• ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙම වරාය වෙනුවෙන් එකල වැය කරන ලද මුදල රුපියල් මිලියන 477ක්
  • ධීවරයන් තුන්දහසකට ආසන්න පිරිසක් රැකියාවේ ගිය අම්බලන්ගොඩ ධීවර වරාය අද වන විට සම්පූර්ණයෙන්ම අතහැර දමලා
  • වරාය ජැටිය හා දියකඩනය ආදියෙහි කිසිදා නිවැරදි කළ නොහැකි අඩුපාඩුවරායේ බාගයකට වඩා වැලි පිරිලා

අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා 


අම්බලන්ගොඩ ධීවර වරායේ අඩුපාඩු රැසක් හා මුහුදු වැලි පිරීම නිසා ධීවරයන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවලට මුහුණපා සිටින අතර ධීවරයන් බොහෝ පිරිසක් සිය ධීවර රැකියාව අතහැර දමා යන මට්ටමට පත්ව තිබේ. 

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ 2006 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම වරාය වෙනුවෙන් එකල වැය කරන ලද මුදල රුපියල් මිලියන 477කි. 

වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය හරහා අම්බලන්ගොඩ ධීවර වරාය ඉදිකිරීමට මුදල් ලබා දී ඇති අතර අම්බලන්ගොඩ වරාය සතු භූමි ප්‍රමාණය හෙක්ටයාර 3.67 වන අතර ද්‍රෝනි ප්‍රදේශය හෙක්ටයාර 5.30 ප්‍රධාන දියකඩනය මීටර් 372ක් වන අතර අනු දියකඩනය මීටර් 188 කින් යුක්තය ශීතකාමර කීපයක් වර්ග අඩි 120ක දැල් අලු‍ත්වැඩියා කරන ස්ථානයක් මාළු වෙන්දේසිපොළ දෙකක් සනීපාරක්ෂක පහසුකම් අවන්හල්, වෙළෙඳසල් පහසුකම්, ගුවන් විදුලි මැදිරියක් මෙන්ම ජල පහසුකම්වලින් සමන්විත මෙම වරාය ඉදිකිරීම් ආරම්භ කළ පසු අද දක්වා කිසිදු නඩත්තුවක් කර නොමැත. 

අම්බලන්ගොඩ ධීවර වරායේ ඉදිකිරීම් අවශ්‍යතාව පිළිබඳ ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්තාවක් පෙන්වා දී ඇත්තේ අම්බලන්ගොඩ ස්වාභාවික ධීවර වරායෙන්ම යාන්ත්‍රික බෝට්ටු හැත්තෑ හතක් සහ යාන්ත්‍රික නොවන බෝට්ටු තිස් හතරක් ධීවර කර්මාන්තයේ යෙදුණු බවයි. අම්බලන්ගොඩ ධීවරයන් සතු බහු දින ධීවරයාත්‍රා තිහක් පමණ බේරුවල සහ ගාල්ල ධීවර වරායවලින් ධීවර රැකියාවේ යෙදුණු බවද මෙහි සඳහන්ය. 

එහෙත් අද අම්බලන්ගොඩ ධීවර වරාය තත්වය ඛේදජනකය. ධීවරයන් පවසන්නේ අම්බලන්ගොඩ ධීවරයන්ට සහ ධීවර වරායට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි බවය. ධීවරයන් තුන්දහසකට ආසන්න පිරිසක් ධීවර රැකියාවේ ගිය අම්බලන්ගොඩ ධීවර වරාය අද වන විට සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබේ.

මසකට බෝට්ටු එකසිය පනහක් පමණ වරායෙන් මාළු බෑ අතර මේ වනවිට ධීවර වරායට පැමිණෙන්නේ බෝට්ටු දෙක තුනක් පමණක් බව ධීවරයෝ කියති. වරාය බේසමේ වැලි පිරි ගැඹුර අඩුවීම නිසා බෝට්ටුවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා අම්බලන්ගොඩ ධීවරයන්ගේ බෝට්ටු ගාල්ල සහ බේරුවල ධීවර වරාය වෙත ගෙන යාමට සිදුව තිබේ. එහිදී ද ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද ධීවරයෝ මැසිවිලි නගති. අම්බලන්ගොඩ ධීවර බෝට්ටු වලට ගාල්ල සහ බේරුවල ධීවර වරායවලින් මාළු ගොඩ බෑමට උදය වරුවේ අවස්ථාව නොලැබෙන අතර හවස් කාලයේ මාළු ගොඩ බෑම නිසා මාළු විකිණෙන්නේ තුට්ටුවට දෙකට බවට ධීවරයෝ කියති. මේ හේතුවෙන්ද බොහෝ ධීවරයන් තම රස්සාව අතහැර යන තත්වයක් උදාවී ඇති බවද කියති. 

අම්බලන්ගොඩ ධීවර වරායේ වැලි පරේ වැදීමෙන් අබලන්වූ බෝට්ටු ගණන සියයකට අධික බවත් ඒවා වරායේ ගාල්කර තිබේ. බෝට්ටු අලු‍ත් වැඩියා කර ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් මෙසේ බෝට්ටු වරායේ ගාල් කිරීමට සිදුවීම නිසා තමන් කබලෙන් ළිපට වැටී ඇති බවද කියති. 

අම්බලන්ගොඩ ධීවර වරාය අඩුපාඩු රැසක් සහිතව ඉදිකරන ලද්දකි. අංග සම්පූර්ණ නොවන ධීවර වරායක් ඉදිකිරීමෙන් සුන්දර ස්වභාවික මුහුදු තීරයද අහිමි වී තිබේ. ඒ නිසාම පාරිසරික ගැටලු‍ රැසක් මතුවී තිබෙන බවත් ධීවර වරායේ ඉදිකිරීම් අරමුණ ඵලදායිද යන්න සම්බන්ධයෙන් සොයා බැලූ 2010 / 2011 කාර්ය සාධන හා විගණන වාර්තාවේ සඳහන්වේ.

ධීවර ජනතාවගේ ආර්ථික හා සමාජ සංවර්ධනයට අවස්ථාව සලසා දෙමින් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ වගකීම වුවද අම්බලන්ගොඩ ධීවර වරාය ඉදි කිරීමේදී අමාත්‍යාංශය මෙම වගකීම ඉටු කර නොමැති බවද වාර්තාවේ සඳහන් වී තිබේ. 

ඉදිකිරීම්වලදී සැලකිල්ලට ලක් කළයුතු වරාය ජැටිය හා දියකඩනය ආදියෙහි කිසිදා නිවැරදි කළ නොහැකි අඩුපාඩු තිබෙනෙන බවටද එම වාර්තාවේ දැක්වේ. වරාය ඉදිකිරීමෙන් පසු මේ දක්වා කිසිදු නඩත්තුවක් සිදු නොකිරීම නිසාම අම්බලන්ගොඩ ධීවර වරායේ මිහිපිට අපායක් බවට පත්ව තිබේ. අම්බලන්ගොඩ ධීවර වරායෙන් සැපයෙන සේවා ප්‍රමාණවත් නොවන බවත් මෙහෙයුම් අකාර්යක්ෂමතාව මත වරාය ආර්ථික වශයෙන් ඵලදායි නොවන බවට ද විගණනයේදී පෙන්වා දී ඇත. 

අම්බලන්ගොඩ ධීවර වරායේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ධීවර ප්‍රජාවේ නියෝජිතයෝ මෙසේ අදහස් දැක්වූහ. 

අම්බලන්ගොඩ ධීවර වරාය කළමනාකරණ කමිටුවේ සභාපති හා ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති මනෝජ් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. 

දැන් වසර දෙකක පමණ කාලයක සිට අම්බලන්ගොඩ වරායට බෝට්ටු එන්නේ නැහැ. වරාය ඉදිකළ මුල් කාලයේදී දිනකට බෝට්ටු 15 ක් පමණ මාළු බෑවා. වරාය ජැටියේ එක පේළියකට බෝට්ටු හයකට වඩා ගහනවා. ඒත් දැන් ගහන්නේ එකබෝට්ටුවයි. 

වරාය බේසමේ වැලි පිරිලා නිසා බෝට්ටු නිතර අනතුරට පත් වෙනවා. වරාය හැදුවේ මුහුද ගොඩකරලා වැරදි විදියට. ඒ නිසයි වැලි පිරෙන්නේ. දියකඩනය අනුමත ආකාරයට නොවෙයි ඉදිකළේ. වරාය ඉදිකිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී තිබෙනවා. වරායේ පහසුකම් බලාපොරොත්තු මට්ටමෙන් ක්‍රියාත්මක නොවුණේ ඒ නිසයි. 

මේ ධීවර වරායෙන් බහුදින යාත්‍රා 340 ක් රස්සාවට යනවා. එක බෝට්ටුවක හය දෙනෙක් සේවය කරනවා. මේ අනුව බෝට්ටු රස්සාවට යන ධීවරයන් ගණන 3300කට ආසන්නයි. බෝට්ටු බලා ගැනීම බෝට්ටුවලට තෙල් වතුර අයිස් සැපයීම මාළු ගොඩ බෑම මාළු ලොරිවලට පැටවීම ප්‍රවාහන අතුරු රැකියා කරන අය පන්සියයක් හයසියයක් අතර ඉන්නවා. ඒ අනුව අම්බලන්ගොඩ ධීවර වරායේ හාරදහකට විතර රැකියා අවස්ථා නිර්මාණය වී තිබෙනවා. මේ එක පවුලක තුන්දෙනෙක් හිටියොත් ධීවර වරාය නිසා යැපෙන පවුල් ගණන 12,000 ක්.

අම්බලන්ගොඩ ඩබ්ලිව්. ආනන්ද මහතා මෙසේ පැවසීය. 

වරාය ජැටිය මීටර් සීයක් දිගයි. එයින් මීටර් අසූවකම වැලි පිරිලා. ගැටියේ දකුණු කෙළවරේ මීටර් 20ක බැම්ම උඩටම එනකම් වැලිපිරිලා. උතුරු කෙළවරින් විතරක් එකවරකට බෝට්ටුවක් ජැටියට ගන්න පුළුවන්. බෝට්ටු නමයක් දහයක් එදා මාළු බෑවා. සමහර බෝට්ටු අවස්ථාව ලැබෙනකන් වරායෙන් පිටත නවත්තගෙන හිටියා. දැන් බේරුවල හරි ගාල්ලට හරි යන්න වෙලා. 

අම්බලන්ගොඩ මුහුදු වෙරළ පාරේ එම් තිළිණ කුමාර මහතා මෙසේ පැවසීය.

වරායේ පොලිස් මුරපොළක් ඉදිකරන්න ආරම්භ කළත් එය අතරමග නැවතිලා. මාළු වෙන්දේසි ශාලාවක් නැහැ. දැල් මහන ශාලාව කඩා ඉවත්කරා ඒක හදනවා. කිව්වත් මෙතෙක් ඉදිකරේ නැහැ. ඔය බැරල් උඩ තියලා තියෙන්නේ වැලි පරවල වැදිලා හානි වුණ බෝට්ටු. වරායේ භූමියේ එක පැත්තකට යන්න බැහැ මුත්‍ර ගඳයි. 

අම්බලන්ගොඩ හිරේවත්තේ පේදුරු හේවා සුනිල් මහතා මෙසේ පැවසීය.

මම අවුරුදු දහයේ ඉඳලා මේ ධීවර රස්සාව කරන්නේ තාත්තත් එක්ක ඇවිත් මේ රස්සාව පුරුදු වුණේ මේ රස්සාව එදා වගේම අදත් අමාරුයි. වරායේ බාගයකට වඩා වැලි පිරිලා. ඡන්ද ළං වෙනකොට දේශපාලනඥයෝ නිලධාරීන් ඇවිත් බලලා යනවා. ඒත් වැඩක් වෙලා නැහැ. වරාය පිරෙන වැලි හාරන්න කොන්ත්‍රාත් දීලා තියෙනවා. ඔවුන් වැලි හාරලා විකුණනවා. 

කොහොම වුණත් දැන් වැලි හාරන එකත් නැවතිලා. වරායේ ගල් බැම්ම තව මීටර් සීයක් දික් කළානම් මේ ප්‍රශ්න නැහැ. 

අම්බලන්ගොඩ හල්වතුර පදිංචි හිනිදුමගේ ජයන්ත මහතා මෙසේ පැවසීය.

අම්බලන්ගොඩ ඉන්නේ අවාසනාවන්තම ධීවරයෝ. පේනවනේ වරාය ගොඩනැගිලිවල හැටි. භූමි තෙල් ඉන්ධන අලෙවි හලක් අනුමත වුණා. ඒක තවම නැහැ. වරායේ කැන්ටිම අහිගුන්ඨිකයන්ගේ කූඩාරමක් වගේ. ගොඩනැගිල්ලේ වහලක් නෑ. වරායට ස්ථීර කළමනාකරුවකුත් නැහැ. 

අම්බලන්ගොඩ ධීවර වරායේ පවතින මෙම ගැටලු‍ සම්බන්ධයෙන් කළ විමසුමකදී ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා මෙසේ පැවසීය. 

අම්බලන්ගොඩ ධීවර වරායේ අඩුපාඩු රැසක් තිබෙනවා. වරාය සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්තුවා. අදියර දෙකක් යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය සංවර්ධනය කරන්න රුපියල් මිලියන 4464 ක මුදලක් වෙන්කළා. පළමු අදියර යටතේ වරාය බේසම සංවර්ධනයට රුපියල් මිලියන පනස් අටක් සහ ගොඩනැගිලි සංවර්ධනයට මාළු වෙන්දේසි ශාලාව ඉදිකිරීමට, වාහන නැවැත්වීමේ අංගනය ඉදිකිරීමට කාණු පද්ධතිය ඉදිකිරීමට රුපියල් මිලියන පනහක් වෑය කරනවා. පළමු අදියර 2026 වර්ෂයේදී සහ දෙවන අදියර 2027 / 2030 වර්ෂවලදී සම්පූර්ණ කරන්න සැලසුම් කර තිබෙනවා. සියලු‍ම සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 4464ක්.