IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඇමෙරිකන් බද්ද අඩු කර නොගත්තොත් අපනයන පොල් කර්මාන්තයේ ගැටලු රැසක්

වසරකට උත්පාදනය කරන අපනයන ආදායම ඩොලර් මිලියන 857ක්
ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් සියයට 20ක් යැවෙන්නේ ඇමෙරිකාවට
තීරු බදු සහනයකට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලයි
වෙළෙඳපොළ තරගකරුවන් වෙත පනවා ඇති අඩු තීරු බදු නිසා ශ්‍රී ලංකාව පරාජය වීමේ අවදානමක්
කර්මාන්තය කඩා වැටුණොත් ලක්ෂ අටකගේ ජීවනෝපායට බලපෑම් 
කෙටි කාලීන කම්පනවලට ඔරොත්තු දී දිගුකාලීන තරගකාරීත්වය වෙනුවෙන් අපනයකරුවන්ට සහාය දක්වන ලෙසත් ඉල්ලයි 


භානුක අමරසිංහ 


ලංකා පොල් කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන්


 

ඇමෙරිකා එක්සත් ජනපදයට  ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ලබන අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සියයට 30ක තීරු බද්ද මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන වෙතද තර්ජනයක් එල්ල කර තිබෙන බව ලංකා පොල් කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය සඳහන් කරයි. 
ඒ අනුව හැකි ඉක්මනින්ම මෙම තීරු බදු ප්‍රතිශතය සියයට 20ක් මට්ටමට හෝ තවදුරටත් අඩු කරගැනීමට උත්සාහ ගැනීම අතිශය වැදගත් බව එම මණ්ඩලය රජය වෙත අවධාරණය කර පවසයි. 
එසේ නොමැති වුවහොත් වසරකට එක්සත් ජනපද ඩොලර් මිලියන 857ක් පමණ අපනයන ආදායමක් උත්පාදනය කරන මෙරට වඩාත් වටිනා අපනයන අංශයක් වන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්තය වෙත ගැටලු‍ රැසකට මුහුණ දීමට සිදු වෙනු ඇති බවත් එම මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා ඊයේ ලංකාදීප FT වෙත අදහස් දැක්වමින් සඳහන් කළේය. 
“අද වෙන කොට ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් සියයට 20ක් විතර යැවෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට. ඒ අනුව ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල තනි විශාලතම ගැනුම්කරුවා විදියට ඇමෙරිකා එක්සත් ජනපදය හඳුනාගෙන තිබෙනවා.“ යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තරගකාරී වෙළෙඳපොළ ලෙස පවතින ඉන්දුනීසියාව, වියට්නාමය, ඉන්දියාව සහ පිලිපීනය යන රටවලින් ආනයනය කරන නිෂ්පාදන සඳහා ඇමෙරිකාව පනවා ඇති තීරු බද්ද සියයට සියයට 20 ක පමණ මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. 
ඒ අනුව ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 30 ක තීරු බදු මට්ටමත් සමගින් පොල් ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ තුළ පවතින එම ජාත්‍යන්තර තරගකාරීත්වය වෙත මුහුණ දීමට අප රටට හැකියාවක් නොමැති බවත් සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
“සාමාන්‍යයෙන් වසරකට එක්සත් ජනපදය වෙත යැවෙන පොල් ආශ්‍රිත නිෂ්පාදනවල වටිනාකම ඩොලර් මිලියන 160ක් පමණ වෙනවා. ඒ අතරින් අඩක් පමණ දැන් සම්පූර්ණ කරගැනීමට හැකිවෙලා තිබෙනවා. එහෙත් අගෝස්තු 01 වැනිදායින් පස්සේ තත්වය තමයි අවිනිශ්චිත. මේ වසරේදී අපේ ඉලක්කය වුණේ ඩොලර් මිලියන 200ක්.“ 
මෙම තත්වයත් සමගින්ම එක්සත් ජනපදය වෙත අපනයනය කරන පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය රැක ගැනීම සඳහා රජය මැදිහත්වී පියවර ගැනීම වැදගත් බව එම මණ්ඩලය පෙන්වා දෙයි. එසේම එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කාර්යාලය සමගින් සම්බන්ධ වී හැකි ඉක්මනින්ම තවදුරටත් බදු සහයක් ලබා ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. 
“ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් සියයට 35ක් විතර යුරෝපයේ රටවලටත් අපනයනය කරනවා. 

ඒත් එක්සත් ජනපදයේ වෙළෙඳපොළ කියන්නේ අපි අවුරුදු 15ක් විතර තිස්සේ ගොඩනගාගත්ත වෙළෙඳපොළක්. අපේ නිෂ්පාදන අනෙකුත් තරගකාරී රටවල් එක්ක බලන කොට ප්‍රමිතියෙන් උසස්. ඒ නිසා මේ තීරු බදු තරගකාරීත්වය නිසා අපිට ඒ වෙළෙඳපොළ අහිමි කරගන්න බැහැ.“ සමරකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය. 
විශේෂයෙන්ම මෙම කාරණාව ආර්ථික වශයෙන් පමණක් නොව ජාතික වශයෙන්ද ප්‍රමුඛතාව ලබාදිය යුතු අවස්ථාවක් බව සභාපතිවරයා පවසයි. 
“මේ කර්මාන්ත අංශය කඩා වැටෙන්න ඉඩ හැරියොත් ඉන් අහිමි වෙන්නේ ප්‍රධානතම අපනයන ආදායමක් විතරක් නෙමෙයි. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ කර්මාන්ත වර්ධනය කියන දේ පසුබසිනවා.“ 
අද වනවිට මෙරට තුළ ලක්ෂ අටකට අධික පිරිසක් මෙම පොල් කර්මාන්තය ආශ්‍රිත ජීවනෝපායන්හි නිරතව සිටින බවත්, ඒ අතරින් 150,000 ක් පමණ රැකියා ඍජු රැකියා ලෙසත් හඳුනාගෙන තිබේ. 
මෙම තත්වයට විසඳුම් ලෙස ප්‍රධානතම වෙළෙඳපොළ වෙත සාධාරණ පිවිසීමක් සුරක්ෂිත කරවන මාදිලියේ ද්විපාර්ශ්වක වෙළෙඳ ගිවිසුම් වෙත පිවිසීම මෙන්ම කෙටිකාලීන කම්පන දරා ගනිමින්, දිගුකාලීන තරගකාරීත්වය වර්ධනය කරගැනීම සඳහා අපනයනකරුවන් වෙත සහාය දැක්වීමක් සිදුකළ යුතුව ඇතැයිද ලංකා පොල් කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

 



අදහස් (0)

ඇමෙරිකන් බද්ද අඩු කර නොගත්තොත් අපනයන පොල් කර්මාන්තයේ ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site