ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශිය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදු‍වෙලා


වවුනියා, සේනපුර හා කන්දකාඩු හරහා වසරකට පුනරුත්ථාපනය වන 800 ක් වෘත්තීය පුහුණුවට


මත්ද්‍රව්‍යවලට යොමුවී පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර වෘත්තීමය රැකියා සඳහා යොමු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී තිබේ.

එහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, මේ වනවිට පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් පවතින බවත්, එම පුරප්පාඩු සඳහා ප්‍රමාණවත් පුහුණු හා නුපුහුණු සේවකයන් නොමැතිවීම නිසා ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බව සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම ඉදිකිරීම්, ටයිල් හා උපාංග, පාවහන්, සම්භාණ්ඩ, ඔටෝ මොබයිල් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක මෙලෙස පුරප්පාඩු පවතින බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා, කර්මාන්ත අමාත්‍යාශයේ ඍජු මැදිහත්වීම මත ක්‍රමවත් පුහුණුවක් හා වැඩපිළිවෙළක් යටතේ පුනරුත්ථාපනය කරන ලද ශ්‍රමික පිරිස් කර්මාන්තකරුවන් වෙත යොමු කිරීමට නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත.
මේ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ලත් පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් දසදහසක් පමණ දෙනා සිටින බවත් වවුනියා, සේනපුර හා කන්දකාඩු යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 800 ක පමණ පිරිසක් වසරකට පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුව සමග නැවත සමාජගත කරන බව මෙහිදී අනාවරණය වී තිබේ.