ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. 
මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව වෙතින් ඉතා පහසු මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
HNB ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට HNB බැංකුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති (Retail Banking) කාංචන කරුණාගම, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජේ විජේමාන්න සහ පෞද්ගලික මූල්‍ය සේවා කළමනාකරු අසිත ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ. ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ සමන්ත සිල්වා, සාමාන්‍යාධිකාරී (මුදල්, උපායමාර්ග හා මෙහෙයුම්) ළහිරු විතාරණ, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ප්‍රසන්න දිසානායක සහ සැලසුම් හා මෙහෙයුම් කළමනාකරු දිල්ෂාන් ජයසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
මෙම විශේෂ වැඩපිළිවෙළ යටතේ ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති සඳහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 70 දක්වා වූ ණය පහසුකම් ලබාගත හැකි අතර වාණිජ හා කාර්මික අංශයේ ව්‍යාපෘති සඳහා එම ව්‍යාපෘතිවල ස්වභාවය සහ අවශ්‍යතාව අනුව සකස් කළ සුවිශේෂී මූල්‍ය විසඳුම් ලබාදීමට කටයුතු යොදා ඇත. වසර 7ක් දක්වා වූ දීර්ඝ කාලසීමාවකින් යුත් මෙම ණය පහසුකම් සඳහා තෝරාගනු ලබන ආපසු ගෙවීමේ කාලය අනුව වෙනස් වන ඉතා සහනදායී පොලී අනුපාත හිමිවන බැවින් පාරිභෝගිකයන්ට විනිවිදභාවයකින් යුතුව සූර්ය බලශක්තිය වෙත යොමුවීමට මින් මග පෑදේ.
වසර 40කට අධික ඩේවිඩ් පීරිස් සමූහයේ විශ්වාසනීයත්වය සහ ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි තාක්ෂණික විශේෂඥතාව, HNB බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ මූල්‍ය ශක්තිය සමග එක්වීම හරහා මෙරට සූර්ය බලශක්ති භාවිතය සැලකිය යුතු ලෙස වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ. තවද 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයක් කරා ළඟා වීමට රජය තබා ඇති ජාතික ඉලක්ක සමග මෙම වැඩපිළිවෙළ මැනවින් අනුකූල වේ.