• වර්තමානයේ ගෝලීය කාබනික වෙළෙඳපොළ වටිනාකම යුරෝ බිලියන 136.4ක් 
  • ශ්‍රී ලංකාවේ කාබනික අපනයන ආදායම ඩොලර් මිලියන 500යි 
  • කාබනික වගාව ප්‍රචලිත කිරීමට ජාතික කාබනික ප්‍රතිපත්තියක් වැදගත් 
  • වර්තමානයේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 28ක් කෘෂිකාර්මික නිෂ්පාදන 

භානුක අමරසිංහ 


2026 වසරේදී සිදුකරන අපනයන විවිධාංගීකරණයත් සමගින් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායම තවදුරටත් වර්ධනය කරගැනීම අපේක්ෂාව බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ ජාතික කාබනික කෘෂිකාර්මික පද්ධතියේ නීතිමය රාමුවේ යෝජිත වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ කොළඹදී පැවැති වැඩමුළුවක් අමතමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. 

“වර්තමානය වනවිට ගෝලීය කාබනික වෙළෙඳපොළ වටිනාකම දළ වශයෙන් යූරෝ බිලියන 136.4ක් විදියට ඇස්තමේන්තු කර තිබෙනවා. අද වනවිට ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයෙන් වාර්ෂිකව උපයන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. මෙම පංගුව වැඩි කරගැනීම සඳහා 2026 වසරේදී කටයුතු කරනවා.“ 

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික කාබනික පාලන ඒකකය (NOCU)  එක්සත් රාජධානියේ  ITC-UK  වෙළෙඳ හවුල්කාරීත්ව වැඩසටහන සමග එක්ව මෙම වැඩසටහන පවත්වා තිබේ. 

දත්ත අනුව අද වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 28ක් පමණ කෘෂිකාර්මික නිෂ්පාදන හරහා ලැබෙන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව මෙම වසර තුළදී සිය අපනයන භාණ්ඩවල සහ දිශානතියේ වෙනස්කම් සිදු කරන බවත්, එහිදී කාබනික නිෂ්පාදන අපනයනය වෙත වැඩි අවධානයක් යොමු කරන බවත් පවසා සිටියේය. 

 “ජාතික කාබනික ප්‍රතිපත්තියක් ලංකාව තුළ ව්‍යාප්ත කිරීමෙන් මෙම කාබනික වගාව තවදුරටත් ප්‍රචලිත කරලා ඒ හරහා ලැබෙන අපනයන ආදායම වැඩි කරගැනීමට හැකි වේවි. එය 2030 අපගේ අපනයන ආදායම් ඉලක්කය වන ඩොලර් බිලියන 36 වෙත ළගා වීමට සහායක්.“  

අද වන විට මෙම කාබනික නිෂ්පාදන අපනයන අංශය සහතික කළ කාබනික අපනයනකරුවන් 400 කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය, EU  කාබනික, USDA කාබනික, JAS, Demeter සහ Naturland ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් කාබනික ප්‍රමිති ගණනාවක් යටතේ ක්‍රියාත්මක වේ.

මෙම සහතික කිරීම් එක්ව කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 70,000 කට වැඩි ගණනක් ආවරණය කරන අතර, ගොවීන් 20,000 කට අධික සංඛ්‍යාවක් අපනයනකරුවන් සහ සැකසුම්කරුවන් හරහා ගොවි කණ්ඩායම්, කාබනික නිෂ්පාදකයන් ලෙස සහතික කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය. 

 “ITC-UK  මගින් ක්‍රියාත්මක මෙම වෙළෙඳ හවුල්කාරීත්වය අපිට අතිශය වැදගත්. මෙම සහතික කිරිමත් සමගින්ම අපිට අනෙකුත් රටවල වෙළෙඳපොළ වෙතටත් පිවිසෙන්න. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ රටවල්වලට ළගදීම යන්න හැකියාවක් ලැබේවි.“ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.