• ව්‍යාපෘති ආයෝජන වටිනාකම, අවම රැකියා උත්පාදනය මත පදනම්ව කාණ්ඩ 3 කට වෙන් කරයි
  • යටිතල පහසුකම්, සේවා හා උපයෝගිතා සහ සංචාරක සහ විවේක A කාණ්ඩය යටතට
  • නිෂ්පාදන ව්‍යාපෘති B කාණ්ඩය යටතට, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනික, ICT සහ තාක්ෂණික ආයතන C කාණ්ඩය යටතට
  • එක් එක් කාණ්ඩවල ආයෝජනයේ වටිනාකම සහ රැකියා උත්පාදනය අනුව වසර 6ක, 8ක සහ 10ක බදු විරාම
  • ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තුළ ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය සඳහා CID, VAT, PAL සහ CESS බදු නිදහස
  • බදු නිදහස් කාල සීමාව අවසන්වීමෙන් පසුව, පවත්නා බදු නීතිය යටතේ ව්‍යාපෘතිය අදාළ බදු ගෙවිය යුතුයි
  • ගමනාගමනය සඳහා භාවිත කරනු ලබන රථ වාහන ආනයනය සඳහා මෙම බදු සහනය අදාළ නොවේ
 
භානුක අමරසිංහ
2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (SDP) ලෙස වර්ගීකරණය කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘති සඳහා සුදුසුකම් නිර්ණායක සහ බදු සහන නිර්වචනය කරමින් රජය නව රෙගුලාසි නිකුත් කර ඇතැයි පවසයි.
ඒ අනුව 2026 පෙබරවාරි 8 දිනැති අංක 2474/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම රෙගුලාසි ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
මෙහිදී ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගැනීම සඳහා වන නිර්ණායක සහ අදාළ බදු නිදහස් කිරීම් සඳහා ආයෝජන වටිනාකම සහ අවම දේශීය රැකියා උත්පාදනය මත පදනම් වූ A, B සහ C ලෙස කාණ්ඩ තුනක් යටතේ හඳුන්වා දී තිබේ.
A කාණ්ඩය යටතේ, යටිතල පහසුකම්, සේවා සහ උපයෝගිතා සහ කැසිනෝ, ඔට්ටු ඇල්ලීම සහ ක්‍රීඩා හැර සංචාරක සහ විවේක ආවරණය කෙරී තිබේ. එහිදී ඩොලර් මිලියන 50කට වැඩි නමුත් ඩොලර් මිලියන 150ක් නොඉක්මවා ආයෝජනය කරන සහ අවම වශයෙන් දේශීය රැකියා 100ක් උත්පාදනය කරන ව්‍යාපෘති, වසර හයක ආයතනික ආදායම් බදු විරාමයක් සඳහා සුදුසුකම් ලබන බව සඳහන් වෙයි. එසේම එම රැකියා 100 සීමාවම සහිතව, ඩොලර් මිලියන 150කට වැඩි නමුත් ඩොලර් මිලියන 300ක් නොඉක්මවා ආයෝජනය කරන ව්‍යාපෘති, වසර අටක බදු විරාමයක් සඳහා සුදුසුකම් ලබන අතර, ඩොලර් මිලියන 300 ඉක්මවන ආයෝජන සඳහා වසර 10ක බදු විරාමයක් සඳහා සුදුසුකම් ලබන බවත් සඳහන් වෙයි.
B කාණ්ඩය මගින් නිෂ්පාදන ව්‍යාපෘති ආවරණය කරයි. එහිදී ඩොලර් මිලියන 50 ඉක්මවන නමුත්, ඩොලර් මිලියන 100ට අඩු ආයෝජනයක් මගින් අවම වශයෙන් දේශීය රැකියා 250 ක් උත්පාදනය කරන ආයෝජන වසර පහක බදු විරාමයක් සඳහා සුදුසුකම් ලබන බව සඳහන් වෙයි. එසේම ඩොලර් මිලියන 100 ට වැඩි නමුත්, ඩොලර් මිලියන 150 ට අඩු ආයෝජන ව්‍යාපෘති සඳහා වසර අටක නිදහස් කිරීමක් ලැබෙන අතර, ඩොලර් මිලියන 150 ඉක්මවන ව්‍යාපෘති සඳහා වසර 10 ක බදු සහනයක් සඳහා සුදුසුකම් ලබයි.
C කාණ්ඩය යටතට කෘෂිකර්මාන්තය, අධ්‍යාපනික, තාක්ෂණික ආයතන සහ ICT ඇතුළත් වී තිබේ. එහිදී ඩොලර් මිලියන 50 ට වඩා නමුත් ඩොලර් මිලියන 100 ට අඩු ආයෝජනය කරන සහ අවම වශයෙන් දේශීය රැකියා 50 ක් නිර්මාණය කරන ව්‍යාපෘති සඳහා අවුරුදු 5 ක බදු විරාමයක් හිමිවන බව සඳහන් වෙයි. එසේම ඩොලර් මිලියන 100 ඉක්මවන නමුත් ඩොලර් මිලියන 150 ට අඩු ආයෝජන සඳහා වසර අටක බදු විරාමයක් ලැබෙන අතර, ඩොලර් මිලියන 150 ට වැඩි ව්‍යාපෘති වසර 10 ක බදු සහනයක් සඳහා සුදුසුකම් ලබයි.
මෙම ආයතනික ආදායම් බදු නිදහස් කිරීම්වලට අමතරව, මෙලෙස අනුමත ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තුළ ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය සඳහා රේගු ආනයන බද්ද (CID), අගය එකතු කළ බද්ද (VAT), වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) සහ CESS යන බදු නිදහස් කිරීම් වලින් ප්‍රතිලාභ හිමි වනු ඇතැයි ද මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. 
කෙසේ වෙතත් ගමනාගමනය සඳහා භාවිත කරනු ලබන රථ වාහන ආනයනය සඳහා මෙම කිසිඳු නිදහස් කිරීමක් හිමි නොවන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
විශේෂයෙන්ම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ සඳහන් ආකාරයට, මෙම ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක සියලු‍ම ලැබීම් සහ ලාබ සංස්ථාපිත ආදායම් බදු නිදහස් කිරීම් අදාළ වෙයි. එහෙත් බදු නිදහස් කාල සීමාව අවසන්වීමෙන් පසුව, පවත්නා බදු නීතිය යටතේ අදාළ බදු ගෙවීමට එම ව්‍යාපෘතිය බැඳී සිටියි.
මෙලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව යනු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අදාළ ව්‍යවසාය අතර ඇති කරගත් ගිවිසුමේ සඳහන් දින සිට ආරම්භ වී, එම මණ්ඩලය විසින් සහතික කරන ලද පරිදි වාණිජ මෙහෙයුම් ආරම්භ කළ දිනෙන් අවසන් වන කාලසීමාව බවත් මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.