නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් තුළින් රක්ෂණ අත්දැකීම තවදුරටත් උසස් කිරීම සඳහා  LOLC  සාමාන්‍ය රක්ෂණ සමාගම දක්වන අඛණ්ඩ කැපවීමේ තවත් සුවිශේෂී පියවරක් ලෙස V Help හඳුන්වා දී ඇත. මෝටර් රථ රක්ෂණ සේවාවල සීමා පුළුල් කරමින් හඳුන්වා දෙන මෙම සේවාවෙන් සුදුසුකම් ලබන රක්ෂණ හිමියන්ට වාහන සම්බන්ධ ගැටලු‍ සඳහා විශේෂඥ තාක්ෂණික මගපෙන්වීම, හා මාර්ග ආපදා සහාය (Roadside Assistance) ලබාදෙමින් අනතුරකදී රක්ෂණ හිමිකම් පියවීමෙන් ඔබ්බට ගිය වඩාත් පුළුල් පාරිභෝගික සහායක් ලබා දේ.
V Help හරහා, හදිසි අවස්ථාවලදී පමණක් නොව, පාරිභෝගිකයන්ගේ දෛනික වාහන ගමන් අත්දැකීම පුරා විශ්වාසදායක සහායකයකු ලෙස තවදුරටත් සමීප වීම අරමුණු කරයි. 
V Help හරහා පාරිභෝගිකයන්ට  LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම්හි මෝටර් රථ ඉංජිනේරු විශේෂඥ ඒකකයේ සුදුසුකම් ලත් ඉංජිනේරු විශේෂඥයන් වෙත සෘජු ප්‍රවේශයක් හිමි වන අතර වාහනය සම්බන්ධයෙන් වන විවිධ යාන්ත්‍රික සහ විදුලි කාර්මික ගැටලු‍ පිළිබඳ වෘත්තීය උපදෙස් ලබා දීමෙන්, රක්ෂණ හිමියන්ට තම වාහනයේ ගැටලු‍ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, වඩා හොඳ තීරණ ගැනීමටත්, ගමන අඛණ්ඩව පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ.
ඩෑෂ්බෝඩ් අනතුරු ඇඟවීම්, අසාමාන්‍ය එන්ජින් ශබ්ද, වාහන කම්පන, ගියර් පද්ධති ගැටලු‍, බැටරි සම්බන්ධ ගැටලු‍, විදුලි දෝෂ සහ අනෙකුත් තාක්ෂණික කරුණු ඇතුළුව පුළුල් පරාසයක වාහන ගැටලු‍ සඳහා  V Help මගින් හැකි සෑම අවස්ථාවකදීම විශ්වාසදායක මගපෙන්වීම සහ විශේෂඥ උපදෙස් ලබා දේ. 
LOLC මෝටර් රථ රක්ෂණ හිමියන් හට අනපේක්ෂිත අවස්ථාවක තම වාහනේ යම් කිසි ගැටලුවක් පැන නැගුනහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 011 500 80 80 යන දුරකථන අංකය ඇමතීමෙන් V Help සේවාව ලබාගත හැකිය. එහිදී මෝටර් රථ ඉංජිනේරු විශේෂඥයන් විසින් වාර්තා කරන ලද ගැටලු‍ ඇගයීමෙන් අනතුරුව අවශ්‍ය උපදෙස් සහ විසඳුම් ලබා දෙනු ඇත.
ගැටලුව විසඳීම සඳහා සමාගමෙහි නියෝජිතයකුගේ පැමිණීම අවශ්‍ය වන අවස්ථාවලදී, පාරිභෝගිකයන් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම්හි බලයලත් සේවා සපයන්නන් හරහා ක්‍රියාත්මක වන මාර්ග ආපදා සහාය  ඒකකය වෙත සම්බන්ධ කරනු ලබයි. එමගින් බැටරි ජම්ප් ස්ටාර්ට් කිරීම, පැතලි ටයර් මාරු කිරීම, සුළු යාන්ත්‍රික සහාය, සුළු විදුලි අලු‍ත්වැඩියා සහ අනෙකුත් අනුමත මාර්ගස්ථ සහාය සේවා ලබා ගත හැකිය. 
LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම් හි සභාපති/ප්‍රධාන නිලධාරී, කිත්සිරි ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: ‘වර්තමානයේ රක්ෂණය යනු හුදෙක් හිමිකම් පියවීමක් පමණක් නොව, පාරිභෝගිකයාගේ ගමන පුරාම විශ්වාසදායී සහායකයකු ලෙස ඔවුන්ගේ ගමනට වටිනාකමක් එක් කරන සහ අඛණ්ඩ සහායක් සපයන සේවාවක් බවට පරිවර්තනය වෙමින් පවතී.  LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලෙස අපගේ අවධානය යොමුව ඇත්තේ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන්ට සැබෑ වටිනාකමක් එක්කරන නව්‍ය සේවා් හඳුන්වාදීම වෙතයි. V Help  සේවාව එම දැක්ම තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී පියවරක් වන අතර, නව්‍යකරණයෙන් මෝටර් රථ රක්ෂණ අත්දැකීම නව මානයකට රැගෙන යමින් අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට වඩාත් පුළුල්, ප්‍රායෝගික සහ වටිනා සේවාවක් ලබාදීමට ඇති අපගේ කැපවීම පෙන්නුම් කරයි.”‍
LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. V Help හඳුන්වාදීමෙන් අපි තවත් පියවරක් ඉදිරියට තබමින්, අවශ්‍ය මොහොතේ ක්ෂණික සහාය, විශ්වාසය සහ පහසුව එක් කළ නව මෝටර් රථ රක්ෂණ අත්දැකීමක් නිර්මාණය කළෙමු”‍ මෙය නව සේවාවක් පමණක් නොව, රක්ෂණ අත්දැකීම නව මට්ටමකට ගෙන යන පියවරකි.”‍ V Help යනු මෝටර් රථ රක්ෂණයේ අනාගතය සඳහා අප ගන්නා තවත් වැදගත් පියවරකි.  V Claim හරහා අපි හිමිකම් පියවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරමින් වේගවත් සහ පහසු විසඳුම් ලබා දුන්නා සේම V Help සමගින්, අපි එම අත්දැකීම තවත් ඉදිරියට ගෙන යමින්, හිමිකමක් ඇති වූ අවස්ථාවක පමණක් නොව, ගමන පුරාම පාරිභෝගිකයාට සහාය වන සේවා පද්ධතියක් නිර්මාණය කළෙමු.