සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
ගල්නෑව නගරයට ඔබ්බෙන් සුප්‍රකට අව්කන රජමහා විහාරස්ථානය පිහිටි “අව්කන” කුඩා නගරය දැවෙන ගැටලු ගණනාවක් හේතුවෙන් අභාවයට යමින් ඇති බව නගරවාසීහු පවසති. නගරයේ කිසිදු පොදු පහසුකමක් නොවීමෙන් ව්‍යාපාර පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇති බව එහි ව්‍යාපාරිකයෝ පවසති. නගරය වැසී ගියහොත් සිය ජීවනෝපාය අහිමි වීමේ දැඩි කනස්සල්ලෙන් ඔවුහු දවස ගෙවති.
අව්කන වෙළෙද සංගමයේ ලේකම් කුමාරි රත්නායක මේ අභාග්‍යය පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කළාය.
මේ ටවුන් එක හොඳට දියුණු කරන්න පුළුවන්. ඒත් කාගෙවත් හරිහමන් අවධානයක් නැති නිසා දැන් පාළුවෙලා වැහෙන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ. සති අන්තෙට පෝය දවස්වලට ලොකු සෙනගක් අව්කන පන්සලට එනවා. ඒත් ඒ එන අයට කිසිම පහසුකමක් මේ ටවුන් එකේ නෑ. ලංකාවේ අය විතරක් නෙමෙයි පිටරට අයත් මෙහෙට එනවා. හරි සැලැස්මක් හදලා මේ ටවුන් එක දියුණු කෙරුවොත් ව්‍යාපාර කරන අපිට ඒක ලොකු සහනයක්. දැන් වෙලා තියන්නේ මෙතැන ටවුන් එකක් තියෙනවද කියලා සමහරු දන්නෙත් නෑ. ඒ තරම් පිරිහිලා තියෙන්නේ.
කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකු ශාඛාවක් අව්කන නගරය තුළ පිහිටා නොතිබීමෙන් කිලෝ මීටර් දහයක් පමණ දුර ගෙවා ගල්නෑව නගරයට යෑමට මෙහි ප්‍රදේශවාසීන්ට සිදුව ඇත. ඉන්ධන පිරවුම් හලක් නගරය ආශ්‍රිතව ඉදිකිරීමේ වටිනාකමද නගරවාසීහු පෙන්වා දෙති.
විවිධ දුෂ්කරතා මැද නගරය අත්නොහැර නොයා ව්‍යාපාරික කටයුතු වල යෙදී සිටින ජයන්ත වන්නිනායක මෙසේ කරුණු හෙළි කළේය.
අවුකන පන්සල තියෙන්නේ පුරාණ ගම්මාන පොකුරකට මැදිවෙලා. ඒ ගම්වල මිනිස්සුන්ට ලේසියෙන්ම එන්න පුළුවන් ටවුන් එක මේක. ඒත් මෙතැන කිසි පහසුකමක් නැති හින්දා හැමෝම දුර ගෙවාගෙන යන්නේ ගල්නෑවට. මේ ටවුන් එකේ කිසිම බැංකුවක් නෑ. ඒක ව්‍යාපාර කරන අපිට විතරක් නෙමෙයි ගම්වල මිනිස්සුන්ටත් ලොකු පාඩුවක්. අනිත් එක මේ ටවුන් එකට ෂෙඩ් එකක් තිබ්බා කියලා කිසිම පාඩුවක් වෙන්නේ. හැමදාම වගේ පන්සලට පිට වාහන එනවා. හතර වටේටම ගම්මාන.
දෙස්, විදෙස් සංචාරකයන් නිතර යන මෙම ඓතිහාසින නගරය ආශ්‍රිතව කිසිදු වැසිකිළි පහසුකමක් ද නොමැත. නගරයේ පැති කාණු පද්ධතිය මුළුමනින්ම ගොඩවීම හේතුවෙන් වැසි දිනවලදී නගරය ජලයෙන් යටවන බව නරගවාසීහු පවසති. වැසි කාලයේදී සිය ව්‍යාපාරික ස්ථාන වෙත ජලය ගලාඒමෙන් දැඩි සේ දුෂ්කරතා විදීමට සිදුවන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
එළවළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන එච්.එස්. චන්ද්‍රසේන මෙසේ කරුණු පැහැදිලි කළේය.
මේ ටවුන් එකේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි පාර දෙපැත්තේ තියෙන කාණු සම්පුර්ණයෙන්ම ගොඩවෙලා තියන එක. වැහි දවස් වලට මුළු ටවුන් එකම යටවෙනවා. ඒ දවස් වලට මේ කඩ ඇරගෙන ඉන්ඩ විදිහක් නෑ. ඔක්කොම වතුරෙන් යටවෙනවා. කාණු ටික හදලා දෙන්න කියලා අපි කාලයක් තිස්සේ ඉල්ලනවා. ඒත් කිසිම ප්‍රතිඵලයක් නෑ. මේ ටවුන් එකට එන මනුස්සයකුට හදිසියකට පාවිච්චි කරන්න වැසිකිළියක් නෑ. පිට ඉඳලා එන මිනිස්සු ඒකෙන් හරියට අසරණ වෙනවා.
පවතින දුෂ්කරතා හේතුවෙන් වැඩි පිරිසක් නගරයේ ව්‍යාපාරික ස්ථාන අතහැර දමා ගොස් ඇති බව ද නගරවාසීහු පවසති. දිනපතා නගරය තුළ එකතු වන කැළි කසළ ගෙන යෑමට ගල්නෑව ප්‍රාදේශීය සභා සේවකයන් නොඑන බවද ඔවුහු කියති. අව්කන නගරය ආශ්‍රිතව ව්‍යාපාරික ස්ථාන 68 ක් පමණ ඇතත් ඉන් විවෘතව ඇත්තේ 10 ක් පමණකි. සෙසු වෙළෙදසල් වල්වැදී පාළුවී තිබේ. නගරයේ උප තැපැල් කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අබලන් වීමෙන් එය මේ වන විට කුලී ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇති බවද නගරවාසීහු කියති.
නගරවාසියකු වන අනුර ප්‍රියන්ත පැවසුවේ මෙවැන්නකි.
ව්‍යාපාර කරන්න පහසුකමක් නැති හින්දා මේ ටවුන් හිටපු එකේ ගොඩක් අය කඩ වහලා දැම්මා. දැන් ඒවා පාළුවෙන් පාළුවට ගිහිල්ලා තියෙන්නේ. තව ටික දවසකින් මේ ටවුන් එක නටබුන් වෙච්ච ටවුන් එකක් වෙයි. තැපැල් කන්තෝරුව තිබ්බ ගොඩනැගිල්ල හොදටම දිරාපත් වෙච්ච හින්දා ඒක අතඇරලා දැන් වෙන කුලී ගෙවන තැනකට ගෙනිහිල්ලා තියෙනවා. අනිත් එක ටවුන් එකේ එකතු වෙන කුණු ගෙනියන්ට ප්‍රාදේශීය සභාවෙන් එන්නෙත් නෑ. හැම අතින්ම කුඩම්මගේ සැලකිලි. පිටින් එන මනුස්සයකුට හදිසියකට නවතින්න පහසුකමක්වත් මේ ටවුන් එකේ නෑ. පන්සලත් එක්ක මේ ටවුන් එක හොඳට දියුණු කරන්න පුළුවන් ඒත් වැඩපිළිවෙළක් නෑ.
මඩකලපුව - මහව දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අව්කන දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් දෛනිකව පැමිණෙතත් එහි පවතින පහසුකම්ද ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශවාසීහු පවසති. කල්වේලා ඇතිව දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ පහසුකමක්ද එහි නොමැත. මහා මාර්ගයේ සවිකොට ඇති දුම්රිය අනතුරු ඇගවීමේ සංඥා පුවරු සියල්ලම අනතුරුදායක ලෙස මළකා තිබේ.
තිස්ස විජේසුන්දර මෙසේ කරුණු කීවේය.
මහ පාර දෙපැත්තේ මීට අවුරුදු ගාණකට කලින් දාපු අනතුරු සංඥා කණු දැන් හොඳටම මලකඩ කාලා දිරලා තියෙන්නේ. කොයිවෙලේ හරි මනුස්සයකුගේ ඇඟකට මේ කණුවක් කඩා වැටුණොත් අනිවාර්යයෙන්ම ලොකු විනාශයක් වෙනවා. පොඩි දරුවකුට එහෙම අනතුරක් වුණොත් මොන දෙයියන්ට කියන්නද. අනිත් එක අවුකන ස්ටේෂන් එකට ලොකු සෙනගක් දවස ගානේ එනවා. සමහරු කෝච්චියෙන් පන්සලට ඇවිල්ලා කෝච්චියෙන්ම ආපසු යනවා. අවට ගම්වල අයත් ගමන් යන්න කෝච්චිය පාවිච්චි කරනවා. ඒත් මෙතැන තියෙන්නේ අඩුම පහසුකම් ටිකක්. මෙහෙට සංචාරකයෝ ගෙන්න ගන්න හිතනව නම් මෙතැනත් අනිවාර්යයෙන්ම දියුණු කරන්ඩ ඕනෑ තැනක්.
මෙතෙක් මෙරටදී හමුව ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විශිෂ්ට කලා ප්‍රතිභාවක් සහිත හිටි පිළිමය ලෙසද අවුකන පිළිමය ලොව පතලව ඇත. මේ ජනප්රසාදය විහාරයට යාබද ගැමියන්ගේ ආර්ථික සමෘද්ධිය සදහා ද පාදක කරගත හැකිව තිබේ. එහෙත් මෙතෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසී නැති බව මෙහි ගැමියෝ පෙන්වා දෙති. අව්කන විහාරස්ථානයේ සිට කලාවැවට ඇත්තේ කිලෝ මීටර් 03 ක් පමණ දුරකි. එහි එන වැඩිදෙනෙක් අව්කනටද පැමිණීම පුරුද්දක් කොටගෙන සිටිති. මේ කෙරෙහි අවධානය යොමු කර අව්කන නගරය සංචාරක ආකර්ෂණය ඇතිවන සේ සංවර්ධනය කරදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පහසුකම් නොමැති පාළුවට යන සොඳුරු සංචාරක ගමනාන්තයක්