුපාඩුවක් බව සංචාරක කර්මාන්තයට සම්බන්ධ පිරිසගේ අදහස විය.
“අපි කාලයක් තිස්සේ උත්සාහ කරමින් සිටින ගෝලීය ප්‍රවර්ධන වැඩපිළිවෙළ මෙතෙක් සිදු කිරීමට නොහැකි වෙලා තිබෙනවා. එය සිදු කරන අතරතුරදීම මූලික අදියර විදියට මෙම වසර තුළදී අපි අතරමැදි ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් ඉතාමත් ඉක්මනින්ම ආරම්භ කරනවා. රුපියල් බිලියන 2ක වියදමකින් සිදු කරන මෙම වැඩසටහන ලොව රටවල් 15ක් ආවරණය කරන ඩිජිටල් සහ මහජන සම්බන්ධතා ප්‍රවර්ධනයක් ඇතුළත්. වැඩි වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් ගෙන්වා ගෙන කර්මාන්තයේ වටිනාකම වැඩි කර ගැනීම එහි අපේක්ෂාවයි.“
මේ අතර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ම දියත් කර තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, 2026 අයවැය හරහා සංචාරක ආකර්ෂණයක් සහිත ස්වාභාවික ස්ථාන සහ ඓතිහාසික උරුම ස්ථාන සංවර්ධනයට රුපියල් බිලියන 3.5 ක් වෙන් කර ඇතැයි සඳහන් කළේය. එසේම රුපියල් බිලියන 2.5ක් වෙන් කර ඇති බේරේ වැව ආශ්‍රිත සංචාරක කලාපයේ සංවර්ධනයද මේ වනවිට අරඹා ඇතැයිද අනාවරණය විය.
“රට පුරා සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 30ක ආයෝජනයක් යටතේ සීගිරිය, පිදුරංගල, ගලේවෙල සහ ත්‍රිකුණාමලය ආශ්‍රිය සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ යටිතල පහසුකම් දියුණු කරනවා.“
සංචාරක කර්මාන්තයේ මානව සම්පත් සංවර්ධනයට 2026 අයවැය හරහා අඩු ආදායම්ලාභීන් සංචාරක කර්මාන්තය වෙත යොමු කරගැනීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd