- උද්ධමන පීඩනය අඛණ්ඩව පැවැතුණහොත් මෙරට පවුල්වලින් තවත් සියයට හතරකට මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වනු ඇති
- ඇතැම් පවුල්වලට ආහාර මිලදී ගැනීමට අධ්‍යාපනයට, සෞඛ්‍යයට කරන වියදම් අඩු කිරීමට හෝ වත්කම් විකිණීමට සිදුවන ලකුණු
- මැද පෙරදිග අර්බුදයේ දැඩි බලපෑමක් එල්ල වන්නේ මෙරට ඉන්ධන, පොහොර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මත යැපීම හේතුවෙන්
විමුක්ති එස් රුද්‍රිගු
දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ මෙරටට දුප්පත් සහ දැඩි අවදානම් පවුල්වලට නැවතත් පීඩනයක් එල්ල වනු ඇති බවට හැඟවෙන මූලික ලක්ෂණ දැනටමත් පෙනෙන්නට තිබෙන බවත්, ඒ හේතුවෙන් වර්තමාන තත්වය සමීපව අධීක්ෂණය කළ යුතු බවත් ලංකාදීප එෆ්.ටී පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් ලෝක ආහාර වැඩසටහනේ මෙරට සන්නිවේදන ප්‍රධානි කැරොල් ටේලර් මහත්මිය ප්‍රකාශ කළාය.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් මෙරටට එල්ල වී ඇති උද්ධමන පීඩනය අඛණ්ඩව පැවැතුණහොත් මෙරට පවුල්වලින් තවත් සියයට හතරකට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවද ඇය පැවැසුවාය. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය කාලෝචිතව ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබුවහොත් ඉන් දැඩි අවදානම් පවුල්වලට එල්ල විය හැකි බලපෑම යම්තාක් දුරට අඩුකර ගත හැකි බවද ඇය ප්‍රකාශ කළාය.
ඉහළ යමින් තිබෙන පිරිවැය පවුල්වල මිලදී ගැනීමේ හැකියාව අඩු කරනු ඇති බවත්, ඇතැම් පවුල්වලට ආහාර මිලදී ගැනීම සඳහා අධ්‍යාපනයට, සෞඛ්‍යයට සිදුකරන වියදම් අඩු කිරීමට හෝ වත්කම් විකිණීමට සිදුවනු ඇති බවත් ඇය පැවැසුවාය.
ආහාර සුරක්ෂිතතාව, වෙළෙඳපොළ තත්වය සහ ආහාර මිල පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කළ යුතු බවත් එමගින් කාලෝචිතව තීරණ ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඇය සඳහන් කළාය. එසේම එමගින් තිබෙන සමාජ ආරක්ෂණ පද්ධති ඔස්සේ දැඩි අවදානම් පවුල්වලට අවශ්‍ය සහාය ලබාදීමටද හැකියාව ලැබෙනු ඇති බවද ඇය පැවැසුවාය.
මැද පෙරදිග අර්බුදයේ බලපෑම දැනටමත් දක්නට තිබෙන බවත්, ඉදිරියේදී එම බලපෑම දැඩි විය හැකි බවත් ටේලර් මහත්මිය ප්‍රකාශ කළාය. දැනටමත් ඉන්ධන මිල ඉහළ යාම සහ ඊට සම්බන්ධ වියදම් වැඩිවීම හේතුවෙන් ආහාර මිල හා පවුල්වල ජීවන වියදම ඉහළ යාමේ පීඩනයක් මතුවෙමින් පවතින බවද ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවට මැද පෙරදිග අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වන්නේ මෙරට ඉන්ධන, පොහොර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මත යැපීම හේතුවෙන් යැයි ඇය ප්‍රකාශ කළාය.
අඩු ආදායම්ලාභී පවුල්, දෛනික වැටුප් මත යැපෙන සේවකයන්, වතු ප්‍රජාව, මෑත දේශගුණික ආපදාවලින් පීඩාවට පත් පවුල්, කාන්තාවන් ගෘහ මූලිකත්වය දරණ පවුල්, වැඩිහිටි පුද්ගලයන් ගෘහ මූලිකත්වය දරන පවුල්, ගැබිනි සහ මව්කිරි දෙන කාන්තාවන්, අබාධ සහිත පුද්ගලයන් සහ පොහොර මිල ඉහළ යාමෙන් පීඩාවට පත් කුඩා පරිමාණ ගොවි පවුල්වලට වර්තමාන තත්වය හමුවේ දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ටේලර් මහත්මිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීම යථාර්ථයක් වුවද, මතුවන නව ගෝලීය කම්පන හමුවේ ලබාගත් ආර්ථික ප්‍රගතිය ආරක්ෂා කර ගැනීම සහ දැඩි අවදානම් පවුල් මග නොහැරෙන බව සහිතක කිරීමට රජය ප්‍රමුඛතාව ලබාදිය යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
නව ගෝලීය අර්බුද හමුවේ කල්තියා පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන බව ඇය සඳහන් කළාය. ආහාර සුරක්ෂිතතාව, වෙළෙඳපොළ තත්වය සහ මිල ගණන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කිරීම සහ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා අඛණ්ඩ ආයෝජනය කිරීමෙන් අනාගත ආර්ථික, දේශගුණික හා භූදේශපාලනික අර්බුදවල බලපෑම අවම කළ හැකි බව ලෝක ආහාර සංවිධානයේ මතය යැයි ඇය පැවැසුවාය.
සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමට රජය සහ අනෙකුත් හවුල්කරුවන් සමග අඛණ්ඩව කටයුතු කරමින්, වඩාත් අවදානමට ලක්වූ ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහාය ඉදිරියටත් ලබාදීමට ලෝක ආහාර වැඩසටහන කැපවී සිටින බව ටේලර් මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd