IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


චීන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මාර්ග සිතියමක්

චීන වාණිජ කටයුතු අැමැති 
වැන්ග් වෙන්ටාඕ

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 
ආචාර්ය අනිල් ජයන්ත

 

  • දෙරටේ ද්වී පාර්ශ්වික වෙළෙඳාම පසුගිය වසරේ ඩොලර් බිලියන 5.36 ක්
  • එය 2023 වසරට සාපේක්ෂව සියයට 13.4 ක වර්ධනයක්
  • චීනයට අපනයන ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සහාය වීම ලංකාව සහ චීනය අතර වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට වැදගත්
  • මැණික්, කුළුබඩු සහ තේ යන ශ්‍රී ලංකා අපනවලට චීන ජනතාව අතර වැඩි කැමැත්තක්
  • චීනය මෙරට සිදුකරන ආයෝජන අඛණ්ඩව වර්ධනයක්
  • කෘෂි සැකසුම් සහ ධීවර කටයුතු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, රෙදිපිළි සහ ඇඟලු‍ම්, සංචාරක ව්‍යාපාරය මෙන්ම පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට චීනයේ ඉහළ පෙළේ සමාගම්වලට ආරාධනා
  • පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 18.27 ක ආනයන කරලා
  • ඩොලර් මිලියන 614 ක සෘඡු විදෙස් ආයෝජන මෙරටට ලැබිලා

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වී පාර්ශ්වික වෙළෙඳාම පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.36 ක අගයක් ගත් බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 13.4 ක වර්ධනයක් බවත් චීන වාණිජ කටයුතු පිළිබඳව අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

චීන වෙළෙඳ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වී පාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා මාර්ග සිතියමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳාම තවත් ශක්තිමත් කර ගැනීම, වැඩි වශයෙන් ආයෝජන කිරීම සහ බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධති ගොඩනගා ගැනීම මත ශ්‍රී ලංකාව සහ චීනය අතර අනාගත සහයෝගීතාව ගොඩනගා ගත යුතු බවයි.

ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව සඳහා වූ චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව වැනි ආයතනික යාන්ත්‍රණ නැවත සක්‍රීය කිරීම සහ ශක්තිමත් කිරීම, චීන ජාත්‍යන්තර ආනයන හා අපනයන ප්‍රදර්ශනය වැනි වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ පර්‌යේෂණ මුලපිරීම් සහ ඉලක්කගත සංවර්ධන වැඩසටහන් හරහා චීනයට අපනයන ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට වැදගත් බව අමාත්‍යවරයා පැවැසුවේය. ශ්‍රී ලංකාවේ කෙරෙන ආයෝජන වැඩි කිරීම සඳහා හරිත, ඩිජිටල් කර්මාන්තවල ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීම සහ මෙරට ආයෝජන කලාප සංවර්ධනයට සහාය වීම අත්‍යාවශ්‍ය බව වාණිජ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බහුපාර්ශ්වික සහ ආර්ථික විවෘතභාවය ආරක්ෂා කිරීම සඳහා ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් එල්ල වන බලපෑම් අවම කර ගැනීමට බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධති ආරක්ෂා කර ගැනීම සහ ගෝලීය වෙළෙඳාමේදී සහ අයෝජනයේදී ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වය, නිශ්චිතතාව සහ යැපිය හැකි බව ලබාදෙන සහකරුවකු ලෙස චීනය තෝරා ගැනීම සිදුකළ යුතු බව වෙන්ටාඕ මහතා පැවැසුවේය.

ගෝලීය ආර්ථිකය අවිනිශ්චිතතා රාශියකට මුහුණදෙන මෙම අවස්ථාවේදී චීනය විවෘතභාවය, සාධාරණත්වය සහ අන්‍යෝන්‍ය සංවර්ධනය සඳහා කැපවී සිටින විශ්වාසදායක හවුල්කරුවකු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මැණික්, කුළුබඩු සහ තේ යන ශ්‍රී ලංකා අපනවලට චීන ජනතාව වැඩි කැමැත්තක් දක්වමින් සිටින බවද ඔහු පැවැසුවේය.

එසේම චීනය මෙරට සිදුකරන ආයෝජන අඛණ්ඩව වර්ධනය වී ඇති බවද වාණිජ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික යටිතල පහසුකම්වල ආයෝජනවලින් ඔබ්බට යමින් චීනය මෙරට ඖෂධ, ගෘහ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි අංශවලද ආයෝජන සිදුකර තිබෙන බව වෙන්ටාඕ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආපදා සහන යන ක්ෂේත්‍ර සඳහා තාක්ෂණික සහ මානුෂීය ආධාර ලබා දීම සඳහා චීනය දායක වී ඇති බවත් එමගින් මෙරට මානව සංවර්ධන දායකත්වය සඳහා චීනය ලබාදෙන සහාය තවත් පුළුල් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැති චීන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ආරම්භ දේශනය කරමින් චීන වාණිජ කටයුතු පිළිබඳව අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා මෙම අදහස් පළ කළේය. ආයෝජන සමුළුවට චීනයේ සමාගම් 77 ක පමණ නියෝජනය කරමින් නියෝජිතයෝ 115 පමණ සහභාගී වූහ. සමුළුවට චීනයේ ආයෝජන මණ්ඩල හතරක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගීවී සිටියහ.

එහිදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ කෘෂි සැකසුම් සහ ධීවර කටයුතු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, රෙදිපිළි සහ ඇඟලු‍ම්, සංචාරක ව්‍යාපාරය මෙන්ම පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට චීනයේ ඉහළ පෙළේ සමාගම්වලට ආරාධනා කරන බවයි.

ද්වී පාර්ශ්වික වටිනාකම්, සංස්කෘතික බැඳීම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ වේගයෙන් ව්‍යාප්ත වන ආර්ථික සහයෝගීතාව මත පදනම්ව ගොඩ නැගුණු ශ්‍රී ලංකා සහ චීනය අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීත්වයට ශ්‍රී ලංකා - චීන සහයෝගීතා සමුළුව සාක්ෂියක් වනු ඇති බවයි. අගය එකතු කළ අපනයන, පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල්කරණය කෙරෙහි උපායමාර්ගික අවධානයක් යොමු කරමින් නිෂ්පාදනය පාදක කරගත් ආර්ථිකයක් ශ්‍රී ලංකාව ගොඩනඟමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් පසුගිය වසරේදී මෙරට වෙ​ෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.02 ක් බවත් ඔහු පැවැසුවේය. එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 18.27 ක ආනයන සිදුකර තිබෙන බවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

චීන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මාර්ග සිතියමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site