IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇතැම් කරුණු වාර්තා කිරීමේදී සම්පූර්ණ දත්ත වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත්

  • මැයි මාසය අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කරලා
  • ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන ප්‍රගතිය සාමාන්‍යයෙන් සතුටුදායකයි
  • විදුලිය පූර්ව ක්‍රියාමාර්ග දෙක ශ්‍රී ලංකාව ඉටුකරලා
  • බදු නිදහස් කිරීමේ රාමුව යාවත්කාලීන කරන තෙක් ශ්‍රී ලංකාව නව බදු නිදහස් කිරීම් ලබාදීමෙන් වැළකී සිටිය යුතුයි
  • අතීතයේදී ලබාදුන් බදු නිදහස් කිරීම් රජයට ආදායම් අහිමි කිරීම පමණක් නොව වංචා හා දූෂණවලට මාර්ගය පාදලා

විමුක්ති එස් රුද්‍රිගු


ප්‍රමාණාත්මක ඉලක්ක කීපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු වාර්තා කිරීමේදී සම්පූර්ණ දත්ත වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී තිබෙන නමුත් එය නිවැරදි කිරීමට රජය පියවර ගෙන තිබීම හේතුවෙන් සිවුවැනි සමාලෝචනයේදී එම ඉලක්ක පිළිබඳව නොසලකා සිටිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය.

සම්පූර්ණ දත්ත වාර්තා නොකිරීම හේතුවෙන් පළමු, දෙවැනි සහ තෙවැනි සමාලෝචනවලදී ශ්‍රී ලංකාවට ප්‍රමාණාත්මක ඉලක්ක කීපයක් මගහැරී තිබෙන බවත් එය ශ්‍රී ලංකාව නිර්වචනයක් වැරදි ලෙස තේරුම් ගැනීම නිසා සිදුවූවක් බවත් ඔහු පැවැසුවේය. එහෙත් පසුව ශ්‍රී ලංකාව එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබෙන බවද ඔහු පැවැසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විධායක කමිටුවට සියලු‍ තොරතුරු වාර්තා කළ බවත් සිවුවැනි සමාලෝචනය සඳහා මගහැරුණු එම ප්‍රමාණාත්මක ඉලක්ක නොසලකා හැරීමට විධායක කමිටුව තීරණය කළ බවත් පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය.

පසුගිය 1 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් රැස්වීම් දෙකක් පැවැත්වූ බවත් පළමු වැන්න දත්ත නිවැරදිව වාර්තා නොකිරීම සම්බන්ධයෙන් වූ බවත් දෙවැන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ සිවුවැනි සමාලෝචනයට අනුමැතිය ලබාදීම සඳහා වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

පළමු රැස්වීමේදී මග හැරුණු ප්‍රමාණාත්මක ඉලක්ක සම්බන්ධයෙන් සිවුවැනි සමාලෝචනයේදී නොසකා හැරීමට තීරණය කළ බැවින් දෙවැනි රැස්වීමේදී සිවුවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය හිමිවූ බවත් ඒ සමග මෙරටට ලබාදී ඇති ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක් වහාම නිදහස් කෙරෙනු ඇති බවත් ඔහු පැවැසුවේය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති මාස 48 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 3 විස්තීරණ ණය මුදලෙන් ඩොලර් බිලියන 1.74 ක ප්‍රමාණයක් නිදහස් කර අවසන් බව පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය. ඒ සමග සිවුවැනි සමාලෝචනය සම්පූර්ණ වන බවද ඔහු පැවැසුවේය.

පසුගිය අප්‍රේල් මස 25 වැනිදා එළැඹි කාර්ය මණ්ඩල ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ඉදිරිපත් කිරීමට ඉටු කළ යුතු වූ විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ පිරිවැයට සරිලන ලෙස විදුලිය ගාස්තුව ස්වයංක්‍රීයව සංශෝධනය වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සහතික කිරීම යන පූර්ව ක්‍රියාමාර්ග දෙක ශ්‍රී ලංකාව ඉටුකර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන ප්‍රගතිය සාමාන්‍යයෙන් සතුටුදායක බවත් පසුගිය මාර්තු මස අවසන් වනවිට සපුරාලිය යුතු ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා තිබෙන බවත් පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය. එසේම පසුගිය මැයි මාසය අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක ඉලක්ක ක්‍රියාත්මක කර ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම මේ වනවිට ශ්‍රී ලංකාව ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමග ද්වී පාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් එය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසානයට තවත් ළංකර තිබෙන බවත් ඔහු පැවැසුවේය.

මෙරට බදු නිදහස් කිරීමේ රාමුව යාවත්කාලීන කරන තෙක් ශ්‍රී ලංකාව නව බදු නිදහස් කිරීම් ලබාදීමෙන් වැළකී සිටිය යුතු බවත් අතීතයේ ලබාදී තිබූ බදු නිදහස් කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රශ්නවලට මුහුණදී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. අතීතයේදී ලබාදුන් බදු නිදහස් කිරීම් රජයට ආදායම් අහිමි කිරීම පමණක් නොව වංචා හා දූෂණවලට මාර්ගය පාදා තිබෙන බව ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිවුවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඊයේ(03) මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා මෙම අදහස් පළ කළේය.

ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් වාරික වශයෙන් මාස 48කදී ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසරේ මාර්තු 20 වැනිදා අනුමැතිය ලබාදුන්නේය.

අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කරන අතරතුර මෙරට මූල්‍ය හා ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම, මිල සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම, විදෙස් සංචිත ගොඩ නැගීම, රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම හා වංචා, දූෂණ ඇතිවීමට තිබෙන අවදානම අවම කිරීම, ආර්ථික වර්ධනය අරමුණු කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය කල් පවතින ලෙස යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහායවීම එම වැඩසටහනේ අරමුණ විය.



අදහස් (0)

ඇතැම් කරුණු වාර්තා කිරීමේදී සම්පූර්ණ දත්ත වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site