2026 අගෝස්තු මාසයේදී රට තුළ පාරිභෝගික විශ්වාසය ක්‍රමයෙන් ස්ථාවර වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බවත්, ජූනි මාසයේ පැවති අගය වූ 80 සිට 81 දක්වා එය සුළු වශයෙන් ඉහළ යාමක් සිදුව ඇති බවත් Prosoft Research & Insights  විසින් සිදු කරන ලද පාරිභෝගික විශ්වාසය පිළිබඳ සමීක්ෂණය පෙන්වා දෙයි. මෙය 2026 මැයි මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් පුරා වාර්තා වූ ඉහළ යාමකි.
එසේම 2026 ජනවාරි මාසයෙන් පසු පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව මාස තුනක් පුරා ක්‍රමයෙන් ස්ථාවර වූ පළමු අවස්ථාව මෙය බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය විය.
මෙම පාරිභෝගික විශ්වාසය පිළිබඳ සමීක්ෂණය Prosoft Research & Insights ආයතනය විසින් ප්‍රතිචාර දැක්වූවන් 200 දෙනකුගෙන් යුත් නියැදියක් පදනම් කරගනිමින් මාසිකව සිදු කරන්නකි.
ඒ අනුව මෙම ඉහළ යාම කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) චලනයන් හා සමගාමීව සිදුවී ඇති අතර, එම කාලසීමාව තුළ එම දර්ශකය 209 දක්වා සුළු වශයෙන් පමණක් ඉහළ යාම මගින් සමස්ත මිල මට්ටම් ස්ථාවර වෙමින් පවතින බව පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත්, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ පාරිභෝගික විශ්වාසයේ අගය 2025 අගෝස්තු මාසයේ අගයට වඩා අඩු මට්ටමක පවතින අතර, එම කාලසීමාව තුළ පැවති ඉහළ වාර්ෂික උද්ධමන අනුපාතය සමග මෙය අනුකූල වී තිබේ.
ජනාධිපති දිසානායක මහතාගේ පත්වීමත් සමගම, 2024 සැප්තැම්බර් මාසයේදී පාරිභෝගික විශ්වාස දර්ශකය 90ක් වූ ඉහළම අගයට ළඟා විය. 
එහි අවම අගය වන 56 වාර්තා වූයේ 2022 ජූනි මාසයේදී වන අතර, එය ‘අරගලය’ විරෝධතා උත්සන්නව පැවති සහ එම වසරේ ජුනි 9 වන දින ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් පසු කාලවකවානුව විය.