
සේද සළු වියන සන්නාලියෝ
බුල්නෑව ප්‍රදීප් රණතුංග
සියවස් ගණනක් ඈතට දිවයන මෙරට රෙදි විවීමේ කර්මාන්තය ආරම්භ වී ඇත්තේ ගෘහ කර්මාන්තයක් ලෙසිනි. 1977 න් පසුව විවෘත ආර්ථිකය පැමිණීමත් සමගම විශාල පිරිසකට ජීවනෝපාය අහිමි කරමින් අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය විශාල පසුබෑමකට ලක්වූයේ නිරායාශයෙනි. එහෙත් මෙරට අත්යන්ත්‍ර පේෂකර්මාන්තය සපුරාම ඉන් අභාවයට පත්වුයේ නැත. වර්තමානයේ ද මෙම කර්මාන්තයේ නියැලී සිටින පිරිස සැලකිය යුතු අගයක් බව හඳුනාගෙන තිබේ.
එහෙත් නිසි වෙළෙඳපොළ අවස්ථා නොලැබීම මෙන්ම මෙම කර්මාන්තයේ යෙදීමට අලුතින් පිරිස් සම්බන්ධ නොවීම ආදි ගැටලු හේතුවෙන් සිටින පිරිසද ඉන් ඉවත් වීමේ අවදානමට ලක්ව තිබේ. මේ අන්දමින් මහවැලි එච් කලාපයේ මීගලෑව කොට්ඨාසයේ “පදවිගම” ගම්මානයේ ළඳුන් පිරිසක් අත් යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ යෙදෙමින් සිය පවුලට සවියක් වීමට වෙහෙසෙමින් සිටිති. සිය නිෂ්පාදන සඳහා දීර්ඝකාලීනව පවතින නිසි වෙළෙඳපොළ අවස්ථා නොලැබේවිය යන දෙගිඩියාවෙන් ඔවුහු පසුවෙති.

කර්මාන්තයේ යෙදී සිටින කේ.ජී. නිලන්ති පුෂ්ප කුමාරි මහත්මිය ඒ පිළිබඳව මෙසේ පැවසුවාය.
“අපේ ගමට ඉන්න සංවර්ධන මිස් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ කර්මාන්තෙට අපිව පුහුණු කෙරුවේ. මුලින් පුහුණුවට දොළොස්දෙනෙක් හිටියා. පස්සේ කට්ටිය හයදෙනකුට අඩුවුණා. අනිත් අය මුලින්ම අයින් වුණා. දැන් අපි හයදෙනා කර්මාන්තය කරගෙන යනවා. අපිට රෙදි වියන්න ඕන කරන යන්ත්‍රත් ලැබුණා. දැනට අපි වියන රෙදිවලට ගමෙන් ඉල්ලුමක් තියෙනවා. ඒත් හැමදාම ගමේ අයම අපෙන් රෙදි ගන්නේ නෑනේ. ඉස්සරහට වෙන මොකක් හරි නව වැඩපිළිවෙළක් හදාගන්න වෙනවා.”
විචිත්‍රවත් ඇද ඇතිරිලි, සාරි, කොට්ට උර, අත් පිස්නා, සාළු, සරොම්, චීත්ත රෙදි, ලේන්සු, දොර රෙදි, මේස රෙදි ආදි සේද සළු ඔවුහු නිෂ්පාදනය කරති. මෙම කර්මාන්තයේ ඇති විශාලතම ගැටලුව නම් යම් නිෂ්පාදනයක් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වීමය. නිවසේ කටයුතු, ගෘහනියක, මවක, බිරිදක ලෙස පවුලට ඉටුකළ යුතු යුතුකම් ද සමග ඔවුනට මෙම කර්මාන්තයේ යෙදීමට සිදුව තිබේ.

විවීම අරඹා ඇති රෙද්දක්
ජේ.ඒ. නිලන්ති ජයකොඩි මහත්මිය ඒ පිළිබඳව පැවසුවේ මෙවැනි කරුණුය.
“ගෙදර වැඩත් කරන අතරේ සෑහෙන කාලයක් කැප කරලා මහන්සි වෙලා මේ රෙදි වියන්නේ. එක දිගට මේ වැඩේ විතරක් කරන්න විදිහක් නෑ. අනිත් වැඩත් කරන අතරේ තමයි මේ කර්මාන්තේ කරන්නේ. එහෙම කරලත් සාධාරණ ගණනකට රෙදි ටික විකුණ ගන්න බැරිවුණොත් මේ වැඩේ නවත්තලා දාන්න වෙනවා. ඒක තමයි අපිට තියෙන බය. කවුරු හරි අපිට මෙන්න මේ දේවල්වලට රෙදි වියලා දෙන්න කියලා ඉල්ලුවොත් බයක් නැතිව මහන්සි වෙන්න පුළුවන්. නැත්නම් අපේ මහන්සිය විතරක් නෙමෙයි ලක්ෂ ගාණක් වටින මේ යන්ත්‍රයි අනිත් හැමදේමයි අපරාදේ.”
අපනයන සංවර්ධන මණ්ඩලය මගින් 2015 වර්ෂයේ දී අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ශක්‍යතා වාර්තාවක් සකස් කර ඇති බව සඳහන්වේ. එම වාර්තාවට අනුව පෞද්ගලික අංශයේ සුළු හා මහා පරිමාණ කර්මාන්ත 962 ක් රට තුළ ක්‍රියාත්මකව පැවැත ඇති අතර පළාත් සභා අටක් තුළ රජයේ සහාය ඇතිව ආරම්භ වූ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ස්ථාන 771 ක් ඇති බව සඳහන්ව තිබිණි. එහෙත් එයින් කොපමණ ප්‍රමාණයක් අද වන විට ශේෂව තිබේ ද යන්න පිළිබඳව නිසි නිගමනයක් කළ හැකි නොවේ. ඒ බොහෝ කර්මාන්තවලට අත්ව ඇති අභාග්‍යය නම් නිසි වෙළෙඳපොළ අවස්ථා නොලැබීම බවට සැක නැත. එහෙයින්ම පදවිගම සන්නාලියෝ සිය නිෂ්පාදන සඳහා නිසි වෙළෙඳපොළ අවස්ථා උදාකර ගැනීමට සහාය වන ලෙස ඉල්ලීමක් කරති.

එකිනෙක නූල් ගලපා රෙද්දක් නිමවෙන අන්දම
කේ.ආර්. ශ්‍රියාලතා මහත්මිය ඒ පිළිබඳව මෙසේ කීවාය.
“මේ කර්මාන්තේ ටිකක් මහන්සි වෙලා කරන්න ඕන වැඩක්. හැබැයි ඉතිං රෙදි කෑල්ලක වැඩ ඉවර කර ගත්තට පස්සේ ආස හිතෙනවා. ඒත් ඉතිං ආසාවටම මේ කර්මාන්තේ කරන්න බෑනේ ආදායමක් තියෙන්ඩත් ඕනනේ. අපිට මේ වැඩේ හරියට කරගන්න බැරිවුණොත් ආයේ නම් කවුරුවත් මේ කර්මාන්තෙට එකතු වෙන එකක් නෑ. එහෙම වුණොත් මේක නැත්තටම නැතිවෙලා යයි. සමහර ගම්වල මෙහෙම වැඩපොළවල් පාලුවට ගිහිල්ලා තියෙනවා. රෙදි ටික විකුණ ගන්න වැඩපිළිවෙළක් හදලා දෙන්න කියලා ඉල්ලන්නේ ඒකයි.”
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
අතින් වියන සළුවලට නිසි වෙළෙඳපොළක් ඉල්ලන පදවිගම පන්නාලියෝ