IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අත්යන්ත්‍ර පේෂකර්මය ශ්‍රීලංකාව තුන්වැනි ලෝකයෙන් දෙවැනි ලෝකයට

 
චිත්‍රාන් ගමගේ
 
රෙදිපිළි නිෂ්පාදනය ගැන ශ්‍රී ලංකාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. මීට වසර විසිහත් දහසකට පෙර දකුණු පළාතේ නිපදවූ කපු සාටකයක් පළඳවා මහා සම්මත මනු රාජාභිෂේකය සිදුකළ බව වර්ගපූර්ණිකාවේ සඳහන්ය. මීට වසර 5000 කට පෙර රාවණගේ මාලිගය අලංකාර කපු පිළියෙන් විචිත්‍රවත් කර තිබූ බව රාමායණයේ සඳහන් වේ. මීට වසර 2500 කට පෙර විජය කුමරු ලංකාවට ගොඩබසින මොහොතේ ලාංකික කාන්තාවක වූ කුවේණිය රෙදිපිළි නිෂ්පාදනයේ යෙදී සිටි බැව් මහාවංශයේ සඳහන්ය.
 
 1970/77 සිරිමා බණ්ඩාරනායක රාජ්‍ය සමයේ පැවති දැඩි ආනයන පාලන ප්‍රතිපත්ති යටතේ පිටරටින් රෙදිපිළි ගෙන්වීම තහනම් කරන ලදී. මේ හේතුවෙන් රටේ රෙදිපිළි අවශ්‍යතාව සියයට 100 ක්ම දේශීයව නිපදවන්නට ශ්‍රී ලංකාවාසීන්ට සිදුවිය. මේ ඉලක්කය සපුරාලීමට වැල්ලවත්ත, තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ, මාතර, හිඟු‍රක්ගොඩ, කුරුණෑගල යන ප්‍රදේශවල මහා පරිමාණ බලවේග පේෂ කර්මාන්තශාලාත් රටේ නොයෙකුත් ප්‍රදේශවල කුඩා ප්‍රමාණයේ බලවේග පේෂ කර්මාන්තශාලා 70 ක්ද අත්යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථාන 1500 ක් පමණ ද ගෘහස්ථ අත්යන්ත්‍ර 80,000 ක් පමණ ද ක්‍රියාත්මක විය.
 
කපු වගා කර කපු පුළුන් නිෂ්පාදනය ද එමගින් යාන් නූල් නිෂ්පාදනය ද රට තුළ සිදුවූ අතර අඩුපාඩුව ඉන්දියාවෙන් ගෙන්වන ලදී.
 
1977 න් පසු හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ රෙදිපිළි ආනයනයට අවස්ථාව ලබාදීම නිසා ලංකාව තුළ රෙදි නිෂ්පාදනය බිඳවැටුණු අතර කපු වගාව ආදිය ද නතර විය.
2023 සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ රැකියා නොකරන කාන්තාවන් හැටතුන් ලක්ෂයක් (6.3 million) සිටී. ගෙදරදොරේ, දූ දරුවන්ගේ මවුපියන්ගේ වැඩ කටයුතු හේතුවෙන් මොවුන්ට නිවසෙන් පිටත රැකියාවකට යාමට අවකාශ නැත. මොවුන්ගෙන් වාර්ෂිකව අපතේ යන මිනිස් පැය බිලියන 19 ක් (19,000,000,000 Man hrs) පමණ වේ. 
 
මා ඇඟලු‍ම් කර්මාන්තශාලා කිහිපයක් කරන සමයේ මා හමුවට ආ කාන්තාවෝ බොහොමයක් ඔවුනට නිවසේ සිට මුදල් උපයාගත හැකි යම් වැඩ ඇත්දැයි මගෙන් විමසූහ. ඔවුන්ගෙන් සමහරක් රජයේ සේවයෙන් විශ්‍රාම ගිය අය වූ අතර බොහොමයක් විවාහ වී තම දූ දරුවන්ගේ සහ මවුපියන්ගේ වැඩ කටයුතු කරමින් සිටින බැවින් වෙනත් රැකියාවක් සඳහා නිවසින් පිට යාමට හැකියාවක් නැති අය වූහ. ඒ යුගයේ මා ඔවුනට දුන් සමහරක් ඇඳුම්වල ඇති සීකුවින්ස් ඇල්ලීම වැනි කුඩා විසිතුරු වැඩ ඉතා උනන්දුවෙන් කර අප ආයතනයට ගෙනවිත් භාරදී ඔවුන් යම් මුදලක් උපයාගත් අතර එයින් ඔවුන්ගේ ජීවිතයට ද යම් ආලෝකයක් වැටෙනු මම දුටුවෙමි. මාගේ එක කර්මාන්තශාලාවක් ආශ්‍රිතව 250 කට වඩා අය මෙම කටයුතුවල යෙදී සිටි අතර තවත් බොහෝ පිරිසක් එවැනි වැඩ ලබාගැනීමට කැමැත්තෙන් සිටියහ. යළිත් අත්යන්ත්‍ර පෙෂ්කර්මය ගෘහාශ්‍රිතව ආරම්භ කිරීමට වැඩපිළිවෙළක් යෙදුවහොත් ඒ සඳහා ඉදිරිපත් වීමට කාන්තාවන් අතිවිශාල ප්‍රමාණයක් සිටින බවත් එයින් රටට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි බවත් නිසැකවම කිව හැක. පහත දැක්වෙන්නේ ඒ සඳහා වූ සංක්‍ෂිප්ත විස්තරයකි.
 
ක්‍රියාවලිය සරල හා ස්වාභාවිකත්වයට ඉතා ළං වූ, අත්යන්ත්‍ර රෙදිපිළි කෙරේ බටහිර ජාතීහු වැඩි කැමැත්තක් දක්වති. මෙයට හේතු වශයෙන් 
පරිසර හිතකාමීභාවය - පරිසර හිතකාමී සුරක්ෂිතභාවය පිළිබඳ බටහිර රටවල් දැඩි අවධානයක් යොමු කරයි. අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයේදී කෘත්‍රිම රසායනික යෙදීම, විද්‍යුත් යන්ත්‍ර භාවිතය ඉතා අඩු නිසා, මේවා “Sustainable Fashion” (ස්ථායී විලාසිතා) යටතට ගැනේ.
අද්විතීය හා සීමිත සංස්කරණ - යාන්ත්‍රික රෙදිවලට වඩා, අත්යන්ත්‍ර රෙදිවලට අද්විතීය රටා, අලු‍ත් අත්දැකීම් තිබේ. ඔවුන්ට මෙවැනි මහා පරිමාණ නොවන නිෂ්පාදන ගැන විශේෂ ආකර්ෂණයක් තිබේ.
 
ආචාර සම්පන්න නිෂ්පාදන ගැන කැමැත්ත - අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන බොහෝ විට කුඩා ගෘහස්ථ කාර්මිකයන්ගේ කම්කරුවන්ගෙන් නිකුත් වන නිසා, එය සදාචාරාත්මක පාරිභෝජනවාදය (Ethical Consumerism) සමග ගැලපේ.
සංස්කෘතික හා කලාත්මක වටිනාකම - ඔවුහු ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය වැනි රටවල සංස්කෘතික සම්ප්‍රදාය ගෙන එන අත්යන්ත්‍ර රෙදිවල විශේෂ කැමැත්තක් දක්වති.
ස්වභාවිකත්වයට ඇති රුචිය - මේවා කපු, ලිනන්, සිල්ක් වැනි නූල්වලින් හදන නිසා, සමට හිතකරය. කාලගුණයට ද ගැලපේ. යන්ත්‍රවලින් නිපදවන සින්තටික් රෙදිවලට වඩා මෙය ස්වාභාවික හැඟීමක් ගෙන එයි.
 
Luxury & Handmade Appeal – “Handmade” කියන වචනයම luxury, quality, artistry කියන අදහස් සමග යන නිසා, බොහෝ විට ඒවාට ඉහළ මුදලක් ගෙවන්න ඔවුන් සූදානම්ය.
ඒ නිසා, යුරෝපය සහ ඇමෙරිකාවේ විලාසිතා වෙළෙඳපොළ මෝස්‌තර හා ත්‍යාග නිර්මාණය (Fashion Markets, Interior Designing, Gift Industry) පිණිස අත්යන්ත්‍ර නිර්මාණ සඳහා ඉහළ ඉල්ලු‍මක් ඇත.
එහෙත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි ආශ්‍රයෙන් නිම කරන ඇඳුම් සඳහා වෙළෙඳපොළ සොයා යාමේ කිසිම ප්‍රවර්ධන කටයුත්තක් මේ දක්වා සිදුකර නැත.
මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට පහත යෝජනා ඉදිරිපත් කරමි.
 
 ප්‍රාථමික පියවර (අධ්‍යයන 
 මෙහෙයුම) කාලය වසර 1 යි 
 
දැනට පවත්වාගෙන යන රජයේ අත්යන්ත්‍ර කර්මාන්තශාලාවක් ඇසුරෙන් යන්ත්‍රයක් නවීකරණය කිරීම. වඩාත් වෙහෙසකර වන්නේ ෂටලය එහා මෙහා යැවීමට අතින් කරන ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය උරහිසට හා බාහුවලට පීඩා ගෙන දෙයි. විද්‍යුත් චුම්භක ත්වරක (Electromagnetic Accelerating) ක්‍රමය මගින් ඉතා අඩු බලශක්ති ප්‍රමාණයකින් කළ හැකි ක්‍රම තිබේ. මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගැනීම කළ හැකිය.
 
මෙවන් යන්ත්‍ර 100 ක් තනා ගැනීම සහ අඩු ආදායම්ලාභී පවුල් 100 ක් එකම ගමකින් තෝරාගෙන එම මැෂින් ඔවුන් අතරේ බෙදා දීම. යන්ත්‍රය ක්‍රියා කරවීම පිළිබඳ මූලික පුහුණුවක් ඔවුනට ලබාදීම. මේ කාලයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීම. නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමට මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ සමූපකාර සමිති ආශ්‍රිතව පිහිටුවීම හා ඒ සඳහා අදාළ නිලධාරීන් පත්කර ගැනීම. 
 
මේ අය හරහා නිෂ්පාදන කටයුතු ආරම්භ කර නිෂ්පාදනය තෝරාගත් වෙළෙඳපොළක් වෙත යොමු කිරීම. 
 
 විමර්ශන කාලය දින 120 
 
මූලික අදියර සඳහා අවශ්‍ය අරමුදල රුපියල් මිලියන එකසිය පනහක් පමණ වනු ඇත. මේ සඳහා අරමුදල් සම්පාදනය රජය කළ යුතු අතර මෙම ආදර්ශ ව්‍යාපෘතිය අවසානයේ යන්ත්‍ර සඳහා වියදම් වූ මුදල බැංකු ණයක් හරහා යන්ත්‍ර ලබාගත් අයගෙන් කොටස් වශයෙන් අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
මෙය හරිත ව්‍යාපෘතියක් හෙයින් යන්ත්‍ර ක්‍රියා කරවන නිවෙස් සඳහා කි.වොට් 3 ක සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කිරීමට කටයුතු යෙදීම. 
ආදර්ශ ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එහි අඩුලු‍හුඬුකම්වලට පිළියම් යොදා ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කළ යුතු වේ. 
අදාළ යන්ත්‍ර නිපදවීම පෞද්ගලික අංශයට භාරදිය යුතු අතර ක්‍රියාවලියට අදාළ වන පරිදි එහි ප්‍රගමනය සැලසුම් කළ යුතුය.
 
දැනට අත්යන්ත්‍ර කර්මාන්තයේ යෙදෙන අයගේ සහායෙන් අලු‍තින් මේ සඳහා ඉදිරිපත් වන අය පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළ යුතු වේ. 
 
 02. පියවර (දේශීය වෙළෙඳපොළ) 
 
මෙම අදියරේදී බලාපොරොත්තු වන්නේ දේශීය ඉල්ලු‍මට සරිලන පරිදි නිෂ්පාදන කටයුතු කිරීමට වැඩපිළිවෙළ සකස් කිරීමයි. පාසල් නිල ඇඳුම්, රෝහල් ඇතුළු සියලු‍ම රජයේ ආයතන සඳහා මෙම රෙදිපිළි භාවිතයට හුරු කළ යුතුය. යුද හමුදා සහ පෞද්ගලික අංශයේ අවශ්‍යතා සඳහා ද හැකි සෑමවිටම මෙම රෙදි භාවිතයට පෙළඹවිය හැකිය. රටේ සියලු‍ අවශ්‍යතා දළ වශයෙන් රෙදි මීටර කෝටි දෙකහමාරක් පමණ වනු ඇත.
මෙම ඉල්ලු‍ම සපුරාලීමට අත්යන්ත්‍ර 6000 ක් ක්‍රියා කළ යුතු වේ.
ලංකාවේ අඩුම ආදායම් ලබන දිස්ත්‍රික්ක වන මුලතිව්, කිලිනොච්චි, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් එකක සියලු‍ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මේ ව්‍යාපෘතියට ගැලපෙන පවුල් 6000 ක් තෝරාගත යුතුය.
 
පෙර සිට පවත්වාගෙන යන අත්යන්ත්‍ර ආයතන නවකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකිය.
අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර තනා දීමට වඩු කාර්මිකයන් හා ස්ථාන තෝරාගත යුතු අතර කාර්යය අධීක්ෂණය කිරීමට නිලධාරීන් පත් කළ යුතුය.
මේ සඳහා අවශ්‍ය යාන් නූල් හා වර්ණක ඉන්දියාවෙන් ගෙන්වීමට කටයුතු කළ යුතුය.
දිස්ත්‍රික්කය තුළ යාන් නූල් ඇතුළු අමුද්‍රව්‍ය ගබඩා කිරීමට ස්ථානයක් සකස් කළ යුතුය.
වෝප් දමා බිම් සකස් කර දීමට අත්යන්ත්‍ර එක ගමකට එක් ස්ථානය බැගින් පිහිටුවිය යුතුය.
 
නිෂ්පාදිත රෙදිවලින් ඇඳ ඇතිරිලි, කොට්ට උර, මේස රෙදි, දොර ජනෙල් රෙදි, මසා ඇසුරුම් කර දීමේ හැකියාව ගැන අසල්වාසී නිවෙස්වලින් සොයා බලා ඒ අනුව කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් දිගුවක් වේ.
පාසල් නිල ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තිර රෙදි, ආදිය මැසීම ද මේ හා සමගාමීව ක්‍රියාත්මක කිරීමෙන් එක් ඡන්ද කොට්ඨාසයකට එක බැගින් රැකියා අවස්ථා 200 ක් බිහි කරන ඇඟලු‍ම් කර්මාන්තශාලාව බැගින් ස්ථාපිත කිරීමේ හැකියාව ද සොයා බැලිය හැක. මේ සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉල්ලා සිටිය හැක. 
අවශ්‍යතාව පරිදි යාන් නූල් වර්ණ ගැන්වීම හා අවශ්‍ය ස්ථානවලට ඒවා බෙදා හැරීමේ ක්‍රමවේදයක් හා ස්ථාන සකස් කළ යුතුය.
මේ සියලු‍ම කටයුතු සම්බන්ධීකරණය, තත්ව පාලනය සඳහා ද මෙම ස්ථානයේ කාර්යාලයක් පිහිටුවිය යුතුය.
දැනට ගම්වල සිටින සංවර්ධන නිලධාරීන් මේ වැඩ කටයුතුවලට එක්කර ගත හැකිය.
 
 03. පියවර - (ගෝලීය අත්යන්ත්‍ර 
 රෙදිපිළි වෙළෙඳපොළ) 
 
2024 වසරේදී ගෝලීය අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන වෙළෙඳපොළේ අගය ඩොලර් බිලියන 65.13 ක් වූ අතර, 2025 සිට 2032 දක්වා තවත් සියයට 9.24 කින් ඉහළ යන බව Fortune Business Insights වාර්තා කරයි. මෙම වෙළෙඳපොළේ ප්‍රධාන කලාප ලෙස Asia Pacific පළමු ස්ථානයට (සියයට 55.77ක්) හිමිව තිබේ. ඒ සමග Europe සහ North America යන ප්‍රදේශ ද ප්‍රතිචාරය හා ඉල්ලු‍මේ වේගවත් වර්ධනයක් දක්වමින් ඉහළ යමින් පවතින බවත් වාර්තාවේ සඳහන් වේ. ඉල්ලු‍මට සරිලන සැපයීමක් නැතිවීමත් කිසිදු ප්‍රවර්ධනයක් සිදුනොවීමත් හේතුවෙන් අත්යන්ත්‍ර රෙදිපිළි ලෝකයේ තවමත් භාවිතය පහත අඩියක පැවතුණත් සැපයීම හා ප්‍රවර්ධනය මත විශාල වශයෙන් දියුණු කරගත හැකි කර්මාන්තයකි. අත්යන්ත්‍ර රෙදිපිළි සියයට 100 ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් මිනිස් ශ්‍රමය මත පදනම්ව පමණක් කරන කර්මාන්තයක් යන වග හා එහි ඇති සනීපවත්භාවය යන කරුණු මෙහි වෙළෙඳ ප්‍රවර්ධනයට බොහෝ සෙයින් උපකාරී වනු ඇත. මෙම රෙදිවල ගුණාත්මකභාවය අතිශය වැදගත් හෙයින් මනා පරිචයකින් යුත් තත්ව පරීක්ෂකවරුන් මේ සඳහා යෙදවිය යුතුය. බොහෝ ව්‍යාපාරිකයන් මේ කටයුත්තට අත නොගසන්නේ මෙහි ඇති සංකීර්ණ ක්‍රියාවලිය නිසාය. එහෙත් පෞද්ගලික අංශයේ සහාය ඇතිව රජය මැදිහත් වී මනා සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමෙන් මෙම ව්‍යාපෘතිය උත්සාහය මත ක්‍රියාත්මක කළ හැකිය.
ලෝකයේ 2024 වසර වනවිට අත්යන්ත්‍ර රෙදිපිළිවලට ඇති ඉල්ලු‍ම වගුවේ දැක්වෙන පරිදි වේ.
මෙම වෙළෙඳපොළට 2023 වසරේ ශ්‍රී ලංකාව සපයා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 943,450 වටිනා අත්යන්ත්‍ර රෙදිපිළි පමණකි. එය ලෝක සැපයුමෙන් එය සියයට 0.0014 කි. 
මෙයට අමතරව අඩු ජනගහනයක් ඇති එහෙත් වැඩි ඒක පුද්ගල ආදායමක් සහිත ලක්සර්ම්බර්ග්, අයර්ලන්තය, මකාඕ, කටාර්, බෘනායි, නොර්වේ, ගයනාව, ස්විස්ටර්ලන්තය වැනි රටවල් සඳහා ද අප කණ්ඩායම් යොදවා ඇනවුම් ලබා ගැනීමට කටයුතු කළ හැකිය.
අවුරුදු 5 ක් ඇතුළත වසරකට ඩොලර් බිලියන 6.5 ක සැපයුමක් අපේක්ෂාවෙන් ගෝලීය වෙළෙඳපොළ සකස් කර ගැනීමට කටයුතු කිරීම මෙම අදියරේ අරමුණයි. මේ නිෂ්පාදන කටයුත්ත සඳහා අත්යන්ත්‍ර 450,000ක් පමණ ක්‍රියාවේ යෙදවිය යුතුය.
 
 04. ව්‍යාපෘති පිරිවැය 
 
මෙම විශාල නිෂ්පාදන ඉලක්කය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, මධ්‍යස්ථාන, විදුලි බලය හා අනෙකුත් යටිතල පහසුකම් සඳහා අවශ්‍ය වන මුදල දළ වශයෙන් රුපියල් බිලියන 300 ක් පමණ වනු ඇත. (USD බිලියනයක්)
 
01. යන්ත්‍ර සූත්‍ර තැනීමට
125,000.00 x 450,000 = රුපියල් 56,250,000,000.00
02. සූර්ය විදුලිබල සම්පාදනය
400,000.00 x 450,000 = රුපියල් 180,000,000,000.00
03. කොට්ඨාස කාර්යාල හා ගබඩා 10,000,000.00 x 331 = රුපියල් 3,310,000,000.00
04. වර්ණ ගැන්වීම් හා සැකසුම් මධ්‍යස්ථාන 10,000,000.00 x 331 = රුපියල් 3,310,000,000.00
05. වාහන = රුපියල් 4,000,000,000.00
06. අමුද්‍රව්‍ය ආනයනය
= රුපියල් 40,000,000,000.00
07. විදේශ ප්‍රවර්ධනය සම්බන්ධ කටයුතු හා වෙනත් වියදම්
රුපියල් 16,440,000,000.00
 
අත්යන්ත්‍ර රෙදි භාවිතයෙන් අපනයනය සඳහා ඇඟලු‍ම් නිෂ්පාදනය කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට සේවක සේවිකාවන් 400 ක් පමණ සේවය කරන ඇඟලු‍ම් කර්මාන්තශාලාවක් පිහිටුවීම අවශ්‍ය වනු ඇත. නිෂ්පාදිත ඇඳුම් ඇසිරීමට පෙර සේදීමට අවශ්‍ය වන හෙයින් එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රෙදි සේදීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පෞද්ගලික අංශයට හැකිවනු ඇත. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විට රටේ ශ්‍රම සම්පතේ අඩුවක් දකින්නට ලැබෙනු ඇති අතර ශ්‍රමය විදේශ රටවලින් ගෙන එන්නට සිදුවිය හැකිය. ඇඟලු‍ම් නිෂ්පාදන කටයුතු පෞද්ගලික අංශයට භාරදිය යුතු අතර ගැනුම්කරුවන් සොයාදීම මෙම ව්‍යාපෘතියේ කොටසකි. පෞද්ගලික ඇඟලු‍ම් කර්මාන්තශාලාවලට අවශ්‍ය රෙදි මෙම ව්‍යාපෘතියෙන් ලබාගත යුතුය. මේ සඳහා පැහැදිලි අණ පනත් සම්මත කරගත යුතුය.
 
 05. නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය 
 සපයා ගැනීම 
 
යාන් නූල් සපයන ප්‍රධාන මූලාශ්‍ර
 
01. දේශීයව
 
ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ යාන් නිෂ්පාදන කර්මාන්තශාලා ඇතත්, නිෂ්පාදනය සීමිතය.
කර්මාන්ත අමාත්‍යාංශය හා වයඹ, කුරුණෑගල, ගම්පහ වැනි කලාපවල කුඩා නිෂ්පාදනයන්ගෙන් යාන් නූල් සපයයි.
1970/77 සමයේ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කපු වැවීම කළ අතර ඒවායින් නූල් සකස් කිරීම ද කරන ලදී. ලෝකයේ ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු කපු නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාවේය. සේද කර්මාන්තය ද ස්වල්ප වශයෙන් කරගෙන ගියේය. මෙම වැඩසටහනට සමගාමීව යළිත් ඒවා ආරම්භ කිරීමට සැලසුම් සකස් කළ යුතුය.
 
02. ආනයනයෙන්
 
බොහෝ විට අත්යන්ත්‍ර කර්මාන්තයට යාන් නූල් ඉන්දියාව, චීනය, පකිස්ථානය, බංගලිදේශය වැනි රටවලින් ආනයනය කළ හැකිය.
මෙය ප්‍රධාන වශයෙන් කොටන් (Cotton Yarn), පොලිඑස්ටර් (Polyester Yarn), ලිනන්, සීල්ක්, විස්කෝස් ආදිය ලෙස ඇත.
යාන් නූල්වල ගුණාත්මකභාවය ගැන ඉතා සැලකිලිමත් විය යුතු හෙයින් මේ පිළිබඳව විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ මේ කර්තව්‍ය කළ යුතුය.
ඩයි වර්ග හා අනෙකුත් ඩිටර්ජන් ඉන්දියාවෙන් ආනයනය කළ හැකිය හැකිය.
 
 06. අරමුදල් සම්පාදනය හා 
 ණය ආපසු ගෙවීම 
 
මෙම ව්‍යාපෘතිය ස්වාභාවික බලශක්තිය හා ස්වභාවික අමුද්‍රව්‍ය හා මිනිස් ශ්‍රමය උපරිමයෙන් යොදාගෙන කරන කටයුත්තක් හෙයින් ආසියානු සංවර්ධන බැංකුවේ හරිත ණය යෝජනා ක්‍රමයකට පහසුවෙන් ඇතුළත් කරගත හැකිය. ලබාගන්නා මුදල වසර හතකින් පමණ ආපසු ගෙවීමට හැකි බව ගණනය කිරීම්වලින් පැහැදිලි වේ. රාජ්‍ය මැදිහත්වීමේ ගාස්තුව ද ලැබෙන අතර රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ යනු ඇත.
 
 07. මෙම වැඩපිළිවෙළ නිසා රට තුළ 
 බලාපොරොත්තු වන වෙනස 
 
දළ ජාතික නිෂ්පාදනය ඉහළ යාමෙන් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගා ගැනීමට හැකිවීම.
නිෂ්පාදනය හේතුවෙන් අයවැය පරතරය ණය ගැනීමකින් තොරව රටේ නිෂ්පාදනයෙන්ම පියවා ගැනීමට හැකිවීම.
රටේ ජනතාව යම් කර්තව්‍යයක නිරතවීම නිසා රට තුළ සාමකාමී පරිසරයක් ඇතිවීම.
ව්‍යාපෘතියට සම්බන්ධ අයගේ අතට මුදල් ගලා ඒමෙන් මිලදී ගැනීමේ හැකියාව ඉහළ යාම නිසා තවත් වෙළෙඳ අවස්ථා රාශියක් ඇතිවීම. මේ හේතුවෙන් රට තුළ වෙනත් ආකාරයේ නිෂ්පාදන ආයතන රැසක් බිහි කිරීමට හැකිවීම.
රටේ ඩොලර් සංචිතය ඉහළ යාම.
 
රැකියා අවස්ථාව නිවසේම වීම නිසා දූ දරුවන් කෙරේ අවධානය වැඩිවීමෙන් යහපත් සමාජයක් ඇතිවීම.
දේශීය බැංකු පද්ධතියේ ප්‍රගමනයක් ඇතිවීම.
 
මේ සියලු‍ කාරණා හේතුවෙන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්වී තුන්වැනි ලෝකයේ රටක් යන ලේබලය ඉවත් වීම. 
 මේ ගැන විස්තරාත්මක ව්‍යාපෘතියක් ජනාධිපතිතුමා වෙත ජනාධිපති කාර්යාලය හරහා මීට මසකට පෙර යැවූ අතර එය ලැබුණු බව මා වෙත දැනුම් නොදුන් අතර පසුව කළ සෝදිසි කිරීමේදී එය ලැබී අස්ථානගතව ඇති බව දැන ගැනීමට ලැබුණි.



අදහස් (0)

අත්යන්ත්‍ර පේෂකර්මය ශ්‍රීලංකාව තුන්වැනි ලෝකයෙන් දෙවැනි ලෝකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site