IMG-LOGO

පරපුරක අනාගතයට බදු අභියෝග

රටක සංවර්ධනයෙහිලා බදු ආදායමෙන් තීරණාත්මක බලපෑමක් සිදුවන බව ලොකු කුඩා සෑම රාජ්‍යයක් සේම රටක පුරවැසියන් විසින්ද පසක් කරගත යුතු කරුණකි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා අදාළ වන ප්‍රධාන සංරචකය වන්නේද බදු ආදායම වේ. රාජ්‍ය අයවැය ලේඛන පිළිබඳව සමාලෝචනය කර බලන විට මෙම තත්වය වඩාත් අර්ථාන්විත වන්නේ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අයවැය ක්‍රියාවලිය තුළ බදුවල වැදගත්කම සෑම වසරකම සියයට 90 ඉක්මවා යන බැවින් මේ පිළිබඳ පසුගිය වසර 3 ක කාලය තුළ රාජ්‍ය ආදායම් ක්‍රියාවලිය විශ්ලේෂණයේදී මනාව පැහැදිලි වේ. (සටහන 1) රටක බදු පරිපාලනය කරනු ලබන සෑම ආයතනයකින්ම ව්‍යවස්ථාදායකය බලාපොරොත්තු වන්නේ බදු නීතියට අනුව උපරිම බදු ප්‍රමාණයක් ලබා ගැනීමයි. රාජ්‍ය බදු අයකිරීමේ ක්‍රියාවලියෙන් ඍජුවම ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්ථායීකරණය, රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ නංවාලීම ආදායම් බෙදී යාමේ විෂමතා අවම කරලීම සිදුවන අතර සමාජ සංවර්ධන කාර්යය උදෙසා අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවාලීම සමාජයේ විශේෂ රැකවරණය ලබා දිය යුතු පිරිස් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ද රටක රාජ්‍ය බදු ප්‍රතිපත්ති තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය.

අභියෝග 1 - බදු ආදායම දළ ජාතික නිෂ්පාදිතය සමග ඉහළ නංවාලීම

රටක් සංවර්ධනය කරා යන ගමනේදී බදු ආදායම ද.ජා.නි ප්‍රතිශතයක් ලෙස සියයට 25 ක් පමණ විය යුතු බව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ නිකොලෙස් කැල්ඩෝර් විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර ලෝක බැංකු නිර්ණායක අනුව එය සියයට 15 ක ඉක්මවා යන තත්වයක රටක් වීම වැදගත්ය. ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති ගිවිසුම සහ 2024 සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත අනුව රාජ්‍ය ආදායම ද.ජා.නි ප්‍රතිශතයක් ලෙස සියයට 15 ක වීම හා ප්‍රාථමික ශේෂය සියයට 3 ක් පැවතීම අත්‍යාවශ්‍ය වේ. මෙම ක්‍රියාවලිය උදෙසා රාජ්‍ය ආදායම ඉහළ නංවාලීම අත්‍යාවශ්‍ය වන අතර, රටක එදිනෙදා කාර්යය සඳහා වන වියදම් රටාව ජනගහනය හා අනෙකුත් කාර්ය මත ඉහළ යාමට හේතු වන බැවිනි. කෙසේ නමුත් ද.ජා.නි ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 2023 පැවති සියයට 9.8 සිට 2024 දී සියයට 12.3 දක්වා ද 2025 දී එය සියයට 13.9 දක්වාත් ඉහළ නංවාලීම අත්‍යාවශ්‍ය වේ.

අභියෝග 2 - ඍජු බදු ආදායම ඉහළ නංවාලීම

ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය ආදායම ද.දේ.නි හා සලකා බලන කල ප්‍රධාන ගැටලු‍ කිහිපයක් හඳුනාගත හැක. එහිදී අඩු ආදායම් බදු සංවේදීතාව (Low Tax buoyancy) දැකිය හැක.

එනම් ද.ජා.නි වර්ධනයට සාපේක්ෂව බදු ආදායම වර්ධනය වීම ප්‍රතිශතය බැලීමේදී පෙනී යන්නේ එය 1 ට අඩු අගයක් ගන්නා බවයි. එසේම ඍජු හා වක්‍ර බදු ආදායම සලකා බලන කල විශාල දායකත්වයක් දරනු ලබන වක්‍ර බදු ආදායම් ප්‍රතිශතයට සාපේක්ෂව ඍජු බදු වැඩිකර ගැනීම වැදගත් වේ. 2002 සිට 2020 දක්වා කාල පරිච්ඡේදය සලකා බලන විට ශ්‍රී ලංකාවේ මුළු ආදායමෙන් වක්‍ර බදු ආදායම් ප්‍රතිශතය සියයට 81.2 ක අගයක් ගන්නා අතර, ආසියානු කලාපයක් ලෙස එය සියයට 66 ක ප්‍රතිශතයක් ගනී. එහෙත් ලෝක තත්වය අනුව එය සියයට 53 ක ප්‍රතිශතයකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඍජු හා වක්‍ර බදු අනුපාතය 40:60 අගයක් කරා ළඟා කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. (සටහන 2) කෙසේ වෙතත් 2023 වර්ෂයේ ඍජු බදු තත්වය වර්ධනයක් පෙන්නුම් කරමින් එය 67:33 දක්වා වර්ධනය වී ඇත.

සටහන 2

අභියෝග 3 - බදු පදනම පුළුල් කර ගැනීම 

රටක් බදු පදනම පුළුල් කිරීම යනුවෙන් අදහස් වනුයේ බදු ගෙවීම සඳහා අදාළ පිරිස් බදු කාර්යය සඳහා ලියාපදිංචි කර වාර්තා නිකුතුව සහ අදාළ බදු වර්ග සඳහා අනුකූලතාවකින් යුතුව කටයුතු කිරීමයි. බදු පදනම පුළුල් වීමත් සමග බදු පරතරය හෙවත් Tax gap සංකෝචනය වන අතර, එතුළින් රටක ආර්ථිකය සඳහා දායකත්වය දැක්විය හැකි පිරිස මෙන්ම දායකත්වය දැක්විය යුතු පිරිස ඉහළ යනු ඇත. එය රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට මෙන්ම ණය බරින් තොර රටක් නිර්මාණය උදෙසා අත්‍යාවශ්‍ය වනු ඇත. ඒ සඳහා නව බදු ලිපිගොනු මෙන්ම බද්දට යටත් විෂය සහිත ලිපිගොනුවල පුළුල් වීමක් අපේක්ෂිතය. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති ලිපිගොනුවල තත්වය පහත සටහන යටතේ දැක්විය හැක. (සටහන 3) ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ බදු ලිපිගොනුවල ඉහළ යෑමක් දැකිය හැකි අතර, 2025.05.21 දින වන විට පුරවැසියන් හා ආයතන වෙනුවෙන් TIN 10,256,417 (දස මිලියන දෙසිය පනස් හය දහස් හාරසිය දහ හතක්) අංක නිකුත් කර ඇත. සටහන 3 - දේශීය ආදායම් පාලන වාර්තා හා සටහන්

අභියෝග 4 - ඩිජිටල්කරණය හා ඊ යෙදවුම් භාවිතය

වර්තමානයේදී ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය සේවා සඳහා ඩිජිටල්කරණය හෙවත් Digitalization භාවිත කරයි. ඒ අනුව බදු පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනයෙන් බදු ලිපිගොනු විවෘත කර ගැනීමේ සිට වාර්තා බාගත කිරීම, උඩුගත කිරීම, විද්‍යුත් ගෙවීම් ක්‍රම, තම මූලික දත්ත හා කටයුතු අවශ්‍යතා මත වෙනස් කිරීම ආදී බොහෝ කටයුතු සිදු කළ හැක. ලෝකයේ බොහෝ රටවල QR කේත, Unique Code System, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආදී නවීන තාක්ෂණික අංග ආදායම් බදු කාර්යයේදී ක්‍රියාවට නංවා ඇති අතර, ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි කාර්යයන් යොදා ගැනීමේ වැදගත් බව මනාව පැහැදිලි වී ඇත. ඒ අනුව වර්තමානයේ සියලු‍ම ලිපිගොනු භාරදීම දැනට ක්‍රියාත්මක RAMIS පද්ධතිය තුළින් පමණක් සිදුවන අතර දැනටමත් තක්සේරු වර්ෂ 24/25 වාර්තා භාරදීමේ පහසුකම් සලසා දී ඇත.

අභියෝග 5 - සමාජ ආරක්ෂණය සඳහා යොදා ගැනීම

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද සමාජ රැකවරණය, ආරක්ෂාව ලැබිය යුතු පිරිස් වෙත රැකවරණය සලසා දීම සඳහා බදුකරණය යොදා ගැනීම අත්‍යාවශ්‍ය වේ. සමාජ ආරක්ෂණය උදෙසා දුප්පත්කම දුරු කරලීම, ඒ සඳහා ගෘහස්ත පවුල් ඒකක ශක්තිමත් කිරීම, ග්‍රාමීය මට්ටමේ දරිද්‍රතාවට ලක්වූ පිරිසට සහන සලසා දීම, ආර්ථික ඉහළ මට්ටමට ළඟා විය නොහැකි පිරිසට ආධාර පිටුවහලක් ලබා දීම, වයෝවෘද්ධ පිරිස් රැකබලා ගැනීම, සමාජ සුබසාධන ක්‍රියාවලි දියත් කිරීම ආදී බහුවිධ ක්‍රියාමාර්ග මේ යටතට අයත් වනු ඇත. 2024 දී ලෝක බැංකුව නිකුත් කළ වාර්තාව පරිදි ශ්‍රී ලංකාවේ දුප්පත්කම හා අසමානතාවට ලක්වූ පිරිස 2019 දී සියයට 11 ක් වූ අතර 2024 දී සියයට 26 ක් දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාව තුළ අස්වැසුම ආදායම ලබන පවුල් ප්‍රමාණය 1,717,262 කි. එසේම සිසුන් 1,556,220 සඳහා නොමිලේ නිල ඇඳුම් ලබාදීම, ගර්භණී මවුවරුන් 256,000 ක් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ආදී විවිධ වැඩසටහන් සඳහා අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත. මෙවැනි සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම උදෙසා වෙන් කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල් වේ. ඒ අනුව රාජ්‍ය ආදායමෙන් සමාජයේ රැකවරණය ලැබිය යුතු පිරිස් වෙත ආරක්ෂාව සැලසීම රජයේ කාර්යභාරයක් වේ.

රාජ්‍ය ආදායම් ක්‍රියාවලියේදී දේශීය ආදායම් කාර්යභාරය

1932 දී ආරම්භ කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වර්තමානයේදී සමාගම් හා සමාගම් නොවන බදු, උපයන විට ගෙවන බදු, රඳවාගත් බදු, භාණ්ඩ හා සේවා බද්ද, සමාජ සංරක්ෂණ දායකත්ව අරමුදල, ඔට්ටු හා සූදු බදු, කොමිස් හුවමාරු බද්ද ප්‍රාග්ධන බද්ද, විගමන බද්ද ඇතුළු බදු වර්ග පරිපාලනය කරනු ලබයි. මෙයට අමතරව බදු ප්‍රතිපත්ති අංශය, බදු සේවා අංශය, බදු උපදෙස් අංශය, හිඟ බදු අයකර ගැනීමේ අංශය ඇතුළු ලෝකයේ බදු පරිපාලනය සම්බන්ධ සියලු‍ කාර්යයන් ඉටු කරනු ලබන අතර, අප විසින් රාජ්‍ය ආදායම සඳහා සියයට 50 කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇත. (සටහන 4) ශ්‍රී ලංකාව තුළ ඍජු බදු අයකර ගැනීමට බලතල සහිත එකම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර, වර්තමානයේ 1000 ක පමණ සේවක පිරිසකගෙන් සමන්විතව රාජකාරි කටයුතු ඉටු කරගෙන යයි. එසේම 2021 දී දේශීය ආදායම් බදු එකතු කිරීම ද.ජා.නි සියයට 3.59 ක් වූ නමුදු එය 2022 දී සියයට 4.40 ක් දක්වාත් 2023 දී එය සියයට 6.67 ක් දක්වාත් කැපී පෙනෙන වර්ධනයක් ජනිත වූයේ වෙළෙඳපොළ මිල යටතේ ද.ජා.නි රු. බිලියන 24,148 සිට රු. බිලියන 27,629 දක්වා වර්ධනයක් සමග රජයේ මුළු ආදායම රු. බිලියන 1,979 සිට රු. බිලියන 3,048 දක්වා වර්ධනය වූ බැවිනි.                                          

නිගමනය

රටක බදු සංස්කෘතිය ජනතාව අතරට ගෙන යාම, ප්‍රචලිත කිරීම හා සමාජීය යුතුකමක් ලෙස බදුකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානයට ලක් කිරීම උදෙසා “බදු ශක්ති” තුළින් ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්ම යන්න තේමා කරගත් වැඩසටහන් රාශියක් වර්තමානයේදී ක්‍රියාවට නංවා ඇති අතර, බදු මුදල්වල ආරක්ෂණය, ඵලදායීව යොදා ගැනීමෙන් ඔබේ බදු මුදල් ඔබටම පුළුල් සේවා සලසනු ඇත.



අදහස් (0)

පරපුරක අනාගතයට බදු අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 366 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 829 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site