IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගාල්ලේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬයි ද ?


කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ


  • කෘෂි රසායන - පොහොර ගිනි ගණන්
  • දැන් මේ රස්සාවට තිත තියන්න වෙලා
  • තේ වගාවට විතරක් මොනම හැන්දකින්වත් බෙදන්නේ නෑ
  • නවීන තාක්ෂණය දෙනවා නම් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්
  • මෙහෙම ගියොත් ගාලු දිසාවෙන් තේ කර්මාන්තය තුරන් වේවි
  • බලධාරීන් මේ දෙස නොබැලුවොත් අරගල කරන්න වෙනවා

විතානගේ බන්දුසේන


 

යසස් පණ්ඩිතරත්න


 

පවතින උග්‍ර ගැටලු‍ රැසක් නිසා අද ගාලු‍ දිසාවේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬමින් තිබෙන බව එම කර්මාන්තයේ නියුක්තිකයෝ කියති.

මේ නිසා ගාලු‍ දිසාවේම කුඩා තේ වතු හිමියන් සහ එහි රැකියාවල නියුතු දහස් ගණනකගේ රැකියා දැඩි අනතුරකට පත්ව ඇති බව ද ඔවුහු කියති.

යම් හෙයකින් ගාලු‍ දිසාවේ කුඩා තේ වතු කර්මාන්තය බිඳවැටුණහොත්, එම දිසාවේම තේ කර්මාන්තශාලාවලට වදින්නේ මරු පහරකි. ඒ ගැන දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. එයින් රටේ ආර්ථිකයට ඇති වන හානිය, පාඩුව මෙතෙකැයි කිව නොහැක.

තේ දලු‍ මිල පහත බැසීම, පොහොර, වල් නාශක මිල ඉහළ යාම, කම්කරු කුලිය දරන්න බැරි තරම් ඉහළ යාම වැනි ගැටලු‍වලට මැදි වීම නිසා අද ගාලු‍ දිසාවේ කුඩා තේ වතු කර්මාන්තය වළ පල්ලටම යමින් තිබෙන බව ද ඔවුහු කියති.

මේ කරුණු කාරණා සියල්ල ඉස්මතු වීමත් සමගම කුඩා තේ වතු හිමියන්ගේ භාෂාවෙන්ම පැවැසුවහොත්, තමන්ගේ කර්මාන්තයට අද ලබා ඇත්තේ සෙනසුරු මහ දශාවය. 

තමන්ගේ කර්මාන්තයට අත්ව තිබෙන අලු‍ත්ම තත්වය පිළිබඳව කුඩා තේ වතු හිමියන් හා එම ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනෙක්ම අප සමග මෙසේ අදහස් දැක්වූහ.

විතානගේ බන්දුසේන:

“අපි කාලා ඇඳලා හිටියේ අපේ කුඩා තේ වත්තෙන්. දලු‍ ටික කඩලා ඒවා විකුණලා දරු මල්ලන් හැදුවෙත්, ඔවුන්ට කන්න දුන්නෙත් මේ රස්සාවෙන්. අපිව රක්ෂා කළ මේ රක්ෂාවට දැන් නැවතීමේ තිත තියන්න කාලය ඇවිල්ලා කියලයි අපි හිතන්නේ. තිබෙන වාතාවරණයත් එක්ක මේ රස්සාව කරන්න බැරි වෙලා තියෙනවා. අපේ කර්මාන්තයට රජයෙන් කියලා කිසිම සහනයක් නැහැ. අපේ කර්මාන්තයෙන් ගලා එන්නේ රටට ඩොලර්. මේ කර්මාන්තය නැති වෙනවයි කියන්නේ රටට ඩොලර් එන මගක් අහිමි වෙනවයි කියන එක.

අනෙක් වගා වගේ නෙමෙයි තේ වගාවට අනිවාර්යයෙන්ම පොහොර ඕනෑ. රසායනික පොහොර ඉතාමත්ම අවශ්‍යයි. බලන්න එදා තේ පොහොර කොට්ටයක මිල කීයද, අද පොහොර කොට්ටයක මිල කීයද කියලා. තේ වගාවට පොහොර වර්ග දෙකක් දානවා. අද එක පොහොර කොට්ටයක මිල 6,800ක් වෙනවා. අනෙක් පොහොර කොට්ටයක මිල 9,000ක් විතර වෙනවා. මේ ගිනි ගණන්වලට පොහොර අරන් අපි කොහොම ද මේ කර්මාන්තේ කරන්නේ. ඒ වගේම වල් නාශකත් ගිනි ගණන්. අද වල් නාශක බෝතලයක් රුපියල් 1,500ක් වෙනවා.

තේ ඉඩමට පොහොර දාන්න, වල් නාශක ඉහින්න, උදලු‍ ගාන්න කම්කරුවන් ගත්තොත් තත්වය මීට එහා. අද කාන්තාවක් වැඩට ගත්තොත් කන්න බොන්න දීලා රුපියල් 1,500ක් ගෙවන්න ඕනෑ. පිරිමි අයෙක් ගත්තොත් රුපියල් 2,000ත් 2,500ත් අතර මිලක් ගෙවන්න වෙනවා. මේ ඔක්කෝමත් හරි තේ දල්ලේ මිල බැහැලා. අද තේ දලු‍ කිලෝග්‍රෑමයක් යන්නේ රුපියල් දෙසීයට අඩුවෙන්. මීට කලින් තේ දලු‍ කිලෝග්‍රෑමයක් රුපියල් 290ට පමණ විකුණුනා. අද එය රුපියල් 195ක් වගේ මිලකටයි යන්නේ. තේ දල්ලට හොඳ මිලක් ලැබෙනවා නම් අපේ ගැටලු‍ හා ප්‍රශ්නවලින් භාගයක්ම විසඳෙනවා.”

ඩී.එම්. චන්ද්‍රලතා


 

ඩී.එම්. චන්ද්‍රලතා:

“ඇත්තටම රටට ඩොලර් මවන අපේ කර්මාන්තයට සහනාධාර නැහැ. සහනාධාර දෙන්නේ අනෙක් වගාවලට විතරයි. එකම රටේ එකම ක්ෂේත්‍රයේ කෘෂිකර්මය සඳහා බෙදනුයේ හැඳි කිහිපයකින්. වී වගාවට බෙදන්නේ එක හැන්දකින්, අනෙක් වගාවලට තව හැඳිවලින්. තේ වගාවට විතරයි රජය මොනම හැන්දකින්වත් බෙදන්නේ නැත්තේ. කම්කරු කුලිය ගෙවා ගන්න බැරි නිසා අපේ තේ කෑල්ලේ තේ මම නෙළා ගන්නවා. ගෙදර වැඩ පාඩු කරගෙන ඇවිල්ලා තේ නෙළනවා. අනෙක නවීන තාක්ෂණය ලබලා දෙනවා නම් අපේ තේ ඉඩම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. වෙන රටවල කුඩා තේ වතු සඳහා නවීන තාක්ෂණය භාවිත කරනවා. තියෙන තේ ඉඩම්වලින් එම රටවල් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒකට අපේ රට. අපි තවමත් තේ කර්මාන්තය සඳහා භාවිත කරන්නේ යල් පැනගිය පාරම්පරික ක්‍රම.

පවතින ගැටලු‍ හමුවේ දැන් දැන් බොහෝ අය කුඩා තේ වතු කර්මාන්තයෙන් ඉවත් වී යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. සමහරු තේ ඉඩම්වල කුරුඳු වැනි භෝග සිටුවීමට පටන් අරන්. මෙහෙම ගියොත් මේ කර්මාන්තය ගාලු‍ දිසාවෙන්ම තුරන් වේවි. එයින් ජීවත් වූ දහස් ගණනකට බඩගින්නේ මැරෙන්න සිද්ධ වේවි.”

පහත රට වතු කම්කරුවන්ගෙන් සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න: 

“පහත රට වතු කම්කරුවන්ගේ බොහොමයක්ම වැඩ කරන්නේ ගාලු‍ දිසාවේ වතුවල. එයිනුත් වැඩි දෙනා සේවය කරන්නේ තේ වතුවල. කුඩා තේ වතුවල වැඩ කරන අය ද බොහොමයක්ම ඉන්නවා. ගාලු‍ දිසාවේ කුඩා තේ වතුවල විශාල වශයෙන්ම අපේ කම්කරුවෝ වැඩ කරනවා. යම් හෙයකින් මේ කර්මාන්තය කඩාගෙන වැටුණහොත් රැකියා අහිමි වන අපේ කම්කරුවන්ගේ ගණන ඉතා විශාලයි. අද රටට අවශ්‍ය කර්මාන්ත කඩාවැටීම නොව කඩාවැටී ඇති කර්මාන්ත නගාසිටුවීමයි. ඒ තුළින් රැකියා උත්පාදනය කිරීමයි. අපි දන්න විදිහට ගාලු‍ දිසාවේ පමණක් කුඩා තේ වතු හිමියන් හැට දහසත් හැත්තෑ දහසත් අතර සංඛ්‍යාවක් ඉන්නවා. මේ වන විට පවතින ගැටලු‍ හා ප්‍රශ්න හමුවේ සැලකිය යුතු සංඛ්‍යාවක් කුඩා තේ වතු කර්මාන්තයෙන් ඉවත් වෙලා. මේක බොහොම නරක තත්වයක්. අපි නව රජයෙන් ඉල්ලන්නේ කුඩා තේ වතු කර්මාන්තය පවත්වාගෙන යාමට වහාම මැදිහත් වෙන්න කියලයි. කුඩා තේ වතු සඳහා සහනාධාරයක් දෙන්න. පොහොර මිල අඩු කරන්න. වල් නාශක මිල අඩු කරන්න. එසේ නොවුණොත් මේ වෙනුවෙන් අපේ කම්කරුවන් එක්ක පාරට බැහැලා අරගල කරන්න අපිට සිද්ධ වෙනවා. ඒක වැඩි ඈතක නැති බව පේනවා. ඒකට ඉඩ දෙන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

මේ පිළිබඳව අපි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී කුඩා තේ වතු හිමියන්ගේ ගැටලු‍ හා ප්‍රශ්න පිළිබඳව නව රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු කළ බව එහි ප්‍රකාශකයකු පැවැසීය.



අදහස් (0)

ගාල්ලේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬයි ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site