- ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ සියයට 10 තීරුබදු කාණ්ඩයට ඇතුළත් වීම ගැන රජයට සතුට පළ කරයි
ශ්‍රී ලංකාව ඇමෙරිකාව වෙත අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.5 ක තීරු බදු කාණ්ඩයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කළ ද, එසේ නොවී සියයට 10 ක තීරු බදු කාණ්ඩයට ඇතුළුවීමට ශ්‍රී ලංකාවට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය (JAAF) සඳහන් කරයි.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) පසුගියදා කළ නිවේදනයකට අනුව, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරීම පිළිබඳ 301 වගන්තියට අදාළ විමර්ශනවල අවසන් තීරණ අනුව, රටවල් 18ක් සඳහා සියයට 10ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබීමත්, ශ්‍රී ලංකාව ඊට ඇතුළත්වීමත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය මෙම කරුණු පවසා සිටියි.
“ජූලි මුල් භාගයේදී ශ්‍රී ලංකාව USTR වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සියයට 10 තීරුබදු කාණ්ඩයට ඇතුළත් කර තිබීම ගැන JAAF සිය සතුට පළ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව සහ කාම්බෝජය ඇතුළු ප්‍රධාන තරගකාරී රටවල් සමඟ සමාන සියයට 10 තීරුබදු අනුපාතයකට ඇතුළත් වී තිබෙනවා.’’
විශේෂයෙන්ම මෙම තීරුබදු ප්‍රතිපත්තිය යටතේ රටවල් 42 සඳහා සියයට 12.5ක තීරුබද්දක් පැනවෙන බව ද USTR නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
“මුලදී සඳහන් වූ පරිදි ශ්‍රී ලංකාව සියයට 12.5ක තීරුබදු කාණ්ඩයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරුණා. එසේ සිදු වුණා නම් නම් ප්‍රධාන තරගකාරී රටවල් රැසක් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවට සැලකිය යුතු අවාසියක් ඇතිවීමට ඉඩ තිබුණා’’ JAAF පවසයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළක ක්‍රියාත්මක වන බවත්, තීරුබදු අනුපාතයෙහි සියයට 2.5ක පමණ සුළු වෙනසක් පවා තරගකාරී රටකට ඇණවුමක් අහිමි වීමට හෝ දිනා ගැනීමට තීරණාත්මක සාධකයක් විය හැකි බවත් එම සංසදය මෙහිදී පෙන්වා දෙයි.
“බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව සහ කාම්බෝජය වැනි ප්‍රධාන තරගකාරී රටවලට හිමි තීරුබදු මට්ටමට සමාන තීරුබදු අනුපාතයක් ශ්‍රී ලංකාවට ද ලබා ගැනීම, මෙරට විශාලතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තයේ තරගකාරීත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍යයි.’’
මෙලෙස තරගකාරී රටවල් සමඟ සමාන තීරුබදු අනුපාතයක් ලබාගැනීම සඳහා තමන් දිගු කලක් තිස්සේ අඛණ්ඩව සහ සක්‍රීයව මැදිහත්ව සිටි ප්‍රධාන කරුණක් බව පෙන්වා දෙන එම සංසදය, මෙම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් වෙත ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයට කෘතඥතාව පළ කරන බව සඳහන් කරයි.
එමෙන්ම, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සහ වෙළෙද අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරාජා මහතාට ද විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතු බව එම සංසදය අවධාරණය කරයි.
“ඔවුන් වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කණ්ඩායම සමග එක්ව පසුගිය මාස කිහිපය පුරා මෙම කාර්යය සාර්ථක කරගැනීමට අඛණ්ඩව කැපවී කටයුතු කළා’’ යනුවෙන්ද එම සංසදය වැඩිදුරටත් පවසා සිටියි.
මෙම ප්‍රතිඵලය අහඹු ලෙස ලැබුණු එකක් නොවන බවත්, ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වල සිට වොෂින්ටන් නුවරදී සිදු කළ සෘජු නියෝජනයන් දක්වා, කර්මාන්ත අංශය සහ රජය සියලු මට්ටම්වලදී අඛණ්ඩව හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්කරගැනීමට හැකිවූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd