කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


ලංකාවේම ධීවරයන්ගේ ගැටලු‍ හඳුනා ගැනීමට ධීවර අමාත්‍යාංශය පළමු වරට සංවිධානය කරනු ධීවර ජංගම සේවය හෙට (16) පෙරවරු 8.30 සිට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දොඩන්දූව ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්වේ.
ධීවර ප්‍රජාවට ඝෘජුව සහ වක්‍රව බලපාන ගැටලු‍ සඳහා කඩිනම් විසඳුම් ලබා දීම මෙහි අරමුණ බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කීවේය. විශේෂයෙන්ම ධීවර බලපත්‍ර ලබාදීම, මෙහෙයුම් බලපත්‍ර, ලියාපදිංචි බලපත්‍ර සහ රේඩීයෝ බලපත්‍ර ආදී සේවා එදිනට ධීවර ප්‍රජාවට ලබා ගැනීමේ හැකියාව පවතින බව ධීවර අමාත්‍යාංශය කියයි.
මිරිදිය ධීවර ප්‍රජාව සහ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකත්වය මුහුණ දෙන ගැටලු‍ කඩිනමින් විසඳාලීමත් මෙම ජංගම සේවාවේ තවත් එක් අපේක්ෂාවක් බවත්, මිරිදිය ධීවර ක්ෂේත්‍රයේ නියුතු වූවන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බහුලව සිය ජීවිකාව සිදුකරගෙන යන බවත් කරන්දෙනිය, ඉමදුව, ගොනපීනුවල යන කොට්ඨාසවලද එම වෘත්තීන් ප්‍රචලිතව පවතින බවත් මේ ධීවර ජංගම සේවාව පිළිබඳව අදහස් දැක්වූ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කීය.
ධීවර විශ්‍රාම වැටුප්, ධීවර රක්ෂණාවරණය සහ ඔවුන්ට මෙවන විටත් ලබා ගැනීමට නොහැකි වූ ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික වැනි ලියාපදිංචි සහතික පත ලබා ගැනීමටද මෙම ජංගම සේවාවෙන් හැකියාව පවතී.
වෛද්‍ය සායන, ඉඩම් සම්බන්ධ ගැටලු‍, ජීවිතාරක්ෂක පුහුණු සැසි, බෝ නොවන රෝග සායන මෙහිදී පැවත්වීමට නියමිතය. දියයට කිමිදුම්කරුවන් සම්බන්ධව විශේෂ සෞඛ්‍ය සායනයක් පැවත්වීමට නියමිතව පවතී.
එසේම ධීවර ප්‍රජාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමද මෙහි තවත් අදියරයකි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවුක හමුදාව, කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළු ආයතන 60කට ආසන්න සංඛ්‍යාවක් මෙම ජංගම සේවයට එක් වීමට නියමිතය.