ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන විභවතාවක් ඇති අපනයනකරුවන් උදෙසා “Beyond Borders: Incoterms, Risk Management and Strategies for Competitiveness in International Trade”  යන තේමාව යටතේ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි වසර පහ සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන ප්‍රධාන අංශ හඳුනාගනිමින් පස් අවුරුදු ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බවයි. පවතින අපනයන පදනම ශක්තිමත් කිරීමත්, ඒ හා සමානව නව අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දීමත් මෙම වසරේ ප්‍රධාන කාර්යය බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සෘජු අපනයන සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ (SME) දායකත්වය දැනට සියයට 5කට වඩා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා, ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල එම දායකත්වය සියයට 25කට වඩා වැඩි බව ප්‍රකාශ කළේය. ‘‘අප ඒ තත්වය වෙනස් කළ යුතුය”‍ යනුවෙන් අවධාරණය කළ ඔහු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු කළේය.

අපනයන පුහුණු උපදේශක දිනේෂ් ද සිල්වා මහතා විසින් සිංහල හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යයෙන් මෙහෙයවන ලද මෙම පුහුණු වැඩමුළුවේදී ක්ෂේත්‍ර රැසක් ආවරණය විය. විශේෂයෙන්ම ඇණවුම් ස්ථාපනය කිරීමේ උපාය මාර්ග, ගැනුම්කරුගේ විශ්වාසය ගොඩනැගීම, නිෂ්පාදන දැනුම, ලේබල් කිරීම හා ඇසුරුම් කිරීම මෙන්ම තරගකාරිත්වය සඳහා වූ උපාය මාර්ගික මිලකරණය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව ව්‍යාපාරික අවදානම් කළමනාකරණය, Incoterms  ප්‍රායෝගික යෙදුම සහ ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමවේද පිළිබඳවද අපනයනකරුවන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට වෙළෙඳ පහසුකම් සහ වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු සහභාගී වූහ.