IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අපනයන ඉලක්කයෙන් සියයට 80ක් සපුරයි

ජනවාරි සිට ඔක්තෝබර් දක්වා අපනයන ආදායම රු. මිලියන 14,433.82ක් දක්වා සියයට 6 ක වර්ධනයක්
ඉතිරි සියයට 20 සම්පූර්ණ කිරීමට මාස දෙකක් තුළ රුපියල් බිලියන 3.6ක අපනයන ආදායමක් අවශ්‍යයි
ඔක්තෝබර් මාසයක් තුළ වාර්තා කළ ඉහළම අපනයන ආදායම මෙම වසරේදී
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම පළමුවරට ඩො. බිලියනය ඉක්මවයි
වැඩිම අපනයන වටිනාකම වන ඩො.මි. 2,498.04 ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 
ඉන්දියාවට කළ අපනයනයේ වටිනාකම සියයට19.31කින් ඉහළට


භානුක අමරසිංහ


මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මුල් මාස දහයක කාලයේ දී මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 14,433.82ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙහිදී මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 11,373.60ක් ලෙස සටහන්ව ඇති අතර, මුළු සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 3,060.21 කි.
ඒ අනුව මෙය 2025 වසරේ අපනයන ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 18න් සියයට 80ක ප්‍රතිශතයක් සම්පූර්ණ කරගත් අවස්ථාවක් වන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කරයි. 
“මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගයයි. මෙම කාලය තුළ වාර්ෂික අපනයන ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 18න් සියයට 80ක් දැනටමත් සාක්ෂාත් කරගෙන තිබෙනවා. ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථා තත්වයට පත්වීම සහ දේශීය කර්මාන්තය විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාව මෙම වර්ධනයට හේතුවක්.” යනුවෙන් ද සභාපතිවරයා පවසා සිටියි.
මෙම කාලසීමාවේදී වැඩිම අපනයන ආදායම ඇඟලු‍ම් සහ රෙදිපිළි හරහා ලැබී තිබේ. එය ඩො.මි. 4,440.85 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා කළ අගය වූ ඩො.මි. 4,206.95 හා සැසඳීමේදී සියයට 5.56ක වර්ධනයකි. එසේම තේ අපනයනය ඩො.මි. 1,186.10 සිට ඩො.මි. 1,289.58ක් දක්වා සියයට 8.72 කින් වර්ධනය වී තිබේ. මීට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදන ඩො.මි. 718.25 සිට ඩො.මි. 1,033.09 ක් දක්වා සියයට 43.83ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් රබර් ආශ්‍රිත නිෂ්පාදන ආදායම ඩො.මි. 843.61 සිට ඩො.මි. 793.70 ක් දක්වා සියයට 5.92 කින් අඩු වී තිබේ. 
මේ අතර 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සම්පූර්ණ සේවා අපනයන ආදායම එක්සත් ජනපද ඩො.මි. 3,060.21 කි. එය 2024 වසරේ වාර්තා කළ ඩො.මි. 2,942.34 ක ආදායම හා සැසඳීමේදී සියයට 4.01 ක වර්ධනයකි. 
කෙසේ වෙතත් 2025 සඳහා වන වාර්ෂික අපනයන ඉලක්කය සම්පූර්ණ කරගැනීමට නම් නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙකේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6ක අපනයන ආදායමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුව තිබේ.
මේ අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව 2025 ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ හා සේවා අංශවල මුළු අපනයන ආදායම ඩො.මි. 1,474.38 ක් විය. එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා කළ ඩො.මි. 1,472.04 හා සැසඳීමේදී සියයට 0.16 ක සුළු වර්ධනයකි. එහෙත් 2025 සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී එය සියයට 2.2ක වර්ධනයකි.
“ඔක්තෝබර් මාසයේ කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත් බව, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරගකාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගවල අඛණ්ඩ ඵලදායීතාව අවධාරණය කරයි.” අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් 2025 ඔක්තෝබරයේ දී ඇඟලු‍ම් සහ රෙදිපිළි අපනයනය 2024 ඔක්තෝබරයේ දී වාර්තා කළ ඩො.මි. 430.21 ට සාපේක්ෂව ඩො.මි. 429.17 ක් දක්වා සියයට 0.24 කින් පහත වැටී තිබේ. එසේම තේ අපනයන ආදායම ඩො.මි. 126.81 සිට 126.55 ක් දක්වා සියයට 0.21 කින් ද, රබර් ආශ්‍රිත නිෂ්පාදන ඩො.මි. 84.69 සිට 80.12 ක් දක්වා සියයට 5.40 කින් ද පහත වැටී තිබේ. කුළුබඩු සහ සාන්ද්‍රික නිෂ්පාදන ඩො.මි. 51.30 සිට 38.39 ක් දක්වා සියයට 25.17 කින් පහත වැටී තිබේ.

එහෙත් පොල් ආශ්‍රිත නිෂ්පාදන ඩො.මි. 77.26 සිට ඩො.මි. 123.97 දක්වා සියයට 60.46 කින් වර්ධනය වී තිබේ. එසේම දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ඩො.මි. 30.93 සිට 39.20 ක් දක්වා සියයට 26.74 කින් ඉහළ නැග ඇත. සැකසූ ආහාර පාන වර්ග ද ඩො.මි. 59.29 සිට 71.25 ක් දක්වා සියයට 20.17 කින් ඉහළ නැග තිබේ.
මේ අතර ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වැඩිම අපනයන වටිනාකමක් සිදු කර ඇත්තේ එක්සත් ජනපදය වෙතයි. එහි වටිනාකම එක්සත් ජනපද ඩො.මි. 2,498.04 කි. එය පසුගිය වසරේ වාර්තා කළ ඩො.මි. 2,432.78 හා සැසඳීමේදී සියයට 2.68 ක වර්ධනයකි. එසේම ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර එම අපනයන වටිනාකම පසුගිය වසරේ වාර්තා කළ ඩො.මි. 726.57 සිට 866.90 ක් දක්වා සියයට 19.31 කින් ඉහළ නැග තිබේ. මීට අමතරව තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් රාජධානිය වෙත සිදුකළ අපනයන ඩො.මි. 765.67 සිට 792.10 ක් දක්වා සියයට 3.45 කින් ඉහළ නැග තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව සිය භාණ්ඩ අපනයනය කරන ප්‍රධානතම ගමනාන්ත 15ට කළ අපනයන ආදායම 2024 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයට සාපේක්ෂව මේ වසරේ එම කාලසීමාවේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් වාර්තා කර තිබීමත් විශේෂත්වයකි. එහිදී හොංකොං වෙත සියයට 57.72කද, ඉරාකයට සියයට 30.15 කද, එක්සත් අරාබි එමීරයට සියයට 23.45කද වර්ධනයක් සටහන් කර තිබේ.
කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපදයට කළ අපනයනයේ ආදායම සියයට 0.46 කින්ද, ඉන්දියාවේ ආදායම සියයට 10.03 කින්ද, එක්සත් රාජධානියේ ආදායම සියයට 5.38 කින්ද අඩු වී තිබේ. එසේම ඔස්ට්‍රේලියාවට කළ අපනයනයේ ආදායම ද සියයට 7.85කින් පහත වැටී තිබේ. එහෙත් හොංකොං, එක්සත් අරාබි එමීරය, නෙදර්ලන්තය, ඉතාලිය, ඉරාකය සහ චීනය යන රටවලට ඔක්තෝබරයේ දී කළ අපනයනයේ ආදායම් පිළිවෙළින් සියයට 47.51 කින්, සියයට 42.41 කින්, සියයට 27.04 කින්, සියයට 24.93 කින්, සියයට 24.25කින් සහ සියයට 15.68 කින් ඉහළ නැග තිබේ.

 



අදහස් (0)

අපනයන ඉලක්කයෙන් සියයට 80ක් සපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site