යොහාන් භාසුර


ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමේ පුරෝගාමියකු බවට පත්වෙමින් ‘හර්මි සමූහ ව්‍යාපාරය’ ආයතනය එක ආරෝපන අවස්ථාවකින් කිලෝමීටර 600 ක් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් හඳුන්වාදෙන බව එම සමාගමේ සභාපති ජෙරී ඒඩ්‍රියන් මහතා පැවසීය.

චීන සමාගමක් වන ‘හර්මි ඉලෙක්ට්‍රිකල්ස් සමාගම’ මෙරට තුළ වර්තමානයේ ධාවනය කරන මිල අඩුම සහ වැඩිම ධාවන ධාරිතාවක් ඇති විද්‍යුත් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මෙරට තුළම එකලස් කරන බවත් එම එකලස් කිරීමේ ක්‍රියාවලියට චීන ජාතික ඉංජින්රුවන් ද සහභාගි වී සිටින බවත් ඒඩ්‍රියන් මහතා කීය.

කිලෝමීටර 600 ක් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක ආරෝපණ කාලය පැය දෙකක් සහ යතුරුපැදිය ආරෝපණ කාලය විනාඩි 20 ක් පමණක් බවත් එම සමාගම මේ වන විට එකලස් කරන ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය එක ආරෝපණ අවස්ථාවකින් කිලෝමීටර 400 ක් ධාවනය කළ හැකි බවත් ඒ මහතා පැවසීය.

ත්‍රිරෝද රථයකට වසර පහක සහ යතුරුපැදියකට වසර දෙකක වගකීම් සහතිකයක් ලැබෙන අතර එම ත්‍රිරෝද රථ සහ යතුරුපැදිය අලු‍ත්වැඩියාව සඳහා අමතර කොටස් සහිත ස්ථාන 15 ක් ස්ථාපිත කර ඇති බව කී ජෙරී ඒඩ්‍රියන් මහතා හර්මි සමූහ ව්‍යාපාරය 2012 වසරේ සිට චීනය තුළ ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගමක් වීම නිසා වාහනයක අමතර කොටස්වල වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම නිසා අමතර කොටස් පිළිබඳව සැකයක් නොමැති බව ද සඳහන් කළේය.

කොළඹ, මහනුවර, යාපනය, මඩකළපුව සහ හම්බන්තොට ඇතුළුව සෑම දිස්ත්‍රික්කයම අලු‍ත්වැඩියා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවත් මෙම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ දිනකට මුදල් ගෙවීමේ ක්‍රමයකට ලබාගත හැකි බවත් ඔහු කීය. 

එම සමාගම යතුරුපැදි රුපියල් 340,000 ක සිට 690,000 ක් දක්වා මිලකට සහ ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 24 ක පමණ මිලකට අලවි කරන බව කී සභාපතිවරයා ‘හර්මි ඉලෙක්ට්‍රිකල්ස් සමාගම වසර කීපයක සිට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීම නිසා කිසිඳු සැකයක් තබාගතයුතු නොවන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.