දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇතිවූ පාරිසරික බලපෑම් හා භූ විද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින්, වෙනත් ආරක්ෂිත ස්ථානයක පිහිටුවීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. 

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding)  අත්සන් කිරීම පෙරේදා (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු මේ සඳහා අත්සන් තබා තිබේ.

නව මූලික රෝහල සඳහා දෙණියාය නගරයට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ෆර්ඩ් වතුයායෙන් සුදුසු ඉඩමක් හඳුනාගෙන ඇති අතර, භූ විද්‍යාත්මක සහ තාක්ෂණික ඇගයීම්වලින් අනතුරුව එම ස්ථානය තෝරාගෙන ඇත.

රුපියල් බිලියන 6ක ආයෝජනයක් යටතේ අදියර දෙකකින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමු අදියර යටතේ පිරිමි, කාන්තා, ළමා හා මාතෘ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සහ රුධිර බැංකුවක් ඇතුළත් වේ.