IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අනුරපුරේ අඹ වෙළෙඳාමේ රස, නීරස

  • විලාඩ්, කරතකොලොම්බං, පොල් අඹ තමයි පාරේ විකුණන්නේ
  • කරතකොලොම්බං කිලෝ එක රැපියල් 300 යි
  • අනිත් අඔ කිලෝ එක රුපියල් එකසිය පනහට දෙන්නේ
  • ටොම් ජේ.සී. පාරේ තියාගෙන විකුණන්න බෑ
  • ඉස්සර වගේ වෙළෙඳාමක් දැන් නෑ
  • අස්වැන්නෙන් වැඩි හරියක් කුණුවෙලා අපතේ යනවා
  • අටමස්ථානේ වඳින්න පිටින් එන අය තමයි අපෙන් අඹ ගන්නේ
  • ලෝකෙම අඹ ප්‍රභේද 30 ක් විතර තියෙනවා
  • ලංකාවේ වැඩිම අඹ වගා කරන්නේ කුරැණෑගල, මොණරාගල, අනුරාධපුරය සහ යාපනේ 
  • මෙරට අඹ වගා වපසරිය හෙක්ටයාර් විසිපන්දහස ඉක්මවනවා

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය පලතුරක් වන “අඹ” එහි ඇති රසය හා ප්‍රසන්න සුවඳ හේතුවෙන් සුවිශේෂි බවක් දක්වයි. වසරකට ප‍්‍රධාන වශයෙන් කාල පරිච්ඡේද දෙකකදී මෙරට තුළ අඹ අස්වනු ලැබේ. එනම් මැයි සිට ජූනි දක්වාත් නොවැම්බර් සිට ජනවාරි දක්වාත්ය. වර්තමානය වන විට වාණිජ අඹ වගාව හේතුවෙන් මෙම කාලවල යම් වෙනසක් ද දැකිය හැකිය. මෙපරිද්දෙන් ලැබෙන්නා වූ අස්වනු කල් තබාගැනීමේ අපසුතාව, අඹ ආශ්‍රිත අතුරු නිෂ්පාදන සැකසීමට අස්වැන්නෙන් අවම ප්‍රමාණයක් යොදා ගැනීම වැනි හේතු පදනම්ව නිසි මිලකට සිය අස්වැන්න අලෙවි කිරීමට නොහැකි වීමේ වේදනාවෙන් පීඩා විදීමට ගොවීන්ට සිදුවේ. 

විශේෂයෙන් අනුරාධපුරයේ අටමස්ථානය වන්දනා කිරීමට පැමිණෙන පිරිස් ඉලක්ක කර අඹ වෙළෙඳාමේ නිරත පිරිසක් ද වේ. ප්‍රධාන මාර්ගයට යාබදව සකසු කුඩා මඩු තුළට වී ඔවුහු වෙළෙඳාමේ යෙදී සිටිති.

තලාව, මොරගොඩ ගමේ ප්‍රියන්ත කුමාර මහතා මෙකලෙහි සිය වෙළෙඳාමට අත්ව ඇති ඉරණම පිළිබඳව පැවසුයේ මෙවැනි කරුණු පෙළකි.

“මේ ‍වෙළෙඳාමෙන් ලාබ නැතිව නෙමෙයි. හොඳ ප්‍රමිතියට තියෙනවා නම් මිනිස්සු අඹ ගන්න කැමැතියි. බෙහෙත් ගහලා දළු අඹ ඉදෝනවා වගේ දේවල් කරන්න ගියොත් මේ වෙළෙඳාම වැඩි කාලයක් කරන්න වෙන්නෑ. මිනිස්සුන්ගේ විශ්වාසය තියාගත්තොත් දෙයියනේ කියලා වරදින් නෑ. ඒත් එක දිගට වහින්න ගත්තොත් අතින් පාඩුයි. දවස් දෙක තුනකට වැඩිය අඹ තියාගන්න බෑ. ඊට පස්සේ කුණු වෙන්න ගන්නවා. එහෙම ගොඩවල් පිටින් අඹ විසිකරන්න වෙන වෙලාවල් තියෙනවා.” 

අටමස්ථානයට යන මාවතේ අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර, තලාව, මොරගොඩ, තඹුත්තේගම, ගල්ගමුව ආදි නගර ආශ්‍රිතව අඹ වෙළෙඳාමේ නියුතු වෙළෙඳුන් දැකගත හැකිව තිබේ. අව්වත්, වැස්සත් එක සිතින් ගෙන ඔවුහු ජීවිත සටනේ යෙදී සිටිති. වැස්ස වැනි පාරිසරික සාධක, අඹ නෙළීමේ දී සහ ප්‍රවාහනයේ දී සිදුවන පසු අස්වනු හානීය, දිලීර ආසාධන හේතුවෙන් කල් ගතවීමේදී කුණු වීම, අලින්, වඳුරන්, රිළවුන් ආදී සතුන්ගෙන් සිදුවන හානිය වැනි කරුණු හේතුවෙන් අලාභ විඳීමට අඹ වෙළෙඳුන්ට සිදුවේ. 

අඹ වෙළෙඳාමෙන් දිවි ගෙන යන ඩබ්ලිව්.එම්. හේරත් බණ්ඩාර මහතා මෙසේ කරුණු කීවේය. 

“අපිට රිළවුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. පොඩ්ඩ එහේ මෙහේ වෙනකොට විකුණන්න තියෙන අඹ අරන් පනිනවා. රංචු පිටින් එන්නේ. අනිත් එක සවස් වෙනකොට අඹ සුවදට පාර පැනගෙන අලි එනවා. පාරෙන් එහා පැත්තේ අලි වැටක් ගහලා තිබ්බට සමහර වෙලාවට වැට පෙරළගෙන අලි එනවා. සවස් වෙනකොට අඹ ටික ඔක්කොම ආයෙත් ගෙදරට අදින්න ඕන. නැත්නම් අඹ සුවඳට අලි එනවා. සැරෙන් සැරේ අඹ එහේ මෙහේ ගෙනියන්න වුණහමත් අඹ තැලෙනවා. පොඩි වෙනවා. ඔය විදිහේ ප්‍රශ්නත් එක්ක මේ වෙළෙඳාම කරන්නේ.” 

අඹ වෙළෙඳාමේ රස, නීරස පිළිබඳව අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර ශ්‍රියාලතා රත්නායක මහත්මිය මෙසේ අදහස් දැක්වුවාය. 

“මෙතැනින් කවුරු හරි කෙනෙක් ගියොත්නේ අපිත් කීයක් හරි හොයාගන්නේ. ගොඩක් වෙලාවට පිටින් එන මිනිස්සු තමයි අපෙන් අඹ ගන්නේ. මෙහේ අයට ඒ අයගේ වතුවල හදපු අඹ තියෙනවනේ. අපිත් අඹ ගන්නේ මේ අහල, පහළ වතුවලින්. නැත්නම් තඹුත්තේගම මාකට් එකෙන් ගේනවා. මොනව වුණත් ඉස්සර වගේ වෙළෙඳාමක් නෑ දැන්. මට හිතෙන්නේ මිනිස්සු අතේ සල්ලි නෑ.” 

ජන විශ්වාසයන්ට අනුව අඹ ගසක් නිවස ඉදිරිපිට රෝපණය කිරීම සුබදායක යැයි පිළිගැනේ. “පොල් අඹ”, “කර්ත කොලොම්බම්”, “මී අඹ”, “කොහු අඹ”, “විලාට්” ආදී වශයෙන් අඹ වර්ග රැසක් මෙරට දක්නට ලැබේ. 2000 වර්ෂය වන විට ශී‍්‍ර ලංකාවේ අඹ ව්‍යාප්තිය හෙක්ටයාර් විසිපන්දහස ඉක්මවා ඇති බව සංඛ්‍යාලේඛන වාර්තා මගින් පෙන්වාදී තිබිණි. ඉන් සියයට 30 ක පමණ වගාවකට දායක වී ඇත්තේ කුරුණෑගල, මොණරාගල, අනුරාධපුරය හා යාපනය ආදි දිස්ති‍්‍රක්කවලිනි. ලංකාවේ කඳුකර ප්‍රදේශවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම පාහේ ගෙවතු වගාවක් ලෙස අඹ බහුලව දක්නට ලැබේ. “ටොම් ජේ.සී.” වැනි අඹ ප්‍රභේදයක නැගීමත් සමග වියළි කලාපය තුළ වාණිජ වගාවක් ලෙස ද අඹ ජනප්‍රිය වෙමින් පවතී. 

අඹ වෙළෙඳාමේ නියුතු ශ්‍රාවස්තිපුර අයි.එම්. ධර්මසේන මහතා සිය ජීවන වෘත්තිය පිළිබඳව කරුණු පැහැදුවේ මෙපරිද්දෙනි. 

“මේ පාර හැමතැනකම වගේ අඹ හැදිලා තියෙනවා. ඒත් අස්වැන්නේ වැඩි හරියක් අහක යන එක තමයි සිද්ධ වෙන්නේ. අපි විකුණන්න අරන් එන ඒවාත් දවස් දෙක තුන යනකොට විකුණ ගන්න බැරිවුණොත් කුණුවෙලා අහක යනවා. විලාට්, කරතකොළොම්බං, පොල් අඹ වගේ ඒවා තමයි අපි විකුණන්නේ. කරතකොලොම්බං කිලෝ එක රුපියල් තුන්සීයක් විතර වෙනවා. අනිත් ඒවා කිලෝ එක රුපියල් එකසිය පනහ ගානේ තමයි විකුණන්නේ. ටොම් ජේ.සී. වගේ අඹ අපිට ගෙනැල්ලා විකුණන්ඩ බෑ. මිල වැඩි හින්දා විකුණෙනවා අඩුයි.” 

අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ ප්‍රභේද 30 ක් පමණ ලෝක මට්මින් ඇති බව සඳහන් වේ. ඉන්දියාව ලොව විශාලතම අඹ නිෂ්පාදකයා ලෙස සැලකේ. 2004 වර්ෂයේ දත්ත වාර්තාවලට අනුව වර්ග කිලෝමීටර 16,000 ක හෙවත් ආසන්න වශයෙන් හෙක්ටයාර් දහසය ලක්ෂයක අඹ වගාකර ඉන්දියාව වාර්ෂිකව ටොන් මිලියන දහයකට වැඩි අඹ අස්වැන්නක් ජනනය කරන වග සඳහන්වේ. එය සමස්ත ලෝක අඹ නිෂ්පාදනයෙන් සියයට 57 ක් ලෙස ද සැලකේ. මේ හැරුණු විට චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, මෙක්සිකෝව, පිලිපීනය, ඉන්දුනීසියාව, නයිජීරියාව, බ්‍රසීලය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් ලෝක අඹ නිෂ්පාදනයෙහි පුරෝගාමීන් සේ සැලකේ. 

දේශීය පරිභෝජන අවශ්‍යතාවට සරිලන අන්දමේ අඹ අස්වැන්නක් ලැබීමට තරම් මෙරට වගාව ප්‍රමාණවත් වී තිබේ. එහෙත් අඹ වෙළෙඳාමේ නියුතු මේ කුඩා වෙළෙඳුන් පවසනුයේ මෙකලෙහි සිය ආදායම පහත වැටී ඇති බවය. 

අනුරාධපුර, ශ්‍රාවස්තිවත්ත ප්‍රදේශයේ ඒ. මහින්ද” මහතා මෙසේ අදහස් දැක්වූවේය.

“සමහරු ඉදරුවන්ගේ ආසාවට අඹ ගෙඩි ටිකක් ගන්නවා. නැත්නම් ඒකත් නෑ. මං නම් පුළුවන් තරම් අඩුවට තමයි අඹ විකුණන්නේ. මේවා අපේ වතුවලින් කඩාගන්න හින්දා අඩුවට දෙන්න පුළුවන්.” 

මේ අන්දමින් සැලකිය යුතු පිරිසකගේ ජීවනෝපායට මග සලසන, ආයුර්වේදයට අනුව බුද්ධිය වර්ධනය වන, සම පැහැපත් කරවන, ශරීර වර්ධනයට සහාය වන, ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් පිළිකා සෑදීම වළකන, හෘදයට ද මනා සේ හිතකර මෙරට වාර්ෂික අඹ ඵලදාවෙන් තවදුරටත් නිසි ඵල නොලැබීම ගැටලු‍ සහගත වී තිබේ. රසවත් පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් ඔබ්බට ජෑම්, පාන වර්ග, චට්නි, අච්චාරු ආදි අතුරු නිෂ්පාදන කෙරෙහි ඇති නැඹුරුව විධිමත් නොවීමෙන් වාර්ෂිකව අපතේ යන අඹ අස්වනු ප්‍රමාණය සුළුපටු නොවන බව නිරීක්ෂණය වේ. මේ වෙළෙඳුන් ගේ කතා ඇසුරෙහි හෙළිදරව් වනුයේ මේ ක්‍රියාවලියේ තවත් එක් පැතිකඩක් පමණකි. 



අදහස් (0)

අනුරපුරේ අඹ වෙළෙඳාමේ රස, නීරස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 849 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site