• Cess සහ PAL යන පැරා - තීරු බදු ඉවත් කිරීමට අවධානය
  • ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලෝක බැංකුවෙන්

භානුක අමරසිංහ


ශ්‍රී ලංකාව සිය ආර්ථික පරිවර්තනයේ දැවැන්ත පියවරක් තබමින් 2026 වසරේදී නව තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

මෙම තීරු බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලෝක බැංකුවෙහි නියෝජිතයන් වන රිචාර්ඩ් වෝකර් සහ ඇනා ට්වුම් දෙපළ හමු වී සිදුකළ තෙවැනි වටයේ සාකච්ඡාවලින් පසුව සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කර තිබේ.

“අපගේ ආර්ථිකය ගෝලීය අගය දාමයන් සමගින් හොඳින් සම්බන්ධ කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණයි. මේ යටතේ Cess සහ PAL යන පැරා - තීරු බදු ඉවත් කිරීමක් සිදු වේවි. ඒ වගේම ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ඇතුළත් වන නව ආනයන තීරු බදු ක්‍රියාරාමුවකට රට පරිවර්තනය වේවි.“ එහි සටහන්ව තිබේ.

මෙහිදී අදාළ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලෝක බැංකු නියෝජිතයන් මගින් ලැබුණු බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

“අපනයන අංශය තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය තවදුරටත් දියුණු කිරීමට මෙන්ම ජාත්‍යක්තර වෙළෙඳ එකඟතා වෙත පිවිසීම සඳහාත් මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය අවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන තිබෙනවා.“ ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.