විමුක්ති එස් රුද්‍රිගු


ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් මහත්මිය පෙරේද‌ා (09) කොළඹදී වැඩ බාර ගත්තාය. නව අධ්‍යක්ෂවරිය ලෙස වැඩබාර ගනිමින් ඇය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරිය ලෙස පත්වීමට ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි.

අවුරුදු ගණනාවක සිට ආසියානු සංවර්ධන බැංකුව මෙරට විශ්වාසවන්ත හවුල්කරුවකු බවත් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ඇතුළු මෙරට අභියෝගාත්මක කාලවලදී ආසියානු සංවර්ධන බැංකුව සැමවිටම ශ්‍රී ලංකාවට සහාය ලබාදී තිබෙන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් කව්ලින් මහත්මිය ප්‍රකාශ කළාය.

බාහිර පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමටත්, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට සහාය වීමටත් ආසියානු සංවර්ධන බැංකුව කැපවී සිටින බව ඇය පැවැසුවාය. දිට්වා සුළි කුණාටුවෙන් මෙරට එල්ල වූ බලපෑමෙන් සහ මෙරටට සිදුවූ හානියෙන් නැවත යථා තත්වයට පත්වීම සඳහාද ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළාය.

කව්ලින් මහත්මියට වසර 26 ක වෘත්තීය පළ පුරුද්දක් ඇති අතර ඇයට ආසියානු සංවර්ධන බැංකුව තුළ වසර 13 ක පළ පුරුද්දක් ඇත.

ඇය මෙරට නේවාසික අධ්‍යක්ෂවරිය ලෙස පත්වීමට පෙර මොන්ගෝලියාවේ ආසියානු සංවර්ධන බැංකු අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය. ඇයට ආයෝජන ව්‍යාපෘති මෙහෙයුම්, ප්‍රතිපත්තිමය කටයුතු මෙන්ම බලශක්තිය, දේශගුණය, පරිසරය, වාතයේ ගුණාත්මකභාවය, මහජන සෞඛ්‍යය සහ බලශක්තිය-ආහාර-ජලය අතර සම්බන්ධතාවය යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂඥ දැනුමක් ඇත.