IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කාගෙන්වත් සරණක් නැති මාලිගාතැන්න මැටි කර්මාන්තය

 

  • අවශ්‍ය මැටි වර්ග සහ දර සපයා ගැනීමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සකස්කර නොමැතිවීම ගැටලු‍වක්
  • මෙවැනි දේශීය කර්මාන්ත ඉදිරියටත් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය සහය ලැබිය යුතුයි
  • යහපාලන රජයෙන් විශාල මුදලක් වැයකර ගොඩනැගිල්ලක් සහ යන්ත්‍රෝපකරණ සපයාදීලා
  • අමු ද්‍රව්‍ය හිඟය සහ නිසි සොයාබැලීමක් නොමැතිකමෙන් ගොඩනැගිල්ල වසාදමලා. යන්ත්‍ර අබලන් තත්වයේ

දිගාමඩුල්ල විශේෂ - ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ


උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න ගම්මානයේ පදිංචි පාරම්පරික මැටි හා හස්ත කර්මාන්තයේ යෙදෙන පිරිසට අවශ්‍ය මැටි සහ දර සපයා ගැනීමේ දී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන්, කර්මාන්තය කරගෙන යාමට නොහැකිවී ඇති බවට මැසිවිලි නගති.
උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අවට ගම්මානවල පවුල් පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම කර්මාන්තයේ යෙදී සිටින නමුත්, අවශ්‍ය මැටි වර්ග සහ දර සපයා ගැනීමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සකස්කර නොමැතිවීම මෙම ගැටලු‍වලට හේතුවී තිබේ.
නොයෙක් දුෂ්කරතා සහ අවහිරතා මධ්‍යයේ පාරම්පරිකව මෙතෙක් පවත්වාගෙන පැමිණි මෙවැනි දේශීය කර්මාන්ත ඉදිරියටත් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය සහය ලැබියයුතු තත්වයට පත්ව ඇති බව ද, එසේ නොවුණහොත් වැඩිකාලයක් නොගොස් මෙම කර්මාන්තය අභාවයට යාම වැළැක්විය නොහැකි බව ද මැටි සහ හස්ත නිෂ්පාදනයේ යෙදෙන්නෝ පවසති.
මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සදහා පසුගිය යහපාලන රජය මගින් විශාල මුදලක් වැයකර මාලිගාතැන්න ගම්මානයට ගොඩනැගිල්ලක් සහ යන්ත්‍රෝපකරණ සපයාදුන් නමුත්, අමු ද්‍රව්‍ය හිඟය සහ නිසි සොයාබැලීමක් නොමැතිකම හේතුවෙන් ගොඩනැගිල්ල වසාදමා ඇති අතර, යන්ත්‍ර අබලන් තත්වයට පත්වෙමින් පවතී.
රජයේ රැකියා මත නොයැපී, කිසිවකුටත් බරක් නොවී සාර්ථක පලදායි දේශීය කර්මාන්තයක් ලෙස මෙතෙක් මෙම ප්‍රදේශයේ පවත්වාගෙන පැමිණි මැටි හා හස්ත කර්මාන්තය ඉදිරියටත් ගැටලු‍ රහිතව කරගෙන යාමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ඔවුහු කර්මාන්ත ඇමතිවරයාගෙන් ඉල්ලති. 


මැටි හා හස්ත කර්මාන්තයේ යෙදෙන මාලිගාතැන්න නිරංජලා සරෝජණී මෙසේ පැවසුවාය.
 ‘‘අපි පාරම්පරිකව මැටි කර්මාන්තයේ යෙදෙන අය. මැටි වළං හා ආශ්‍රිත උපකරණ, මැටි පහන්, මල් පෝච්චි, විසිතුරු භාණ්ඩ, ඇතුළු නොයෙන් වර්ගයේ මැටි භාණ්ඩ අපි හදනවා. අපිට හොඳ වෙළෙඳ පොළක් තියනවා. ප්‍රශ්නය තියෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන සඳහා අවශ්‍ය මැටි සහ දර හිඟකම. මැටි තිබුණත් ප්‍රවාහනය කරගන්න බලපත්‍ර ගන්න අපහසුයි. දර ප්‍රවාහනය කරගැනීමේදීත් අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ කර්මාන්තය දැන් අභාවයට යමින් තියෙන්නෙ. අමුද්‍රව්‍ය හිඟකම නිසා කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසක් වෙනත් ආදායම් මාර්ග සොයමින් යන්න උත්සාහ කරනවා. අපි ඉල්ලන්නේ කර්මාන්තකරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මැටි සහ දර වැනි අමුද්‍රව්‍ය සපයා ගැනීමට විශේෂ සහනාදායි වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් කරලා දෙන්න කියලයි.’’


මාලිගාතැන්න එස්.ඩී.බී.ජේ. සේනකරත් මෙසේ පැවසීය.
 ‘‘අපිට මේ කර්මාන්තය කරගෙන යන්න විශාල වශයෙන් බලපාලා තියෙන්නේ මැටි හිඟකම. මැටි ගන්න තැනක් නෑ. තිබ්බ තැන්වල මැටි ඉවරයි. තියන තැන් හොයන්නත් අමාරුයි. හොයාගත්තත් ගේන්න විදිහක් නෑ. ගේන්න වෙන්නෙ හොරෙන්. දර ගේන්නත් බෑ. පොලිසියෙන් අල්ලනවා. අපි ප්‍රශ්න ගැටලු‍ ගොඩකට මේ වෙලාවෙ මුහුණදීලා ඉන්නේ. අපිට සහනයක් ලබාගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදලා දෙන්න කියලා ඉල්ලනවා.’’
පී.ජී. ටිකිරිහාමි මෙසේ පැවසීය.
 ‘‘අපේ මවුපියොත් මේ රස්සාව තමයි කළේ. දැන් අපිට කරගන්න විදිහක් නෑ. මැටි ගේන්න විදිහක් නෑ. මැටි ඇත්තෙත් නෑ. දර ගේන්නත් බෑ. පොලිසියෙන් අල්ලනවා. කියන්න කෙනකුත් නෑ. කවුරුත් අපි ගැන හොයලා බලන්නෙත් නෑ. අපිට අනුකම්පා කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න කියලා ඉල්ලනවා.’’


මාලිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාමවාසී උහන සුමන හිමි:
 ‘‘මෙම කර්මාන්තයෙන් යැපෙන පවුල් හතළිස් නවයක් විතර උහන අවට මෙම වෘත්තියේ නියැළෙනවා. ඒ වගේම එම පවුල්වල සාමාජිකයො දෙසිය පනහක් විතර පිරිසක් මෙයින් යැපෙනවා. අනාදිමත් කාලයක සිට මේ පිරිස මෙම වෘත්තිය, රැකියාව කරගෙන ආවා. හැබැයි දැන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ මැටි හොරකමේ යන්න. දර හොරකමේ යන්න. මේ එකක්වත් නීත්‍යනුකූලව ගේන්න කොහෙන්වත් අවසර නෑ. මේ මිනිස්සු කොහොමහරි මේ ද්‍රව්‍යටික ගෙනල්ලා සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකිරීමේ ක්‍රියාවලියට අනුගතව මැටි භාජන නිෂ්පාදනය කරලා ලංකාව පුරාම ප්‍රචලිත කරනවා. ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවා. භාණ්ඩවලට වෙළෙඳපොළක් තියනවා. එහෙත් මේ මිනිස්සුන්ට රැකෙන්න, කර්මාන්තය ආරක්ෂා කරගන්න තියන ගැටලු‍වලට කාගෙවත් අවධානය යොමුවෙන්නෙ නෑ. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් විශාල මුදලක් වියදම් කරලා ඉදිකිරීම් කළා. යන්ත්‍රෝපකරණ සපයලා දුන්නා. ඒත් වැඩකරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්න කවුරුත් මැදිහත් වෙන්නේ නෑ. දැන් මේ කර්මාන්තය අභාවයට යමින් තියෙන්නේ. මේ කර්මාන්තය මියයන්න කලින්, අභාවයට යන්න කලින්, මේ ගැටලු‍ තෝරා බේරාගෙන ඒවට විසදුම් ලබාදීලා අනාගතයටත් මේ වෘත්තීය ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා දෙන්න කියලා අපි කර්මාන්ත ඇමතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලනවා.’’


අම්පාර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන සහකාර අධ්‍යක්ෂ (වැ.බ) අසි. එම් නාසර් මෙසේ පැවසීය.
 මෙම කර්මාන්තයේ යෙදෙන්නන් සමග සාකච්ඡාකර ගැටලු‍වලට විසදුම් සොයන්න කටයුතු කරනවා. මැටි හා හස්ත කර්මාන්තකරුවන් වෙනුවෙන් අවශ්‍ය මැටි හා දර ඇතුළු අමුද්‍රව්‍ය සහනදායි ක්‍රමයකට ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැටලු‍ව ජාතික මට්ටමින් තීරණ රැසක් ගතයුතු එකක්. කෙසේ නමුත් දේශීය කර්මාන්තයක් ලෙස මැටි හා හස්ත කර්මාන්තයත්, එම කර්මාන්තයේ යෙදෙන පිරිසත් රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා.


අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මෙසේ සඳහන් කළේය. 
මේ ගැටලු‍ව සම්බන්ධයෙන් මේ වනතෙක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කරලා නෑ. කොහොම වුණත් පාරම්පරික දේශීය කර්මාන්තයක්වන මැටි හා හස්ත කර්මාන්තය අම්පාර දිස්ත්‍රික්කයෙන් අභාවයට යන්න නොදී රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඉක්මනින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තයේ යෙදෙන පිරිස්වලට ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරනවා.

 

 



අදහස් (0)

කාගෙන්වත් සරණක් නැති මාලිගාතැන්න මැටි කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site