IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නැණවත් ආයෝජනයකට මාර්ගයක්

කොටස් වෙළෙඳපොළට දැනට සම්බන්ධ වී සිටින සහ ඉදිරියේදී සම්බන්ධවීමට බලාරොත්තු වන ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සකස් කළ ලිපියකි මේ.

ඉකුත් දින දෙකේදී සුළු පසුබෑමක් පෙන්නුම් කළද ඊට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. 2024 වසර තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළයාම සියයට 49.6 ක් විය. 2023 වර්ෂයේදී ද කොටස් වෙළෙඳපොළ සියයට 25.5 කින් ඉහළ නැගුණි. රටේ පොලී අනුපාත පහත යමින් පවතින තත්වයක් තුළ කොටස් වෙළෙඳපොළේ මෙම ඉහළයාම ජනතාව කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙළඹීමක් ඇති කර ඇත. සියයට 49.6ක ඉහළ වාර්ෂික ප්‍රතිලාභයක් කොටස් වෙළෙඳපොළෙන් ලැබෙන විට සියයට 4 -5 පොලී අනුපාතයකට මුදල් ඉතිරි කිරීමට ජනතාව පෙ‍ළඹෙන්නේ නැත. එබැවින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම ඉතා ඉහළ ප්‍රතිලාභ ගෙනදෙන ආයෝජන මාර්ගයක් වී ඇත. මෙම ඉහළයාම තුළ කොටස් වෙළෙඳපොළේ දැනට ආයෝජනය කර ඇති ආයෝජකයන් මෙන්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයන්ද සිතා බැලිය යුතු කාරණා කිහිපයක් ඇත.

කාර්යසාධනය අතින් ඉහළ (Fundamentally Strong) සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ නැගීමත් සමඟ ආරම්භ වන කොටස් වෙළෙඳපොළේ ඉහළ යාම, පසුව කාර්යසාධනය අතින් ඉහළ බවක් නොමැති සමාගම්වල කොටස් මිල ගණන්වලටද බලපෑමක් ඇති කරයි. එසේ ඉහළ නඟින කාර්යසාධනය අතින් අඩු සමාගම්වල කොටස් මිල ගණන් ඉහළයාමට හේතු සොයා බලා ආයෝජකයන් එම සමාගම්වල ඥානාන්විතව ආයෝජනය කළ යුතුය. 

කොටස් වෙළෙඳපොළේ ඉහළයාමත් සමඟම ආයෝජකයන් සමහර විට දිගුකාලීන අරමුණු ඉවතලා කෙටිකාලීන අරමුණු මත ගනුදෙනු කිරීමට පෙළඹේ. එය නුවනැති ක්‍රියාවක් නොවේ. 

කොටස් වෙළෙඳපොළේ ඉහළ නැගීමත් සමඟම ආයෝජකයන්, තමන් විවිධ ආයෝජන මාර්ගවල ආයෝජනය කර ඇති මුදල් ඒවායින් ඉවත් කර ගෙන සම්පූර්ණයෙන්ම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙළඹේ. ආයෝජන විවිධාංගීකරණය ආයෝජකයකුට අත්‍යවශ්‍ය දෙයකි. එයින් හැඟවෙනුයේ එකම ආයෝජන මාර්ගයක තම මුදල් ආයෝජනය නොකළ යුතු බවයි. 

කොටස් වෙළෙඳපොළේ ඉහළයාමත් සමඟ සමහර ආයෝජකයන් තමන්ට දරා ගැනීමට අපහසු ආකාරයට ණය ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙළඹේ. එහෙත් ආයෝජකයකු ණය ලබාගෙන කොටස්වල ආයෝජනය කළ යුතු වන්නේ තමන්ට දරා ගත හැකි ආකාරයටය. 

කොටස් වෙළෙඳපොළේ ඉහළයාමත් සමඟම දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා ආයෝජන උපදෙස් දීමට උත්සාහ කිරීමයි.FB, Twitter (X), WhatsApp, Telegram, Youtube වැනි සමාජ මාධ්‍ය හරහා කොටස් වෙළෙඳපොළ පිළිබඳව විවිධ තොරතුරු හුවමාරු වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) වෙතින් RIA (ලියාපදිංචි ආයෝජන උපදේශක) සුදුසුකම ලබාගෙන නොමැති කිසිවකුට විවිධ මාධ්‍ය හරහා ආයෝජන උපදෙස්, පුරෝකථන (කොටස් මිල ගණන් හෝ කොටස් වෙළෙඳපොළේ ඉහළයාම පිළිබඳව) ලබා දිය නොහැක. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙම සමාජ මාධ්‍ය නිතිපතා නිරීක්ෂණය කරනු ලබන අතර එවැනි වැරදි කරන්නන් හට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබයි. 

කොටස් වෙළෙඳපොළේ ඉහළයාමත් සමඟම සමහර ආයෝජකයන් වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණින් විවිධ අක්‍රමිකතා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා සිදු කිරීමට උත්සාහ කරනු ලබයි. මෙසේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත උල්ලංඝනය කරන ඕනෑම අයකුට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව දිනපතා සජීවීව කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිරීක්ෂණය කරනු ලබයි. 

තමන් හදිසියකට පාවිච්චි කිරීම සඳහා ළඟ තබා ගෙන ඇති මුදල් කිසිම ආයෝජන මාර්ගයක ආයෝජනය කිරීම ආයෝජකයකු සිදු නොකළ යුතු ක්‍රියාවකි. 

එමෙන්ම ආයෝජකයන් මහා පරිමාණ ආයෝජකයන් අනුකරණය නොකර තම ආයෝජන අරමුණු මත පිහිටා ආයෝජනය කළ යුතුය. 

ආයෝජකයන් කොටස් තැරව්කාර ආයතන විසින් ප්‍රසිද්ධ කරනු ලබන සමීක්ෂණ වාර්තා පරිහරණය කර හෝ තමන් විසින් සිදුකරන සමීක්ෂණ මත පිහිටා තම ආයෝජන තීරණ ගත යුතුය.

ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් (RIA) සෑම විටම ගනුදෙනු සිදුකළ යුත්තේ තම ආයෝජකයා විසින් ලබාදෙන මිලදීගැනීමේ/ විකිණීමේ ඇණවුම් මතය. එසේ නොමැතිව ආයෝජකයාට නොදන්වා කොටස් මිලදී ගැනීමට/ විකිණීමට ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකුට අයිතියක් නොමැත. එසේ සිදුකළ හැකි එකම අවස්ථාව වන්නේ ආයෝජකයා අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් (Discretionary Account) පවත්වාගෙන යන්නේ නම් පමණි. 

සමහර ආයෝජකයන් තමන්ට ලාභ ලැබෙන විට තම ආයෝජන උපදේශකවරයා විසින් එම ගනුදෙනු තමන්ට නොදන්වා සිදුකර තිබුණත්, ඒ පිළිබඳව පැමිණිලි නොකර සිටින අතර යම් ආකාරයකින් කොටස් මිල පහළ වැටුණු විට පැමිණිළි කරයි. ආයෝජකයකු විසින් සිදුකරන ලද ගනුදෙනු පිළිබඳව කෙටි පනිවුඩයක් (SMS) හරහා එදිනම මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) විසින් ආයෝජකයා දැනුවත් කිරීමක් සිදු කෙරෙන අතර කොටස් තැරැව්කාර ආයතනය විසින් කොටස් මිලදී ගැනීම්/විකිණීම්වලට අදාළ ගැනුම් සටහන්/විකුණුම් සටහන් (Bought Note/Sold Note) එදිනම ඊ-මේල් මගින් ලැබීමට සැලැස්වීම හරහා ආයෝජකයා දැනුවත් කෙරෙන බැවින් සිදුකළ ගනුදෙනු පිළිබඳව ආයෝජකයා නොදැන සිටීමට හේතුවක් නොමැත. ලෝකයේ කිසිම කොටස් වෙළෙඳපොළක් නොකඩවා ඉහළ යන්නේ හෝ නොකඩවා පහළ යන්නේ නැත. උච්චාවචන කොටස් වෙළෙඳපොළකට පොදු දෙයකි. කොටස් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටුණු විට ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙළඹෙන අතර කොටස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නැගුණු විට සමහර ආයෝජකයන් තමන් සතු කොටස් විකුණා ලාභ ලබා ගනී. කොටස් වෙළෙඳපොළක් දිගුකාලීන ආයෝජන මාර්ගයක් ලෙස සලකන්නේ එබැවිනි.

 

නැණවත්ව ආයෝජනය කරන්න. 
කොටස් වෙළෙඳපොළ ඉතා ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන ආයෝජන මාර්ගයක් වන අතර සෑම ආයෝජන මාර්ගයකටම පොදු අවදානමක් කොටස් වෙළෙඳපොළේ ද ඇත. අවදානම අවම කර ගැනීමට ආයෝජන විවිධාංගීකරණය, දැනුවත්ව ආයෝජනය කිරීම, තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව අධ්‍යයනය කිරීම, අනවශ්‍ය ලෙස ණය වී කොටස් මිලදී නොගැනීම වැනි දේ පිළිපදින්න. 



අදහස් (0)

නැණවත් ආයෝජනයකට මාර්ගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site