- 2025 අපනයන කාර්ය සාධන දර්ශකය ද එළිදක්වයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026-2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන් 24කට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. පෙරේදා (06) කොළඹ දී පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එක්විය.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම අවස්ථාවේදී මෙසේ පැවසීය.
“පසුගිය දෙවසර තුළ සියලු අපනයන ක්ෂේත්‍ර ලබාගත් වර්ධනය පදනම් කර ගනිමින්, අපගේම අතීත වාර්තා අභිබවා යන නව ඉලක්ක කරා යා යුතුයි. අපනයනයට බාධා වන යල්පැනගිය නීති රෙගුලාසි සංශෝධනය කරමින්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සාමූහික ශක්තියෙන් හා ශිල්පීය දක්ෂතාවෙන් යුතුව මෙම අපනයන ඉලක්ක සපුරා ගැනීමට අත්වැල් බැඳගත යුතුයි”
මෙහිදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026 – 2030 පිළිබඳව උපදේශක කමිටු සාමාජිකයන් දැනුවත් කරන ලද අතර, ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව ද විශේෂ දැනුවත් කිරීමක් සිදු කළේය.
අපනයනකරුවන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් (SMEs), පෞද්ගලික අංශයේ සංගම්, අදාළ රජයේ ආයතන සහ අදාළ අංශවල පළපුරුද්ද ඇති විශේෂඥයන් නියෝජනය වන පරිදි මෙම සාමාජිකයන් තෝරා ගෙන ඇත.
උපදේශක කමිටු අපනයන සංවර්ධන මණ්ඩලයේ කටයුතුවල අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. මණ්ඩලයේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP), ජාතික අපනයන ප්‍රතිපත්තිය ආදිය සකස් කිරීමේදී ඔවුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. අපනයන කාර්ය සාධනය නැවත ගොඩනැගීමටත්, අපනයන අංශය තිරසර වර්ධන මාවතකට ගෙන ඒමටත් ඔවුන්ගේ අවබෝධය ඉතා වැදගත් වේ.
2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් සහ අපනයන නිෂ්පාදන එකතුව විවිධාංගීකරණය කිරීමේ අරමුණින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින්, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික අංශ පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන්, අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරන ලදී. ජාතික ව්‍යාපාරික පරිසරය ශක්තිමත් කිරීමටත්, අපනයන වර්ධනය ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය උපාය මාර්ග මෙම සැලැස්මෙන් හඳුනාගෙන ඇත.
නව උපදේශක කමිටු විසිහතර (24) පහත සඳහන් අංශ සඳහා පිහිටුවන ලදී. වෙළෙඳ සැපයුම් හා කේන්ද්‍ර මෙහෙයුම්, වෙළෙඳ පහසුකම්සැලසීම, වෙළෙඳ මූල්‍ය, ව්‍යාපාර හා ආයෝජන පරිසර ප්‍රතිසංස්කරණ, වෙළෙඳ ප්‍රවර්ධනය හා වෙළෙඳපොළ සබඳතා, ගුණාත්මක කළමනාකරණය, තත්ව කළමනාකරණය, වෙළෙඳ ප්‍රමිති සහ පාරිසරික, සමාජීය හා පාලන කරුණු (ESG), කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්වය හා නවෝත්පාදනය යන අංශ සඳහා කමිටු හයක් පිහිටුවා ඇත.
කමිටු අටක් මගින් ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රමුඛතා අංශ ආවරණය කෙරේ. ඒවා නම්: මෝටර් රථ අමතර කොටස් සහ ඉංජිනේරු නිෂ්පාදන, ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත කර්මාන්ත, සාගර ආශ්‍රිත කර්මාන්ත (බෝට්ටු සහ නැව් නිෂ්පාදනය ඇතුළුව), කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, සැකසූ ආහාර සහ පාන වර්ගයි.
ඉතිරි කමිටු දහය වෙනත් ප්‍රධාන අංශ නියෝජනය කරයි. ඒවා නම් ඇඟලුම්, ආයුර්වේද හා ඖෂධීය පැළෑටි නිෂ්පාදන සහ රූපලාවණ්‍ය නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉදිකිරීම් හා විදුලි බලශක්ති සේවා, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, කාබනික නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය, ඖෂධ නිෂ්පාදන, මුහුදු ආහාර හා ජලජීවී වගාව, කුඩා හා මධ්‍යම පරිමාණ අපනයන සංවර්ධනයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd