එක් ආරෝපණයකින් (Single Charge) කිලෝමීටර් 176ක ඉහළම සහතික ලත් ධාවන පරාසයක්


ඕනෑම ස්ථානයක සිට ආරෝපණය කළ හැකි පරිදි ‘On-board Charger’ පහසුකම්


මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම පසුගියදා සිදු කෙරුණි. ඒ අනුව ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රිරෝද රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හරහා කැපවෙනු ඇත.
නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හඳුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ බත්තරමුල්ලේ පිහිටි මූලස්ථානයේදී සිදු කෙරුණි.
මෙම නව හඳුන්වාදීම ඔස්සේ පාරිසරික ගැටලු‍ හමුවේ මුහුණදීමට සිදුවන අභියෝග මගහරවමින් ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් කරා යන ගමනට සිය දායකයත්වය සැපයීම සමාගමේ අරමුණ වේ. අවම මෙහෙයුම් පිරිවැයක් මෙන්ම මනා කල්පැවැත්මක් සහ කාර්ය සාධනයක් සහිත පරිසර හිතකාමී වාණිජ වාහනයක් වෙනුවෙන් මෙරට පවතින ඉල්ලු‍ම සපුරාලීම සඳහා මෙය කදිම විසඳුමක් සපයනු ඇත.
වෙළෙඳපොළේ පවතින අනෙකුත් ත්‍රිරෝද රථවලට සාපේක්ෂව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය එක් ආරෝපණයකින් (Single Charge) කිලෝමීටර් 176ක ඉහළම සහතික ලත් ධාවන පරාසයක් පිරිනැමීම විශේෂත්වයකී. 9.2 kWh ධාරිතාවකින් මෙම රථය බලගැන්වේ. 
පාරිභෝගික පහසුව සඳහා මෙම රථය ඕනෑම ස්ථානයක සිට ආරෝපණය කළ හැකි පරිදි ‘On-board Charger’ පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. ඒ අනුව සම්පූර්ණ ආරෝපණය පැය 4.5ක් වැනි කෙටි කාලයකින් ලබා ගත හැකි අතර ආරෝපණ ධාරිතාවෙන් සියයට 80 ක් පැය 03කට අඩු ආරෝපණ කාලයකින් ලබා ගත හැකිය. මෙහි බැටරි පද්ධතිය IP67 ජල ප්‍රතිරෝධී ප්‍රමිතියෙන් නිමවා ඇති අතර එමගින් ඕනෑම කාලගුණික තත්වයකදී එහි ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සහතික කරයි.
මෙම ත්‍රිරෝද රථයේ සියලු‍ම විදුලි ලාම්පු LED තාක්ෂණයෙන් බලගැන්වෙන අතර රථය පැදවීමේ ආකාර කිහිපයක්, කඳු සහිත මාර්ගවල පහසුවෙන් හැසිරවිය හැකි Hill-hold Assist පද්ධතියක් සහ පූර්ණ ඩිජිටල් තොරතුරු පුවරුවක් වැනි නවීන විශේෂාංග රැසක් මෙහි අන්තර්ගත වේ. ශක්තිමත් ලෝහමය බඳකින් සහ පුළුල් අවකාශයක් සහිත සුවපහසු ආසනවලින් සමන්විත මෙම රථය දිගුකාලීන වාණිජ භාවිතය සඳහා ඉතා යෝග්‍ය වේ.
දශක ගණනාවක ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනූ බජාජ් ඉංජිනේරු තාක්ෂණය සහ ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සතු දිවයින පුරා විහිදුණු අසමසම සේවා ජාලය මඟින් නවීන විද්‍යුත් ප්‍රවාහන විසඳුම් වෙත උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙත ඉහළම විශ්වාසයක් සහ වටිනාකමක් පිරිනමයි.