රෙහානා තෞෆීක්


  • එක් වරායකට එක් සිමෙන්ති කර්මාන්තශාලාවක් ප්‍රතිපත්තිය තරගකාරීත්වයට හානියක්
  • රටේ ප්‍රධානම ටයිල් සමාගම් තුන එකම හිමිකරුවා යටතේ පැවතීමේ ඒකාධිකාරය ගැටලුවක්

භානුක අමරසිංහ


නිවාස ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු අනෙකුත් උපාංග සම්බන්ධයෙන් ක්‍රියාත්මක තීරු බදු සහ පැරා තීරු බදු ඇතුළු අනිසි ප්‍රතිපත්ති සහ ඒකාධිකාරය හේතුවෙන් ඒ සඳහා වන වියදම දරාගත නොහැකි මට්ටමින් ඉහළ ගොස් තිබෙන බව අරුත පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි. 

ඒ අනුව මෙම ප්‍රතිපත්ති වෙනස් කිරිම හරහා මෙන්ම සමාගම් අතර පවතින ඒකාධිකාරය ඉවත් කිරිම මගින් ජනතාවගේ නිවාස ඉදිකිරීමේ උත්සාහයට යම් සහනයක් ලබාදිය හැකි බව එම ආයතනය පවසා සිටියි. පසුගියදා කොළඹදී පැවැත්වුණු ResetNow සංවාද අවස්ථාවේදී අදහස් දක්වමින් එම ආයතනයේ සම නිර්මාතෘ රෙහානා තෞෆීක් මෙම කරුණු සඳහන් කළාය.

“ගෙයක් හදන කොට අවශ්‍ය සිමෙන්ති, ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ගත්තොත් වෙළෙඳපොළේ ඉන්නේ තරගකරුවන් දෙන්නයි, නැත්නම් තුන්දෙනයි. එතැනදී එක වරායකට පැවතිය යුත්තේ එක සිමෙන්ති ෆැක්ටරියක් විතරයි කියන 2013 වසරේ ඇති කළ ප්‍රතිපත්තිය බලපාලා තිබෙනවා. ඒ කියන්නේ අලුතින් සිමෙන්ති කර්මාන්තශාලාවක් එන්න නම් අලුතින් වරායක් ඇති කරන්න වෙනවා. අලුත් කර්මාන්තශාලාවකට එන්න අවශ්‍ය වුණත්, ආයෝජනයකට හැකියාව තිබුණත් මේ ප්‍රතිපත්තිය නිසා ඒක කරන්න බැහැ.“

එසේම ටයිල් වෙළෙඳපොළ ගත් විට ලංකාවේ ප්‍රධානම ටයිල් සමාගම් තුන එකම හිමිකරුවා යටතේ පැවතීම නිසා ඇතිව තිබෙන ඒකාධිකාරය හේතුවෙන් තරගකාරී මිලකට ටයිල් ලබාදීමේ හැකියාව අහිමි වී ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.

“ඇලුමිනියම් වෙළෙඳපොළ ගත්තත් ප්‍රධානම සමාගම් දෙකේ හිමිකාරීත්වය තියෙන්නේ එකම පුද්ගලයකුගේ සමාගමකට. යකඩ වෙළෙඳපොළ ගත්තත් එක සමාගමට සියයට 50ක වෙළෙඳපොළ හිමිකාරීත්වයක් තිබෙනවා. මේ කාරණා නිසා තරගකාරී මිලකට ඒ නිෂ්පාදන වෙළෙඳපොළට එන්නේ නෑ.“

මීට අමතරව ටයිල් අලෙවියේදී එම ටයිල් ඇලවීමට වඩාත් සුදුසු ග්‍රවුට් ඇතුළු නිෂ්පාදන ලෙස අදාළ සමාගමේම නිෂ්පාදන සිල්ලර අලෙවිකරුවන් විසින් පාරිභෝගිකයන්ට හඳුන්වාදීමත් මෙම ඒකාධිකාරයේ තවත් එක් අවස්ථාවක් බව ඇය පෙන්වා දුන්නාය.

“තිරු බදු ප්‍රතිපත්ති ගැන බැලුවොත්, සිමෙන්ති ලංකාවේත් නිෂ්පාදනය කරනවා, ආනයනය කරලා පැකට් කරලා අලෙවි කිරිමත් සිදු කරනවා. ඒ දෙක අතරේ සංසන්දනය කළොත්, සිමෙන්ති නිෂ්පාදනය කරන්න යොදා ගන්නා ක්ලින්කර් ආනයනය කරන්න රේගු බද්ද සියයට 0යි. වරාය සහ ගුවන් තොටුපොළ බදු (PAL) සියයට 6යි, සෙස් බද්ද සියයට 0 යි. නිමි සිමෙන්ති ලංකාවට ආනයනය කරන කොට රේගු බද්දක් නැහැ, PAL එක සියයට 10 යි, සෙස් බද්ද කිලෝ එකකට රුපියල් 7 ක් අය කරනවා. මේ වර්ග දෙකටම වැට් බද්ද සියයට 18ක් සහ සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළත්.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, “ටයිල් නිෂ්පාදන ගත්තොත් ටයිල් හදන්න සිලිකා, කෙඔලින්, සිලිකා, ෆෙල්ස්පාර් කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ අතරින් ෆෙල්ස්පාර් ආනයනයට රේගුබද්ද සියයට 10ක්, PAL සියයට 10 ක් සහ සෙස් බද්ද සියයට 6ක්. ඒත් නිමි ටයිල් කැටයක් ආනයනය කරන්න රේගුබද්ද සියයට 20ක්, PAL සියයට 10ක් සහ සියයට බද්ද සියයට 20ක්. නානකාමර කට්ටල ගත්තොත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න බදු ටයිල් සඳහා පැනවූ බද්දමයි. ඒත් නිමි නිෂ්පාදන ගත්තොත් රේගු බද්ද 20ක්, PAL එක සියයට 10ක් සහ සෙස් බද්ද කිලෝවකට රුපියල් 50ක් වෙනවා.“ යනුවෙන්ද සඳහන් කළාය.

විශේෂයෙන්ම රජය සඳහන් කරන ආකාරයට මෙම බදු පැනවීම දේශිය නිෂ්පාදකයන් ආරක්ෂා කරගැනීම අරමුණු කරගනිමින් පනවා තිබෙන නමුත්, මෙම ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රටෙහි ජනතාවට අඩු මිලට නිවාස ඉදිකරගැනීමේ අවස්ථාව අහිමි කර ඇති බවත් ඇය මෙහිදී පවසා සිටියාය.