ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයන උපායමාර්ගික ප්‍රමුඛතා සහ වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා දූත මණ්ඩලවල කාර්යභාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සැසියට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අලු‍තින් පත් වූ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වූහ. ඒ අතර මැලේසියාවේ මහ කොමසාරිස් දර්ශන එම්. පෙරේරා, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ ස්ථිර නියෝජිත ඩී.එම්.එස්.පී. දසනායක, ඔස්ට්‍රියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ ස්ථිර නියෝජිත දයානි මෙන්ඩිස්, රුමේනියාවේ තානාපති එස්.පී.ඩබ්ලිව්. පතිරණ, ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ තානාපති එන්.අයි.ඩී. පරණවිතාන, ඊශ්‍රායලයේ තානාපති සමන් කුමාර චන්ද්‍රසිරි, කෙන්යාවේ මහා කොමසාරිස් ධම්මික ප්‍රනාන්දු සහ පලස්තීනයේ නියෝජිත එම්. ෆවුසර් ෆාරුක් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මීට අමතරව, ලෙබනනයේ තානාපති අනුර විතානගේ, ඉරානයේ තානාපති මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි, ලොස් ඇන්ජලීස් හි කොන්සල් ජනරාල් බී.ඒ.ඩී.ඒ.පී. පෙරේරා, ටොරොන්ටෝ හි කොන්සල් ජනරාල් එස්.ඩී.එම්. පීරිස්, ජෙඩා හි කොන්සල් ජනරාල් එම්.ටී. මොහොමඞ් ලෆාර් , ඩී.ඩී.පී. සේනානායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියාකාරීත්වය සහ ජාතික ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. නව වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීම, වෙළෙඳ බාධක ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග සම්බන්ධතා ඇති කර දීම සඳහා විදේශ දූත මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර සමීප සම්බන්ධතාවක ඇති වැදගත්කම ඔහු අවධාරණය කළේය.
වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා සෞම්‍යා කන්නන්ගර මහත්මිය විසින් ද්විපාර්ශ්වික වෙළෙඳ ප්‍රමුඛතා සහ අපනයන හැකියාව ඇති ක්ෂේත්‍ර පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන ලදී. 
මෙම වැඩසටහනේ විශේෂ අවධානයක් යොමු වූයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන ”‍ශ්‍රී ලංකා එක්ස්පෝ 2026”‍ (Sri Lanka Expo 2026) ප්‍රවර්ධනය කිරීම කෙරෙහිය. විදේශීය වෙළෙඳ සංවිධාන සහ ගැනුම්කරුවන් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී කරවා ගැනීමට දූත මණ්ඩල ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බව එහිදී ප්‍රකාශ විය.