• ඉන්දියාවෙන් බැහැර රටක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙයයි
  • DISHA උපදේශන වැඩසටහනේ පළමු කණ්ඩායමට ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ තාක්ෂණික සමාගම් 48ක්

ඉන්දීය තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග සමාගම්වල ප්‍රමුඛතම ව්‍යාපාරික මණ්ඩලය වන NASSCOM ආයතනයේ සභාපති රාජේෂ් නම්බියාර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ (CEOs) ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

මෙම සංචාරයට සමගාමීව, NASSCOM ආයතනයේ ප්‍රමුඛතම සුළු හා මධ්‍ය පරිමාණ තාක්ෂණික ව්‍යවසායකත්ව උපදේශන වැඩසටහන (Tech SME Mentorship Programme) වන ‘DISHA’ වැඩසටහන ලංකාවේ තාක්ෂණික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි. ඉන්දියාවෙන් බැහැර රටක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමාරම්භක උත්සවයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු සහභාගී වූහ.

මීට අමතරව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ NASSCOM සභාපති රාජේෂ් නම්බියාර් මහතා, ඉන්දු-ශ්‍රී ලංකා තාක්ෂණික හවුල්කාරිත්වයේ ශක්තිමත්භාවය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ලෝකය තුළ නිර්මාණය වී ඇති අතිමහත් අවස්ථා පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා තාක්ෂණික ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයන් දක්වන කැපවීම අගය කළේය. NASSCOM SME කවුන්සිලයේ සභාපති මෞලික් භන්සාලි මහතා විසින් DISHA වැඩසටහනේ ව්‍යුහය සහ එහි වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

මෙම සමාරම්භක උත්සවයෙන් අනතුරුව තාක්ෂණය, හවුල්කාරිත්වය සහ AI යන තේමාව ඔස්සේ විශේෂ සංවාද මණ්ඩපයක් පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල නිර්මාතෘවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

DISHA උපදේශන වැඩසටහනේ පළමු කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ තාක්ෂණික සමාගම් 48ක් තෝරාගෙන ඇති අතර, උත්සවයෙන් පසු  NASSCOM උපදේශකයන් විසින් එම සමාගම් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශන සැසි ද පවත්වනු ලැබීය.