- මාසයේ දින තුනක් හැර අනෙක් දිනවල විදෙස් ආයෝජන පිටතට ගලා ගිහින්
- මාසය තුළ දේශීය ආයෝජකයන් සක්‍රීයවීම නිසා බලපෑම අඩු වෙයි
භානුක අමරසිංහ
2026 වසරේ ජනවාරි මාසයේදී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල සිදු වුණු ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි (net foreign outflows) වටිනාකම රුපියල් මිලියන 6,787.25 ක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී මූලිකවම ඩයලොග් ආසිආටා පීඑල්සී, ලී හෙජස් පීඑල්සී සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම් හි පිළිවෙළින් සිදු වූ රුපියල් මිලියන 1,391ක, 1,713 ක සහ 1,779 ක ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලා යෑම් ඊට හේතුව වී තිබෙන බව ඇම්බියොන් සිකියුරිටීස් ආයතනය සකස් කළ Monthly Economic Wrap –Jan 2026 වාර්තාවේ දැක්වෙයි.
ජනවාරි මාසය සඳහා වන කොළඹ කොටස් හුවමාරුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් ඇම්බියොන් සිකියුරිටීස් මෙම වාර්තාව සකස් කර තිබේ.
ඒ අනුව මාසයේ ගනුදෙනු දින තුනක් හැර අනෙක් සියලුම දිනවලදී මෙලෙස ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑමක් සටහන්ව තිබෙන බවත් එම ආයතනය පවසයි.

“මෙලෙස විදේශීය ආයෝජන පිටතට ගලා ගියද දේශීය ආයෝජකයන් සක්‍රීයව එම විකුණුම් ධාරිතාව අවශෝෂණය කරගැනීමට සමත් වුණා. ඒ අනුව විදේශීය විකුණුම් නොතකා සමස්ත කොටස් මිල දර්ශකය ජනවාරි මාසය තුළ සියයට 4.15 ක වර්ධනයක් හිමි කරගත්තා.” යනුවෙන් ඇම්බියොන් සිකියුරිටීස් සඳහන් කරයි.
මේ අතර ජනවාරි මාසය තුළ වැඩිම ශුද්ධ විදේශ ආයෝජන ගලා ඒමක් (net foreign inflows) සිදු වුණු සමාගම් අතර කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ පික්මී සටහන්ව තිබේ. එම සමාගම් වෙත ගලා ආ ශුද්ධ විදේශ ආයෝජන පිළිවෙළින් රුපියල් මිලියන 141ක්, 115ක් සහ 90 කි.
මෙම තත්වයත් සමගින්ම ජනවාරි මාසයේ 30 වැනිදා වනවිට කොළඹ කොටස් හුවමාරුව තුළ වාර්තා වූ ශුද්ධ විදේශ ගලායාම් (net foreign flows) වටිනාකම රුපියල් මිලියන - 6,787.25 ක් බව එම ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd