IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කෙසෙල් අස්වැන්නට අත්වන ඉරණම

ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් ගොඩ ගසා ඇති අන්දම 


කෙසෙල් අස්වැන්නේ පසු අස්වනු හානි සියයට 35 ඉක්මවයි
වැඩි අස්වැන්නක් ලැබීමත් මිල පහළ යාමට හේතුවක්
කෙසෙල් අපනයනය කිරීම නිලධාරින්ගේ තවත් රැවටිල්ලක්
පායන කාලයට මිල වැඩියි. වැස්සට කෙසෙල් මිල අඩුවෙනවා
යන වියදමයි මහන්සියයි බලපුවහම ගොවියා හැම අතින්ම අනාතයි
මෙරට සමස්ත කෙසෙල් වගා වපසරිය හෙක්ටයාර් හැටදහස ඉක්මවලා
සමස්ත වාර්ෂික අස්වැන්න ටොන් හත්ලක්ෂ අසුදහස ඉක්මවයි

 


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

 

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය

කෙසෙල් අස්වැන්න වෙළෙදපොළට ගෙන එන ආකාරය

කෙසෙල් වගාවක්


 

අනුරාධපුරයේ, රාජාංගනය, තඹුත්තේගම, එප්පාවල, තලාව, ගල්නෑව ආදි ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට සියලු‍ම කෙසෙල් වර්ගවල තොග සහ සිල්ලර මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ. ඉකුත් මහ වැස්සත් සමග මේ තත්වය තවදුරටත් වර්ධනය වු බව ගොවීහු පවසති. අනුරාධපුරයේ වැඩිම කෙසෙල් වගා වපසරියක් සහිත රාජාංගනය ආදි ප්‍රදේශවලින් වැඩි කෙසෙල් අස්වැන්නක් වෙළෙද පොළට පැමිණීමද කෙසෙල් මිල අධික ලෙස පහත වැටීමට හේතුවී ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 


රාජාංගනය ප්‍රදේශයේ කෙසෙල් ගොවියකු වන ආසිරි වඩුගේ මෙවැනි කරුණු පැහැදිලි කිරීමක් කළේය.
 “වී වගා කරලා ඇත්තටම දැන් හරිහමන් ආදායමක් ගන්න බෑ. සමහර කන්නවල වී වගා කරන්න ගිහිල්ලා අපි හිටපු තත්වෙනුත් පහළට වැටුණා. පොහොර, වල්නාශක, කෘමිනාශක, බිම හාන්න යන වියදම, බිත්තර වී, වපුරන්න, ගොයම් කපන්න, භූතයා ගහන්න, කම්කරු කුලී, කෑමට, තේ වලට, බුලත්, පුවක්වලට වියදම ඇරියහම ගන්න ආදායමෙන් ඉතුරුවෙන දෙයක් නෑ. මේ හින්දම තමයි ගොඩක් ගොවියෝ කෙසෙල්, ගස්ලබු වගේ දේවල් කුඹුරුවල වගා කරන්න ගත්තේ. රාජාංගනේ තමයි අනුරාධපුරේ වැඩිම ප්‍රමාණයක් කෙසෙල් වවන ගොවියෝ ඉන්නේ. ඉස්සර ගෙවතුවලත් වැව්වා. දැන් හැම අතේම කෙසෙල්. ඒකෙන් වුණේ කාටවත් මිලක් නැති වෙච්ච එක. ” 
ඉකුත් දින කිහිපය තිස්සේ තඹුත්ගේම ආර්ථික මධඨස්ථානයේ ඇඹුල් කෙසෙල් කිලෝවක තොග මිල රුපියල් 40 ත් 45 ත් දක්වා පහළ වැටී තිබේ. සීනි කෙසෙල් රුපියල් 40 ත් 50 ත් අතර මිල පරාසයකට වැටී ඇත. කැවන්ඩිස් කිලෝවක මිල රුපියල් 50 ත් 55 ත් අතර මිලක පවතී. අළු කෙසෙල් කිලෝවක් රුපියල් 60 කි. කෝලිකුට්ටු පමණක් කිලෝව රුපියල් 180 ඉක්මවා පවතී. අධික වශයෙන් කෙසෙල් තොග ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙනඒමත් වෙළෙදුන්ගේ පැමිණීම සීමාවීමත් හේතුවෙන් මෙසේ මිල පහළ ගොස් තිබේ. ඊට සාපේක්ෂව අස්වැන්න අපතේ යෑමද මෙහිදී මතුවන ගැටලු‍වකි. 


තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ, වෙළෙද සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න කෙසෙල් මිල උච්චාවචනය වීම පිළිබදව මෙසේ කරුණු කීවේය.
“මාස ගාණක් එක දිගට පෑවිල්ල අල්ලන කොට තමයි හිටිහැටියේ කෙසෙල් මිල වැඩිවෙන්නේ. ඒ කාලෙට ඉල්ලන තරමට දෙන්න කෙසෙල් ආර්ථික මධ්‍යස්ථානෙට එන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ මේ දවස් වල හැම පැත්තකින්ම මාකට් එකට කෙසෙල් එනවා. කෙසෙල් එන තරමට වෙළෙන්දෝ එන්නෑ. පහුගිය දවස්වල තිබිබ වැස්සත් වෙළෙන්දෝ එන එක අඩුවෙන්න හේතුවක් වුණා. මොනව වුණත් මිනිස්සු දුක් මහන්සි වෙලා ගොවිතැන් කරලා අස්වැන්නට හරි මිලක් නැති වුණාම මිනිස්සු කරන්නේ ගොවිතැන අත්ඇරලා දාන එක. සමහරු වී ගොවිතැන අතෑරලා ඔය රාජාංගනේ පැත්තේ මිනිස්සු කෙසෙල් වගා කරලා තියෙන්නේ. මේ එන අස්වැන්න කොහොමද සාධාරණ මිලකට විකුණගන්නේ කියන එකට කවුරු හරි මැදිහත් වෙලා විසදුමක් දෙන්න ඕන. ” 
මෙරට සමස්ත කෙසෙල් අස්වැන්නෙන් සියයට 35 ත් සියයට 40 ත් අතර ප්‍රමාණයක් පසු අස්වනු හානිය හේතුවෙන් විනාශ වෙන අතර සියයට 05 ක් පමණ අපනයනය කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම වී තිබේ. ඉතිරි ප්‍රමාණය පරිභෝජනය සඳහා භාවිත කරයි. මෙරට ඒක පුද්ගල කෙසෙල් පරිභෝජනය වර්ෂයකට කිලෝ 20 ක් පමණ වේ. ලාංකාවේ පාරම්පරික කෙසෙල් වර්ග 62 කට ආසන්නව තිබූ බව ජන මුලාශ්‍රගතව පවතී. කෙසෙල් දුරාතීතේ හෙළ වෙදකම සඳහාත්, ඖෂධයක් ලෙසත්, දෙවියන්, බුදුන් පිදීම උදෙසාත් භාවිත කොට ඇති බව පැහැදිලිවේ. මෙරට සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවේ අනිවාර්ය පංගුකරුවෙක් ලෙස ද කෙසෙල් ඉහළින්ම වැජඹේ. කෙසෙල් මෙරට තුළ වැඩියෙන්ම පරිභෝජනය කෙරෙන පලතුර ලෙසද සැලකේ. 
සීනි කෙසෙල්, ඇම්බුන්, ආනමාළු, කෝලිකුට්ටු, රතඹලා, කණ්ඩුල, නදී ආදී කෙසෙල් ප්‍රභේද වියළි කලාපයේ පලතුරක් ලෙස වගාකෙරෙන අතර, පුලතිසි, ප්‍රසාද්, මොන්දන්, මැටි කිතල, ඇටමුරු, අළු කෙසෙල් ආදිය ව්‍යාංජනයක් ලෙස පිසීමට ගන්නා ප්‍රභේද ලෙස වියළි කලාපයේ වගා කරනු ලබයි. පූවාලු‍, ඇම්බන්, ආනමාළු, ඇඹුල්, රතඹලා, කණ්ඩුල, නදී, අයි.සී. 02, සීනි කෙසෙල්, බිං කෙසෙල් ආදිය පලතුරක් ලෙස තෙත් කලාපයේ වගාකෙරෙන අතර, ප්‍රසාද්, මොහදන්, මැටි කිතල, ඇටමුරු, ආදිය පිසීමට ගන්නා ප්‍රභේද ලෙස වගා කරයි. කෙසෙල් මදයෙහි සංයුතිය ජලය සියයට 70 කි. කාබෝහයිඩ්‍රේට් සියයට 27 කි. ප්‍රෝටීන් සියයට 1.2 කි. තන්තු සියයට 0.5 කි. මේදය සියයට 0.3 ක් පමණ වේ.
ඉකුත් සමයේ රාජ්‍ය නිලධාරින්ගේ ද මැදිහත් වීමෙන් රාජාංගනය ප්‍රදේශයේ නෙසෙල් වගාව තවදුරටත් ව්‍යාවප්ත කිරීමට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මකව ඇතත් ඉන් ගොවීන්ට අත්ව ඇති යහපත ඉතා අල්ප වී තිබේ. එවැනි ව්‍යාපෘති මගින් ගොවීන්ට විදේශීය වෙළෙදපොළ අවස්ථා උදාකොට දෙන බවට පොරොන්දු වී ඇතත් එයින්ද අත්වු සාර්ථකත්වය ඉතා අල්ප බව ගොවීහු පවසති. 
මේ වන විට වාණිජ මට්ටමින් සහ ගෙවතු මට්ටමින් මෙරට වගාකෙරෙන මුළු බිම් වපසරිය හෙක්ටයාර් 60,000 ක් පමණ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයයි. එය මෙරට සමස්ත පලතුරු වගා වපසරියෙන් සියයට 54ක ප්‍රමාණයකි. ඉන් හෙක්ටයාර් 20,000 ක් පමණ තෙත් කලාපයේත්, ඉතිරි හෙක්ටයාර් 40,000 ක් වියළි හා අන්තර් කලාපයේත් වගා කරනු ලබයි. මෙම මුළු කෙසෙල් වගාබිම් අතුරෙන් හෙක්ටයාර් 13,000 ක පමණ පිසීමට ගන්නා නොඑසේනම් මාලු‍ කෙසෙල් ප්‍රභේද සඳහා යොදා ගැනෙයි. 
හෙක්ටයාර් එකකට මෙරට සාමාන්‍ය කෙසෙල් අස්වැන්න ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 13 ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අප රටේ වාර්ෂික කෙසෙල් අස්වැන්න ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 780,000 ක් පමණ වේ. 


ලැබෙන කෙසෙල් ඵලදාවට සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව කෙසෙල් ව්‍යාපාරිකයකු වන සරත් රත්නායක පැවසුවේ මෙවැනි අදහසකි. 
“අස්වැන්න කොයිතරම් ආවත් වෙළෙන්ඳන්ට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වැඩියෙන් මාකට් එකට ආවම වෙන්නේ නිකම්ම මිල පහළට යන එක. එක්කෝ අපතේ යන එක. මොකද කෙසෙල් කියන්නේ සති ගාණක් තියාගෙන විකුණන්න පුළුවන් පලතුරක් නෙමෙයිනේ. මෙහෙන් ගොඩක් කෙසෙල් තඹුත්තේගමට තමයි ගේන්නේ. සමහරු දඹුල්ලටත් ගෙනියනවා. ලොරිවල දාලා කොළඹ මැනිං මාකට් එකට යවන මිනිස්සුත් මෙහේ ඉන්නවා. ඒ මොනව කළත් මේ දවස් වල එන අස්වැන්න වැඩි හින්දා කෙසෙල් මිල බැහැලා තියෙන්නේ. එක්කෝ මෙහෙට එන අස්වැන්න රට පුරා බෙදන වැඩපිළිවෙළක් හදන්න ඕන. එහෙමත් බැරිනම් රට හරි යවන්න ඕන. ඒකට හරි වැඩපිළිවෙළක් ඕන.”



අදහස් (0)

කෙසෙල් අස්වැන්නට අත්වන ඉරණම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 651 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site