IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 2

මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.

රටක මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාරයක් ප්‍රාග්ධන වෙළෙඳපොළ විසින් සිදු කරනු ලබන අතර එයට වැඩි දායකත්වයක් එම රටේ කොටස් වෙළෙඳපොළ ලබා දෙයි. කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු දිගුකාලීන ආයෝජනයකි. කොටස් වෙළෙඳපොළ වැනි දිගුකාලීන ආයෝජනයකින් ප්‍රතිලාභ ලබන ප්‍රධාන පාර්ශව දෙකක් ඇත. එනම් රටක වෙසෙන සාමාන්‍ය ජනතාව (ආයෝජකයන්) සහ ව්‍යාපාරික ප්‍රජාවයි. 

ඉහත කී පාර්ශව දෙක අතුරින් සාමාන්‍ය ජනතාවට කොටස් වෙළෙඳපොළක් වැදගත් වන්නේ ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන මාර්ගයක් සපයන බැවිනි. එය සාර්ථක ආයෝජනය මාර්ගයක් බවට පත් කර ගැනීමට නම් ආයෝජකයන් විසින් ආයෝජනයට ප්‍රවීශ්ඨවීමට පෙර සිටම අනුගමනය කළ යුතු කරුණු ගණනාවක් ඇත. එම කරුණු මොනවාද යන්න පියවරෙන් පියවර විමසා බැලීම පසුගිය සතියේ ලිපියෙන් ආරම්භ කළෙමු. 

පසුගිය සතියේ ලිපියෙන් මූලිකව අවධානය යොමු කරන ලද්දේ, කොටස් වෙළෙඳපොළ ආයෝජනයට යම්කිසි ආයෝජකයකු ප්‍රවිශ්ඨ වීමේදී එම ආයෝජනය පිළිබඳව මනා වූ අධ්‍යයනයක් කිරීමේ වැදගත්කම, ඔහුගේ ආයෝජන අරමුණු කෙටිකාලීනද, මධ්‍යකාලිනද එසේ නැතහොත් දිගුකාලීනද යන්න තීරණය කිරීම, එම අරමුණු අනුව තම ආයෝජන පෙළ ගස්වා ගන්නේ කෙසේද, ඔහු හෝ ඇය කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේ නම්, 

ඒ සඳහා කොටස් ගිණුමක් (CDS ගිණුමක්) කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ ආරම්භ කර ගන්නේ කෙසේද, CDS  ගිණුමක් ආරම්භ කර ගැනීම සඳහා ආයෝජකයා විසින් සූදානම් කරගත යුතු විස්තර මොනවාද, මධ්‍යම තැන්පතු ක්‍රමය යනු කුමක්ද, මුදල් ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සහ කොටස් මිලදී ගැනීමට කොටස් ගැනුම් ඇණවුම් තම ආයෝජන උපදේශකවරයා වෙත ලබා දෙන්නේ කෙසේද යන්න ආදී කරුණු පිළිබඳවයි. මෙම ලිපියෙන්ද අප බලාපොරොත්තු වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් සලකා බැලිය යුතු තවත් පියවර කිහිපයක් වෙත ආයෝජකයන්ගේ අවධානය යොමු කිරීමයි. 

කොටස් ගනුදෙනු නිසි ලෙස සිදු වූවාද යන්න තහවුරු කිරීමේ ලිපි ලේඛන භාවිත කිරීමෙන් අනතුරුව ආයෝජකයන් තම අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ලේඛන කිහිපයක් ඇත. කොටස් වෙළෙඳපොළ ආයොජනයේදී භාවිත වන සියලු‍ම ලිපි ලේඛන ගැන ආයෝජකයන්ට මනා දැනුවත්භාවයක් තිබිම ආයෝජනයෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමටත්, ආයෝජනයේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉතා වැදගත් වේ.

CDS ගිණුමක් ආරම්භ කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව තේරුම් ගැනීම

කිසියම් ආයෝජකයකු කොටස් ගනුදෙනු ආරම්භ කිරීමට CDS ගිණුමක් විවෘත කළ යුතු බව අප පසුගිය සතියේ ලිපියෙන් කෙටියෙන් පැහැදිලි කළෙමු. එමෙන්ම එය ක්‍රම දෙකක් යටතේ සිදුකළ හැකි බවද පෙන්වා දුන්නෙමු. ඉන් එක් ක්‍රමයක් වන්නේ සෘජුවම කොටස් තැරැව්කාර ආයතනය වෙත ගොස් ගිණුමක් ආරම්භ කර ගැනීමයි. කොටස් ගනුදෙනුවලදී මෙය පෙර සිටම පැවති ක්‍රමයයි. තමා විසින් CDS ගිණුමක් ආරම්භ කර ගැනීමට බලාපො‌රොත්තුවන කොටස් තැරැව්කාර සමාගම වෙත ගොස් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර CDS ගිණුමක් ආරම්භ කර ගැනීම එම සාමාන්‍ය ක්‍රමය විය. වර්තමානයේදීද මෙම ක්‍රමය ඔස්සේ CDSගිණුමක් ආරම්භ කර ගැනීමට හැකියාව තිබුණද, එම ක්‍රමය භාවිත කිරීම අවම වී තිබේ. ඊට ප්‍රධානම හේතුව බොහෝ ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුව විසින් මෑතකදී හඳුන්වා දුන් මොබයිල් ඇප් පහසුකම (CSE Mobile App) භාවිත කර CDS ගිණුමක් ආරම්භ කිරීමට යොමු වී තිබීමයි. කොටස් තැරැව්කාර ආයතනයකට පැමිණෙන ආයෝජකයන්ටද එම ආයතන විසින් මෙම මොබයිල් ඇප් එක භාවිත කර CDS ගිණුමක් විවෘත කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. 

වර්තමානය වන විට කොළඹ කොටස් හුවමාරුව තුළ ආරම්භ කරන CDS ගිණුම්වලින් සියයට 90ට වඩා මෙම මොබයිල් ඇප් එක හරහා විවෘත කිරීම විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක්වීමත්, නව තාක්ෂණය කොටස් ගනුදෙනුවලදි වැඩි වශයෙන් යොදා ගැනීමත් සමඟ මෙම මොබයිල් ඇප් පහසුකම හරහා නව ගිණුම් විවෘත කරමින් කොටස් ආයෝජනයට ප්‍රවේශවීමද ඉහළ ගොස් තිබේ. 

ආයෝජන උපදේශකවරයකු ලබා ගැනීම

CDS ගිණුම විවෘත කළ පසු කොටස් තැරැව්කාර ආයතනය විසින් ආයෝජන උපදේශකවරයකු ලබා දේ. එම ආයෝජන උපදේශකවරයා නියමිත වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ සහතිකලත් ආයෝජන උපදේශකවරයෙක්ද යන්න තහවුරු කර ගැනීමත් ආයෝජකයකුගේ වගකීමකි. එය තහවුරු කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇති ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් කවුරුන්ද, ඔවුන්ගේ සුදුසුකම් සහ පලපුරුද්ද පිළිබඳ විස්තර, ඔවුන් සම්බන්ධ කරගතහැකි දුරකථන අංක ඇතුළු විස්තර www.sec.gov.lk  වෙබ් අඩවියෙහි “Licensing” පිටුවෙහි “List of RIAs” කොටසෙහි අන්තර්ගත කර ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් පවත්වනු ලබන ප්‍රාග්ධන වෙළෙඳපොළ සහතික පත්‍ර පාඨමාලාව (CCM) සම්පූර්ණ කර කොටස් තැරව්කාර ආයතනයක පුහුණුවීමකින් අනතුරුව විද්වත් මණ්ඩලයක් ඉදිරියේ පවත්වනු ලබන සම්මුඛ පරික්ෂණයකින්ද සමත්ව ආයෝජන උපදෙස් ලබාදීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසක් ලෙස ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් (RIA) හැඳින්විය හැකිය. 

මේ අනුව, මොබයිල් ඇප් පහසුකම හරහා පළමුවෙන්ම කොටස් තැරැව්කාර ආයතනය තෝරාගෙන ඔවුන් හරහා මෙම CDS ගිණුම විවෘත කර ගත හැක. වර්තමානය වන විට කොටස් තැරැව්කාර ආයතන සියල්ලම පාහේ මෙම මොබයිල් ඇප් එක සමඟ සම්බන්ධව ඇත.

කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේ ඇණවුම් ඉදිරිපත් කිරීම අන්තර්ජාල ගනුදෙනු පහසුකම් යොදා ගැනීම (Internet Trading Facility) 

කොටස් මිලදී ගැනීම හා විකිණීම සඳහා ඇණවුම් ඉදිරිපත් කිරීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ තම කොටස් තැරැව්කාර ආයතනයේ ලියාපදිංචි ආයෝජන උපදේශකවරයා (RIA) වෙත යොමු කිරීමයි. එම ඇණවුම් ඊ-මේල් හෝ වට්ස් ඇප් වැනි හරහා කොටස් තැරැව්කාර ආයතනය වෙත යොමුකළ හැකිය. එසේ ලැබෙන ඇණවුම් ආයෝජන උපදේශකවරයා විසින් ක්‍රියාත්මක කරනු ලබයි. බොහෝ ආයෝජකයන් තම ජංගම දුරකථනය හරහා කොටස් ගැනුම් හා විකුණුම් ඇණවුම් ආයෝජන උපදේශකවරයන් වෙත ලබා දේ. 

මෙම සාමාන්‍ය ක්‍රමයට අමතරව බොහෝ ආයෝජකයන් කොටස් ගනුදෙනු කිරීම සඳහා අන්තර්ජාල ගනුදෙනු පහසුකම් යොදා ගනී. අන්තර්ජාල ගනුදෙනු පහසුකම් යනු කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකවරාගේ උපදෙස්වලින් තොරව, තම කොටස් ගැනුම් හා විකුණුම් ඇණවුම් ආයෝජකයා විසින්ම සිදුකළ හැකි ක්‍රමයකි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇති කොටස් තැරැව්කාර සමාගම් අතුරින් බො‌හෝ කොටස් තැරැව්කාර සමාගම් මෙම අන්තර්ජාල පහසුකම තම ගනුදෙනුකරුවන් සඳහා සපයා දී තිබේ. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ කිසියම් ආයෝජකයකු අදාළ කොටස් තැරැව්කාර ආයතනයේ ගනුදෙනුකරුවකු වූ පමණින් අන්තර්ජාල පහසුකම් ලබා නොදෙන බවයි. එම පහසුකම් ලබා ගැනීමට ඉල්ලීමක් ආයෝජකයා විසින් සිදුකළ යුතු අතර ඔහු ගනුදෙනු කරන ආකාරය අනුව එම ඉල්ලීම සලකා බලා අන්තර්ජාල පහසුකම ලබාදීම කොටස් තැරව්කාර ආයතනයේ තීරණය මත රඳා පවතී. මේ නිසා කිසියම් කොටස් තැරව්කාර ආයතනයක් යටතේ ගනුදෙනු කරන සියලු‍ම ගනුදෙනුකරුවන්ට මෙම අන්තර්ජාල පහසුකම ලබාදීම අනිවාර්යවූවක් නොවේ. 

ඔබ නවක ආයෝජකයකු නම් වඩාත් සුදුසු දෙය වන්නේ කොටස් තැරැව්කාර ආයතනයෙන් ලබා දෙන ආයෝජන උපදේශකවරයා සමඟ සාකච්ඡා කර ආයෝජන තීරණ ගැනීමයි. අන්තර්ජාලය ගනුදෙනු පහසුකම් ලබාගෙන කොටස් ගනුදෙනු කිරීම වඩා යෝග්‍ය වන්නේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ හොඳ දැනුවත්භාවයක් ඇති ආයෝජකයන්ටය. 

අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් (Discretionary Account) පවත්වා ගැනීම

අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් යනු, CDS ගිණුම් හිමිකරුවකු විසින් ඔහුගේ කොටස් ගනුදෙනුවල තීරණ ගැනීමේ අයිතිය සහ වගකීම තම ආයෝජන උපදේශකවරයා වෙත පවරා දීමයි. මෙවැනි ගිණුමකදී, ගිණුම පවත්වාගෙන යන කොටස් තැරැව්කාර ආයතනයට (ආයෝජන උපදේශකවරයාට) 

තනිවම තීරණ ගැනීමට බලය හිමිවේ. එම තීරණවලට කොටස් වෙළෙඳපොළේ සිදුකරන කොටස් මිලදී ගැනීම හෝ විකිණීම ඇතුළත් වේ. මෙවැනි ගිණුම් බොහෝ විට ප්‍රයෝජනවත් වන්නේ වෙළෙඳපොළ තොරතුරු මත සිටිමින් ආයෝජන තීරණ ගැනීම සඳහා කාලය ප්‍රමාණවත් නොවන පුද්ගලයන්, කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට කැමැති සහ ඒ සඳහා ප්‍රමාණවත් දැනුමක් නොමැති අයට සහ උපදෙස් ලබාගෙන අවශ්‍ය ගැනුම් /විකුණුම් විශේෂඥයන්ගේ උපදේශනය මත ආයෝජනය කිරීමට කැමැති පුද්ගලයන්ටය. මෙහිදී ආයෝජන උපදේශකවරයාට ආයෝජකයාගේ අනුමැතියකින් තොරව ගනුදෙනු කළ හැකිය. මෙවැනි ගිණුමක් පවත්වාගෙනයාම සඳහා ලිඛිත අනුමැතියක් අවශ්‍ය වන අතර ඒ සඳහා ගිවිසුමකට එළඹිම අවශ්‍ය වේ (Discretionary Agreement). මෙහිදී ආයෝජන උපදේශකවරයා විධිමත් ලෙස ක්‍රියා කළ යුතු අතර, නීතිමය වශයෙන් වගකිව යුතුය. මෙවැනි ගිණුමක් පවත්වා ගැනීමේ වාසි ලෙස වෘත්තීයමය ආකාරයට මූල්‍ය තීරණ ගැනීම, වෙළෙඳපොළ අවස්ථාවලට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකිවීම, කාර්යක්ෂම කළමනාකරණය ආදිය පෙන්වා දිය හැකිය. 

මේ අනුව සෘජුවම කොටස් මිලදි ගැනීමේ ඇණුවම් හා විකිණීමේ ඇණවුම් තම ආයෝජන උපදේශකවරයා වෙත ලබාදීම, අන්තර්ජාල ගනුදෙනු පහසුකම් හරහා තමා විසින්ම ගැනුම් ඇණුවම් හා විකිණීමේ ඇණවුම් ඉදිරිපත් කිරීම හා අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් පවත්වාගෙන යමින් තමා වෙනුවෙන් කොටස් මිලදි ගැනීමේ ඇණුවම් හා විකිණීමේ ඇණවුම් ඉදිරිපත් කිරීමේ බලය කොටස් තැරැව්කාර ආයතනය වෙත පැවරීම වැනි ක්‍රම කිහිපයක් භාවිත කරමින් කොටස් ගනුදෙනු කිරීමට ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව ආයෝජකයන් වටහා ගත යුතුය. 

තවද, ආයෝජකයකුට තම කොටස් තැරැව්කාර ආයතනයෙන් ලබාදෙන ආයෝජන උපදේශක සමග සම්බන්ධ වී ඔහු/ඇය වෙතින් උපදෙස් ලබාගෙන අවශ්‍ය ගැනුම්/විකුණුම් ඇණවුම් ඔහු/ඇය වෙත ලබා දිය හැකි අතර එසේත් නැත්නම් කොටස් තැරැව්කාර ආයතනයෙන් ලබා දෙන අන්තර්ජාල පහසුකම හරහා තමා විසින්ම තනිවම ගනුදෙනු කිරීම කළ හැකිය. 
ඉදිරිපත් කරන ලද කොටස් ගැනුම් හෝ විකුණුම් ඇණවුමක් සාර්ථකව සිදුවූවාද යන්න තහවුරු කර ගැනීම.

CDS වෙතින් ලැබෙන කෙටි පණිවුඩ (SMS) 

කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් සඳහා ඇණවුමක් තම ආයෝජන උපදේශකවරයා වෙත භාරදුන් පසු එම ඇණවුම සාර්ථකවූවාද යන්න ආයෝජකයා විසින් තහවුරු කර ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා ආයෝජකයකුට මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ලබාදෙන කෙටි පණිඩුඩ සේවාව ප්‍රයෝජනයට ගත හැකිය. කිසියම් ආයෝජකයකු දෛනිකව සිදුකරන සියලු‍ කොටස් ගැනුම් හා විකුණුම් ඇණවුම් පිළිබඳ විස්තරයක් දිනය අවසානයේදී කෙටි පණිවුඩයක් ආකාරයෙන් (SMS) ආයෝජකයාගේ ජංගම දුරකථනයට ලැබීමට සලස්වයි. මෙම පහසුකම ලබාගත හැකිවනුයේ තම දුරකථන අංක මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ලබාදුන් CDS ගිණුම් හිමියන්ටය. තමා ඉදිරිපත් කළ ඇණවුම් ඒ ආකාරයෙන්ම සිදුවූවාද යන්න තහවුරු කර ගැනීමට මෙම කෙටි පණිවුඩය ආයෝජකයාට වැදගත් වේ. 

මීට අමතරව මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ආයෝජකයන් වෙත ලබාදෙන මාසික වාර්තා මගින්ද තමා ඉදිරිපත් කළ ඇණවුම් ඒ ආකාරයෙන්ම සිදුවූවාද යන්න තහවුරු කර ගැනීමට හැකියාව ඇත. තවද කිසියම් ආයෝජකයකු CSE e-Connect පහසුකම ලබාගෙන ඇත්නම් ඔහුට අදාළ දිනයේ සිට පෙර මාස 6ක් දක්වා සිදුකළ කොටස් ගැනුම් ඇණවුම් හා විකුණුම් ඇණවුම් පිළිබඳ විස්තර ලබාගත හැකිය. මේ නිසා CSE e-Connect පහසුකම ලබාගෙන තිබීම කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කරන සියලු‍ ආයෝජකයන්ට ඉතා වැදගත් වේ. 

කොටස් ගැනුම් සටහන් හා විකුණුම් සටහන් (Bought Note & Sold Note), ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනය - (Trade Confirmation)
 
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන් විසින් සිදුකළ කොටස් මිලදී ගැනීම් හෝ විකිණීම් යන ක්‍රියා දෙක සම්බන්ධයෙන් ආයෝජකයන්ට තහවුරු කිරීමක් කොටස් ගැනුම් සටහන් හා විකුණුම් සටහන් භාවිත කිරීමෙන් ලබාගත හැකිය. කොටස් තැරැව්කාර ආයතන විසින් නිකුත් කරන ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනය මගින් ද එය තහවුරු කර ගත හැකිය. ගැනුම් සටහන සහ විකුණුම් සටහන වශයෙන් හෝ ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනය වශයෙන් යන දෙයාකාරයටම ආයෝජකයා වෙත මෙම ලේඛන ඊ-මේල් මගින් කොටස් තැරැව්කාර ආයතනය විසින් ලැබීමට සලස්වයි. විශේෂයෙන්ම තමන් විසින් සිදුකළ කොටස් මිලදී ගැනීම් හා කොටස් විකිණීම් නිසි ලෙස සිදු වූවාද යන්න ඉන් පැහැදිලි වේ. ගැනුම් ඇණවුමක් හෝ විකුණුම් ඇණවුමක් ඉදිරිපත් කිරීමේදී අදාළ සමාගම කුමක්ද, කුමන කොටස් ප්‍රමාණයක් මිලදී ගත යුතුද/විකිණිය යුතුද, සහ කොටස් විකිණිය යුත්තේ/මිලදී ගත යුත්තේ කුමන මිලකට ද යනාදී වශයෙන් පැහැදිලිව ආයෝජකයා විසින් තම ආයෝජන උපදේශකවරයා වෙත ලබා දිය යුතුය. 

එසේ ලබාදුන් විස්තර අනුව එම ඇණවුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ආයෝජන උපදේශකවරයා විසින් සිදුකළ යුතු අතර එය තහවුරු කිරීම ඉහත කී ලේඛන මගින් සිදුකරගත හැකිය. ආයෝජකයා විසින් සිදුකළ සියලු‍ කොටස් මිලදී ගැනීම් හා විකිණීම් පමණක් නොව ඊට අදාළ කොටස් තැරැව්කාර ගාස්තු ආදී විස්තරද එම ලේඛනයෙහි ඇතුළත් වේ. මෙම ගැනුම් සටහන්/ විකුනුම් සටහන් /ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනය ගනුදෙනු දිනය අවසානයේදී ඊ-මේල් මගින් ආයෝජකයන්ට ලැබීමට සලස්වයි. 

මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් කොටස් ගනුදෙනුවලදී ආයෝජනය සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ ආයෝජකයා විසින් බවයි. එනම් කොටස් මිලදි ගැනීම්/විකිණිම් සිදුකරනු ලබන්නේ ආයෝජකයාගේ උපදෙස් අනුව පමණක් බවයි. එය ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනයෙහිද සඳහන් වේ. ආයෝජකයා විසින් අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් පමණක් තීරණ ගැනීමේ අයිතිය කොටස් තැරැව්කාර ආයතනය සතු වන අතර අනෙක් සෑම විටකදීම කොටස් මිලදි ගැනීම් /විකිණීම් සම්බන්ධ අවසාන තීරණය ආයෝජකයා විසින් ගත යුතුය.

මේ අනුව කොටස් ආයෝජනයේදී ආයෝජන තීරණවල සාර්ථකත්වය වැඩි කිරීමටත්, අවදානම් අඩු කිරීමටත් මෙම ගැනුම්/ විකුණුම් පිළිබඳ ගනුදෙනු තහවුරු ලේඛනය උපකාරී වේ. 

ආයෝජන තීරණ ගැනීමේදී වැදගත් වන අනෙකුත් ලිපි ලේඛන

කොටස් ගනුදෙනු නිසි ලෙස සිදු වූවාද යන්න තහවුරු කිරීමේ ලිපි ලේඛන භාවිත කිරීමෙන් අනතුරුව ආයෝජකයන් තම අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ලේඛන කිහිපයක් ඇත. කොටස් වෙළෙඳපොළ ආයොජනයේදී භාවිත වන සියලු‍ම ලිපි ලේඛන ගැන ආයෝජකයන්ට මනා දැනුවත්භාවයක් තිබිම ආයෝජනයෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමටත්, ආයෝජනයේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉතා වැදගත් වේ. කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රතිලාභයක් ලබා ගැනීම එහි ආයෝජනය කරන සෑම දෙනාගේම බලාපොරොත්තුවකි. එය සාර්ථක ආයෝජනයක් බවට පත්කර ගැනීමට ආයෝජකයන්ට වඩාත් විශ්වාසදායක තොරතුරු අවශ්‍ය වේ. එම විශ්වාසදායක තොරතුරු අතර සමාගම් විසින් නිකුත් කරනු ලබන මූල්‍ය වාර්තා, වාර්ෂික වාර්තා, සහ කොටස් ගිණුම් හා සම්බන්ධ CDS ගිණුම් වාර්තා, චක්‍ර ලේඛ සහ නියෝග සහ නීතිමය ලේඛන ආදිය මූලික තැනක් ගනී. මෙයට අමතරව කොටස් තැරැව්කාර සමාගම් විසින් ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණ ඇතුළත් සමීක්ෂණ වාර්තා ආදිය පිළිබඳවද ආයෝජකයන් අවධානය යොමු කළ යුතුය. 

මෙම ලිපියෙහි ඉතිරි කොටස ලබන සතියේ ඉදිරිපත් කෙරේ.



අදහස් (4)

කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 2

ප්‍රියන්ත රත්නායක Wednesday, 22 October 2025 03:26 PM

කරුණාකර ඉදිරියටම යන්න.

:       0       9

[email protected] Thursday, 23 October 2025 02:57 AM

හොදයි...

:       0       2

බන්දුල ගජනායක Thursday, 23 October 2025 07:51 AM

මෙවැනි දැනුවත් කිරීම් අගය කරමි. ඊ ලඟ පලකිරීම්ද කියවීමට බලා ඉඳිමි...

:       0       3

[email protected] Thursday, 23 October 2025 12:36 PM

ගොඩක් හොදයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site