
05 වන කොටස
සංස්ථා ප්‍රකාශයක (Prospectus) වැදගත්කම
සංස්ථා ප්‍රකාශයක් වැදගත් වන්නේ එය සමාගමක් අලුතින් සහ ප්‍රථම වරට නිකුත් කරනු ලබන කොටස් මිලදී ගැනීම සඳහා සුදුසුද යන්න ඉන් මගපෙන්වීමක් ලබා දෙන බැවිනි. එනම් ආයෝජකයන්ට සමාගමේ මූල්‍ය තත්වය, කළමනාකරණය සහ අවදානම වැනි සවිස්තරාත්මක තොරතුරු එමගින් ලබා දෙයි. මූලික කොටස් නිකුතුවක් සිදුකිරීමේදී මෙවැනි සංස්ථා ප්‍රකාශයක් නිකුත් කිරීම නීත්‍යානුකූල අවශ්‍යතාවක්ද වෙයි. සංස්ථා ප්‍රකාශයක් මගින් දැනුවත් ආයෝජන තීරණ ගැනීම සක්‍රීය කරයි. මෙම විස්තර හෙළිදරව් කිරීමෙන් කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන අතර සමාගම පැත්තෙන් අලෙවිකරණ මෙවලමක් ලෙස ද එය වැදගත් වේ. එමගින් සමාගම සතු වැදගත් කරුණු හෙළි කරන බවටත් ව්‍යාජ හෝ නොමඟ යවන තොරතුරු ලබා නොදෙන බවටත් සහතික කිරීමක්ද සිදුවන නිසා ආයෝජකයන් ආරක්ෂා කිරීමක්ද සිදු වේ. මෙවැනි සංස්ථා ප්‍රකාශයක් සමාගමකට සහ ආයෝජකයන් යන දෙපිරිසටම වැදගත් වන්නේ කෙසේද යන්න සලකා බලමු.
සංස්ථා ප්‍රකාශයක වැදගත්කම
සමාගමට බලපාන ආකාරය
සමාගම පැත්තෙන් සලකා බලන විට සංස්ථා ප්‍රකාශයක වැදගත්කම් කිහිපයක් ඇත. එනම්, එය නීතිමය අවශ්‍යතාවකි. සමාගමක් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමට තීරණය කරන විට, විශේෂයෙන්ම මූලික මහජන නිකුතුවේදී ඊට අදාළ සංස්ථා ප්‍රකාශය කොළඹ කොටස් හුවමාරුවට ඉදිරිපත් කළ යුතුය. එමඟින් සමාගම තම මෙහෙයුම්, මූල්‍ය තත්වය සහ අනාගත සැලසුම් පිළිබඳ නිවැරදි හා අවශ්‍ය තොරතුරු ලබා දෙන බව තහවුරු කරයි. දෙවැනි වැදගත්කම වන්නේ විශ්වාසය සහ පැහැදිලි බව ගොඩනැගීමයි. විවෘතව තොරතුරු බෙදා ගැනීමෙන් සමාගමට සැඟවීමට කිසිවක් නැත යන්න ඉන් පෙන්නුම් කරයි. හොඳින් සකස් කළ සංස්ථා ප්‍රකාශයක් කියවීමෙන් සමාගම පිළිබඳව ආයෝජකයන් අතර විශ්වාසය හා අවංකභාවය තහවුරු කරයි. කොටස් නිකුත් කරන සමාගමේ විවෘත හා විශ්වාසදායක බව විශ්වාස කරන ආයෝජකයන් වැඩි වශයෙන් කොටස්වල ආයෝජනය කිරීමට ආකර්ෂණය වේ. එපමණක් නොව ව්‍යාපාරයේ ශක්තිය පෙන්වීමත් තවත් වැදගත් කමකි. සමාගමට තම ව්‍යාපාරය හා සම්බන්ධ අතීත සාර්ථකතා උපුටා දැක්විය හැකි ලේඛනයක් ලෙසද , ව්‍යාපාර ආකෘතිය පැහැදිලි කිරීමට සහ අනාගත ඉලක්ක සහ පුළුල් සැලසුම් ගැන ජනතාව දැනුවත් කිරීමටද මෙය වටිනා අවස්ථාවක් වේ.
ආයෝජකයා සඳහා සංස්ථා ප්‍රකාශයක් වැදගත් වන ආකාරය
ආයෝජකයන්ට තොරතුරු මත පදනම් වූ තීරණ ගන්නට සංස්ථා ප්‍රකාශයක් උපකාරී වේ. එසේ නොමැතිව, කවුරුන් හෝ ප්‍රකාශ කළ නිසා, කටකථා මත, නිල නොවන සමාජ මාධ්‍ය තොරතුරු මත කොටස් මිලදී ගැනීමට යාම නුවණැති ක්‍රියාවක් නොවේ. සංස්ථා ප්‍රකාශයක් තුළ සමාගම නිරත වන ව්‍යාපාර ක්ෂේත්‍රය කුමක්ද, මුදල් උපයාගන්නේ කෙසේද, සහ එකතු කරන මුදල් භාවිත කරන්නේ කුමන අරමුණකටද යන්න පිළිබඳ විස්තරාත්මක තොරතුරු අඩංගු වේ. මෙය ආයෝජකයන්ට අනුමාන හෝ අසත්‍ය පුවත් වෙනුවට නියම දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව වැඩි කරයි. ජනතාව වංචා වලින් ආරක්ෂා කරයි. අවදානම් සහ ප්‍රතිලාභ පෙන්නුම් කරයි. ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාද යන්න පැහැදිලිව සඳහන් කර ඇත. මේ සියල්ල ආයෝජකයන්ට තීරණ ගැනීමට උපකාරී වේ. මූල්‍ය ස්ථාවරතාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ආකාරයෙන් සංස්ථා ප්‍රකාශය තුළ සමාගමේ පසුගිය වාර්ෂික කාර්ය සාධනය පිළිබඳ සාරාංශයක් ඇතුළත් කර ඇත. ආයෝජකයන්ට සමාගම ලාබදායකද, ණය මට්ටම කුමක්ද, සහ කළමනාකරණය කෙසේද යන්න හොඳින් නිරීක්ෂණය කළ හැක. සමාගම සහ කොටස් නිකුතුව හා සම්බන්ධ සියලු තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කරන නිසා ආයෝජකයාට කොටසක් සඳහා ගෙවන මිල සාධාරණද යන්න තීරණය කිරීමටද ඉඩ සලසයි.
කොටස් සඳහා අයදුම් කිරීම
සංස්ථා ප්‍රකාශය කියවා අවබෝධ කර ගැනීමෙන් අනතුරුව කොටස් මිලදී ගැනීමට තීරණය කරන්නේ නම් කොටස් අයදුම්පත්‍රය නිසි ලෙස පුරවා සමාගම වෙත ඉදිරිපත් කළ යුතුය. නව කොටස් සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට ක්‍රම කිහිපයක් ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
සංස්ථා ප්‍රකාශයක් සහ කොටස් අයදුම්පත්‍ර ලබා ගැනීමේ හැකියාව
භෞතික ලේඛන ආකාරයෙන් සංස්ථා ප්‍රකාශයක් සහ අයදුම්පත්‍රය සමාගම විසින් නම්කරනු ලබන ස්ථාන වලින් නොමිලේ ලබා ගත හැකිය. සංස්ථා ප්‍රකාශයක් සහ කොටස් අයදුම්පත්‍රය කොළඹ කොටස් හුවමාරුවේ www.cse.lk යන වෙබ් අඩවියෙන්ද, අදාළ සමාගමේ වෙබ් අඩවිය හරහාද, කොටස් නිකුතුවට සම්බන්ධ ආයෝජන බැංකුවේ වෙබ් අඩවියෙන් ද බාගත කර ගත හැකිය. අයදුම්කරුවන්ට අයදුම්පත බාගත කර, මුද්‍රණය කර එය නිවැරදිව සම්පූර්ණ කර අදාළ උපකාරක ලියකියවිලි සමග භෞතිකව භාරදීම හරහා ඉදිරිපත් කළ හැකිය.
CSE ජංගම යෙදුම සමඟ ලියාපදිංචි වී ඇති ආයෝජකයන්ට එම ජංගම යෙදුමේ දක්වා ඇති උපදෙස් අනුගමනය කර අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. CSE ජංගම යෙදුම හරහා ඩිජිටල් අයදුම්පත් ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචිව සිටින සහ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් සහ වයස අවුරුදු 18 ට වැඩි විදේශීය පුරවැසියන් (ඔවුන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි පදිංචිකරුවන්ද යන්න නොසලකා) යන දෙපිරිසටම සීමා වේ.
ජංගම යෙදුම, දැනට, ඇටෝර්නි බලපත්‍ර (“POA”), ආන්තික ගනුදෙනු, හවුල් අයදුම්කරුවන් වැනි කාණ්ඩ හරහා කරන ලද අයදුම්පත් සඳහා පහසුකම් සපයන්නේ නැත. එබැවින්, එවැනි අයදුම්කරුවන්ට ඉහත සඳහන් පරිදි ඔවුන්ගේ අයදුම්පත් භෞතිකව භාරදිය යුතුය.
CDS වෙබ් ද්වාරය (Web Portal) භාවිත කරන අයදුම්කරුවන්ට https://ipo.cse.lk/ හෝ www.cds.lk හෝ https://www.linkedin.com/company/cds-srilanka හරහා කොටස් සඳහා අයදුම් කළ හැකිය. අයදුම් කරන අවස්ථාවේ වලංගු CDS ගිණුමක් ඇති නේවාසික සහ අනේවාසික තනි අයදුම්කරුවන්ට පමණක් CDS වෙබ් ද්වාරය හරහා අයදුම් කළ හැකිය. POA, ආන්තික ගනුදෙනු, හවුල් අයදුම්කරුවන්, ආයතනික අයදුම්කරුවන් සහ ඒකක භාර හරහා අයදුම් කරන අයදුම්කරුවන් සඳහා මෙම විකල්පය භාවිත කිරීමට අවසර නැත. පරිශීලකයා වෙබ් ද්වාරයට ලොග් වූ පසු අයදුම්පත සම්පූර්ණ කර CDS වෙබ් ද්වාරය හරහා ඉදිරිපත් කළ හැකිය. වලංගු CDS ගිණුමක් නොමැතිව ඉදිරිපත් කරන ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
CDS eConnect පහසුකමට ලියාපදිංචි වී ඇති CDS eConnect ආයතනික පරිශීලකයන්ට ඔවුන්ගේ ලියාපදිංචි CDS eConnect හරහා IPO සඳහා අයදුම් කිරීමට අවසර ඇත. ලියාපදිංචි eConnect ආයතනික පරිශීලකයන් ඔවුන්ගේ eConnect පහසුකම තුළ eIPO” සඳහා විකල්පයක් ඇති අතර, එමගින් ඔවුන්ට අදාළ IPO සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබේ.
කොටස් නිකුතුවක් සඳහා මුදල් ලබාදීම
මූලික කොටස් නිකුතුවක් සඳහා අයදුම්කරන ආයෝජකයකු කොටස් මිලදී ගැනීම සඳහා මුදල් යොමු කළ යුතු වන්නේ අදාළ සමාගම වෙතයි. ඒ සඳහා චෙක්පත්, බැංකු (Bank Draft), බැංකු ඇපකර (Bank Guarantee) ආදිය අනුගමනය කළ හැකිය. මෙසේ මුදල් ලබාදීම හා සම්බන්ධ තවත් තොරතුරු, කොටස් ලබාදීමේ පදනම, කොටස් අයදුම්පත්‍ර ප්‍රතික්ෂේපවීම ආදී ප්‍රාථමික වෙළෙඳපොළ ආශ්‍රිත සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් කෙරේ.
මූලික කොටස් නිකුතුවක පියවර හා සිදුවීම් පිළිබඳ සරල උදාහරණයක්.
ABC Pvt Limited නැමති ජංගම දුරකථන සමාගම ඇසුරින්
ABC Pvt Limited යනු මෑතකදී මූලික කොටස් නිකුතුවක් සිදු කළ සමාගක් යැයි උපකල්පනය කරමු. සමාගමට තම ජංගම දුරකථන ජාලය පුළුල් කිරීමට අවශ්‍යතාවක් මතු විය. ඒ සඳහා සමාගම ප්‍රථමයෙන් සිදු කළේ අරමුදල් සම්පාදනය කරගැනීමට විකල්ප සෙවීමයි. එය ප්‍රථම පියවරයි. ඔවුන්ගේ විකල්පය වූයේ කොටස් නිකුත් කිරීමට තීරණය කිරීමයි. එය දෙවැනි පියවරයි. අනතුරුව මූලික කොටස් නිකුතුව (IPO) සැලසුම් කර කොළඹ කොටස් හුවමාරුවට අයදුම්පත්‍රයක් යොමු කළ අතර ඊට අනුමැතිය ලැබීමෙන් පසු IPO ප්‍රකාශයට පත්කිරීම සිදුකළ අතර රු.5 කොටස් මිලියන 100ක් නිකුත් කරන ලදි. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ කොටස් නිකුතුවෙන් රුපියල් මිලියන 500ක් රැස්කර ගැනීමයි. කොටස් නිකුතුවට ජනතාව ආකර්ෂණය කර ගැනීම හා ජනතාව දැනුවත් කිරීමට විවිධ ප්‍රචාරණ මාධ්‍යය යොදා ගැනුණි. මූලික කොටස් නිකුතුවක් පිළිබඳව සියළු නිවැරදි විස්තර සංස්ථා ප්‍රකාශයෙහි (Prospectus) අන්තර්ගත කොට මහජනතාවට පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලදි.
සමාගම ප්‍රසිද්ධ සමාගමක් නිසා බොහෝ අය අයදුම්පත් යොමුකිරීම දැකගත හැකි වූ අතර කොටස් සඳහා අධි ඉල්ලුමක් පැවතිණි. කොටස් බෙදාදීම සිදුකළේ සැම අයදුම්කරුවකුටම සමානව කොටස් බෙදා දීමේ පදනමිනි. මූලික කොටස් නිකුතුව සඳහා බොහෝ ආයෝජකයන් අයදුම් කළේ අප මීට පෙර ලිපිවලින් සාකච්ඡා කළ CSE මොබයිල් ඇප් පහසුකම හරහායි. එසේ කොටස් අයදුම් කිරීමේ ක්‍රියාවලිය ඔන්ලයින් ක්‍රමයට සිදුකළ හැකි වීම ආයෝජකයන්ට පහසුවක් විය. කොටස් නිකුතුව හරහා ලැබුණු මුදල් යොදාගෙන ABC Pvt Limited සමාගම තවදුරටත් තම ජංගම දුරකථන ජාල ව්‍යාපාරය පුළුල් කළ අතර තවමත් එම සමාගමට ජංගම දුරකථන පහසුකම් සපයන්නන් අතර ඉදිරියෙන් සිටීමටද හැකි වී ඇත. මෙසේ ආයෝජකයන් අයදුම් කළ කොටස් ද්විතියීක වෙළෙඳපොළ (කොටස් වෙළෙඳපොළේ) තුළ ගනුදෙනු වීමට පටන් ගැනීම ඊළඟ පියවරයි.
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
194
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර