(කාංචන කුමාර ආරියදාස)
රුපියල් 55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්කයාය දුෂ්කර ගම්මානයකින් වාර්තා වේ.
ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාර (36) මහතායි. කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට ඇලුම්කමක් දැක්වූ ඔහු මේ වනවිට යතුරුපැදියක එන්ජිමක් යොදාගෙන පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථය නිෂ්පාදනය කර තිබේ.
මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි වේ. විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ මෙය නිෂ්පාදනය කළ බව සිසිර කුමාර මහතා පැවසීය.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඔහු විදුලි කාර්මිකයකු මෙන්ම පෙදරේරු රැකියාවේ නිරතවන්නෙකි. නිවසේ සිටින අවස්ථාවන්හිදී ඔහු විවිධ දෑ නිෂ්පාදනය කරන බව කීය.
මෙම වාහනයේ ගියර්,තිරිංග,විදුලි පහන්,පසුපසට ගමන් කිරීමට ආරක්‍ෂිත බද පටි ආදී වාහනයකට අවැසි සියලු උපාංග මේ ජීප් රථයේ පවතී.
කුඩා කාලයේ හෙළිකොප්ටරයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි එන්ජිමක් උපයෝගී කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔවුහු පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ඉතා ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබේ.
මේ වන විට ධාවන තත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්ෂා කර බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදව් උපකාර කරන්නේ නම් මෙරට තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බව හෙතෙම සඳහන් කර සිටියේය.
ත්‍රිරෝද රථවල යොදන ටයර් සහ ගරාජ් වලින් ඉවතලන විවිධ කොටස් සොයාගෙන ඉදිරිපසට සහ පසුපසට ද ගමන් කිරීම සාමාන්‍ය වාහනයක තත්වයේ පවතී.
මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරීක්ෂා කිරීමට හැකි බවද ඔහු කියා සිටී.
ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වුවද තම ප්‍රදේශයේ පවුල සමඟ ගමන් බිමන් යෑම සිදු කරන බවත් විශාල මුදලක් වියදම් කර විදේශ රටවලින් ගෙන්වන වාහන අතරට සංචාරක කෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සදහා රජයේ සහයෝගය අවැසි බව හෙතෙම පෙන්වා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහය නම් අගය කරනවා. නමුත් මේක මහ ලොකු වැඩක් නම් නෙවේ. නමුත් ලංකාව වගේ ආර්ථික අපහසු ඇති දුප්පත් රටක තරුණයෙක් නව නිර්මාණ සඳහා හිත යොමු කිරීම අගය කළයුතු කාරණාවක්... නමුත් අද ලෝකයේ අන්තර්ජාලය හරහා සන්නිවේදනය වෙන තාක්‍ෂණික දැනුමත් එක්ක මේක බොහොම ප්‍රාථමික වැඩක්... ඔය තරුණයාට වෙන්නේ ඕක ගෙදර තියාගෙන බලබල ඉන්න තමයි. මොකද ඔය තරුණයාට තාක්‍ෂණික දැනුම දීලා උඩට ගන්න කෙනෙක් එන්නේ නෑ. ඒක විශ්වාසයි. අනික තමා මොනවද මේ ජීප් රථ කියන්නේ. ජීප් කියන්නේ වාහන වර්ගයක් හරියට නිසාන් ටොයෝටා වගේ. ජීප් කියලා එක එක මාදිලියේ වාහන තියෙනවා..
ඔය සැකිල්ලක් වගේ වාහනය යමක ගැටුණොත් එහි සිටින සියලු දෙනාම පරලොව යන්න ඉඩ තිබෙනවා. අඩුගණනේ එහි ගමන් ගන්න අයගේ හිසට උඩින් පෙරලුණු අවස්ථාවක ආරක්ෂා වෙන්න රාමුවක් තිබෙන්න ඕනේ... නැතිනම් පැත්තෙන් වාහනයක් ගැටී පෙරළුණොත් එහි සිටින අය මතට වැටෙන්න ඉඩ තිබෙනවා. මගේ විවේචනයට කවුරුත් අකමැති වුණත් එ්ක තමයි ඇත්ත. මේ රටේ ඔය වාහනයේ ළමයින් සමග ගමන් කළොත් සිරගෙදර ලගින්න පුළුවනි...
කුහකයින්ගේ අදහස්, උදහස් වලට වැඩිය නූතන මහජනතාව ඔබවැනි අයව අසීමිතව පසසනවා. ඉඳිකට්ටක්වත් හැදෙන්නේ නැති මේ රටට අවශ්‍ය දුර දක්නා නුවණක් තියෙන පාලකයෙක්.., අන්න එදාට ඔබතුමාට සහ අපි හැමෝටම හොඳ කලක් යාවි...
කුමාර සහ ජයා යන දෙදෙනාම කුහකයින්. ඔබ රටටම ආඩම්බරයකි. ඔබගේ නිපැයුමේ පින්තූර සහ විස්තර මයික්‍රෝ, ඩීමෝ අයි.ඩී.එල්. මෝටර්ස් වැනි ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂකවරයකු හමුවෙන්න. අනිවාර්යයෙන් ඔබගේ නිෂ්පාදනයට නියම ඇගයීමක් ලැබෙයි. ඔබට ප්‍රධාන තනතුරකුත් ලැබෙයි. එම කාර්යය වෙනත් අයට පවරන්න එපා. ඔබම කරන්න. දේශපාලුවන් පසුපස යන්න එපා...
ගොල්ෆ් කාට් කියල වාහන මාදිලියක් තියෙනවා .මෙය ඒ ගණයට ඇතුල් කරන්න පුළුවන් . නැතුව ජීප් කියන වාහන වලට සමාන කරන්න බැහැ. මෙය ගොල්ෆ් කාට් වාහන ගණයට ඇතුල් කරලා ලොකු ගොල්ෆ් කොස් වල , විශාල කර්මාන්ත ශාලා ඇතුලේ එහෙමෙහෙ යන්න , සහ පාරක් නොවන ස්ථාන වල ලියාපදිංචියකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් තැන වලට හඳුන්වා දෙන්න හොඳ වාහනයක් බව පෙනෙනවා . එහෙම හඳුන්වා දුන්නොත් මේකේ මිල ගණන් අනුව යම් විප්ලවයක් කරන්න හැකි වේවි . නැතුව ඕක ගෙදර තියාගෙන පාරට දාන්න අවසර ඉල්ලන්න ගියොත් එය නම් මේ වාහනය තියෙන තත්වය අනුව කිසිදා ලැබෙන එකක් නැහැ . ලෝකේ ගොඩක් රටවල මිනිස්සු ඔය වගේ විවිද වාහන නිෂ්පාදනය කරනවා . මම දැක්ක ලඟදි කෙනෙක් ලම්බෝගිනියක් හදල තියෙනවා විදේශ රටක. ඒකට තිරිවිල් එකක් හදන්න යන වියදමවත් ගිහින් තිබුනේ නැහැ . වාහනෙත් පෙනුමයි . කොහොමත් මේ වාහනය ගැන කවුරු කොහොම කිවුවත් මේ තත්වයෙන් නම් ඔය කියන කිසිම කෙනෙක් තම පවුල එක්ක අපේ රටේ පාරක නම් පදින්න කැමතිවෙන එකක් නැහැ . බස් කාරයෝ ටිපර් කාරයෝ , දේශපාලකයෝ යන යාමේ හැටියට මේක වැදුනොත් එහෙම .
මොහු පිළිබඳව විස්තර දෙන්න . මට පුළුවන් මොහුට ගැනුම් කරුවන් සොයාදෙන්න . හැබැයි තව ටිකක් වැඩි දියුණු කරන්න වෙනවා විකුනන්න කලින් . ඒක මට කියල කරගන්න පුළුවන් .
අගය කල යුතු උත්සහායක්. මා අසා තිබෙන පරිදි ලංකාවේ වාහන නිෂ්පාදනය සඳහා අවශ්‍ය යකඩ, ඇලුමිනියම්, තඹ, වීදුරු වැනි මුල ද්‍රව්‍ය නොමැති බැවින් ඒවා ආනයනය කොට, වාහන දේශීයව නිෂ්පාදනයට යන පිරිවැය, ඉන්දියාව, කොරියාව වැනි රටකින් නිම කල වාහනයක් ගෙන්වන පිරිවැයට වඩා වැඩි බවයි. හොඳ උදාහරණයක් නම් ලන්කිංක ඉංජිනේරුවෙක් වන රේ විජේවර්දන නිර්මාණය කල අත් ට්‍රැක්ටරය අවසානයේ නිෂ්පාදන කරේ ජපානයේ.
විශිෂ්ට වැඩක්. ඉන්දියන් හැප්පුනොත් මැරෙන වාහන වලට වඩා මෙය හොදයි. අවස්යවන්නේ සැකිල්ල සක්තිමත් විදිහට ආවරණය කිරීමයි . ලොකු වගාබිම්වල, ගොල්ෆ් පිටිවල මෙයට සමාන වාහන බාවිතා කරනවා. පත්තරේ තියෙන අදහස් වලින්ම පැහැදිලි වෙනවා මිනිසුන්ගේ ඉරිසියාව. දැක්මක් සහිතව ඔබගේ අවසාන අරමුණ කරා යන්න හැකිවේව කියල ප්‍රාර්තනා කරනවා. ඔබට ජය.
ජයා හා කුමාර දෙදෙනාගේ අදහස් අගය කරමි. මෙය තනිකර ගොල්ෆ් රථයක් අනුකරණය කර බොක්ස් බාර් වලින් තැනූ නිර්මාණයක්. හැබැයි ත්‍රි රෝද රථයට වඩානම් ඉතාම හොඳයි. ගොඩක් ලංකාවේ අය ත්‍රි රෝද රථ වල යන අය නිසා මරණ මන්චක වාහන අවුලක් නැහැ වගෙයි අදහස් දැක්කම පෙනෙන්නේ . දිනකට වන අනතුරු වලින් 80% ක් තුන් රෝද නිසා සහ අපරාද වලින් බහුතරයද ඒ හා සම්බන්ධ බව පත්තරයක් අරන් බැලුවම පේනවා. ඉතින් ඒවායේ යන අයගේ අදහස් රටට වැඩක් වෙයිද??
මේ රථයේ නිෂ්පාදක මහතා වෙත, මේක අවසාන නිෂ්පාදනය කියල හිතන්න එපා, මෙය ප්‍රොටෝටයිප් එකක්, තව බොහෝ වෙනස් කම් වෙන්න ඕන, ඔබ වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක් නිසා මෙය ලෝකයේ අනාගත ට්‍රෙන්ඩ් එක අනුවම ගිහින් විදුලි වාහනයක් විදිහට වෙනස් කලොත් වඩා හොඳ වේවි, එහෙමත් නැත්නම් ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන ගමේ ඉඳල පොලට ගෙන යන්න පුළුවන් බර අදින්න පුළුවන් රළු පාවිච්චියට හොඳ වාහනයක් කරන්න, එහෙමත් නැත්නම් ගොවීන්ටම ලාභයට ඉන්ධන නිපදවාගෙන ධාවනය කල හැකි වාහනයක් කරන්න. ඩීසල් වෙනුවට පොල්තෙල්, පෙට්රෝල් වෙනුවට මෙතනොල් වගේ විකල්ප ඉන්ධන යෙදවිය හැකි රථයක් කරන්න, ඔබේ අනාගතය සරුසාර වේවා!
මොරටුව විශ්ව විද්‍යාලට ගෙන ගොස් වැඩි දියුණු කිරීමට අවැසි කටයුතු කරමි මුදල් යොදවමි එපමණය වාද විවාද අවශ්‍ය නොවේ
වැඩක් නෑ, මොකද කවදාවත් මෙයාට මේක ලියාපදිංචි කරන බෑ අනික අරක්ෂිතත් නෑ................
ඔබගේ උත්සාහයට සහ හැකියාවට හිස නමා ආචාර කරම්. මෙන්න හපන්නු අපේ ලොක්කෝ මේ ගැන බලල උදව්වක් කරානම් ඉතාම අඩු ගානට හැමෝටම වාහනයක සිහිනය හැබෑ කරගන්න පුළුවන් . පාටක් පක්ෂයක් නොබල රජයෙන් උදව් කරන්න ඔබට ජය පතමි …...
මේ මනුස්සයා කරපු දේ අගය කරන්න බැරි කුහකයෝ ඉන්න කොට.. මෙහෙම උන් ඉන්න රටක ඉන්න හිතෙනවද ? අනුර පතිරණ වැනි මහත්වරු රටක් වටිනවා..
මොනයම් හෝ දෙයක් නිපදවන්නේ නැති ජාතිය ලෝකයේ පවතින්නේ නැහැ. එම නිසා මොකක් හැදුවත් ඒක අගය කරන්න ඕනේ. වැඩි දියුණු කරන එක පසුව කරන්න පුළුවනි. ලෝකයේ කොයි දේ හැදුවෙත් එහෙම තමයි. ඔය කියන බහුශ්‍රතයා ඉපදෙන කොටම ඇවිද්දද කියලා හොයලා බලන්න...
මේක ලංකාවේ ත්‍රිරෝද රථ වෙනුවට පාවිච්චි කරන්න බැරිද? ටෙන්ට් රෙද්දක් ගහලා තව වැඩිදියුණු කරලා හයිවේ යන්න බැරි වෙන විදිහට අවසර දෙන්න. ත්‍රිරෝද රථයත් මෙයත් බැලුවම මේකේ සැකිල්ලක් තියෙන නිසා හා රෝද 4ක් තියෙන නිසා යම්කිසි ආරක්ෂාවක් තියෙනවා...
55000, මේක හදන්න බැහැ අමාරුයි.., සාමාන්‍ය අදහස් හැකියාවන් තියන බොහෝ දෙනෙක් ඉන්නවා... කිසිම ආණ්ඩුවක් අත දෙන්නේ නැහැ මේ වගේ දේවල්වලට... ඕවා පිටරටවලට පෙන්වන්න කැමති නැහැ. අපේ ගමරාලලා ටික මොකද ණය ගන්න බැහැනේ දියුණු රටක් වුනොත්..
මොහු ඉතා දක්ෂ කාර්මිකයෙක්. කළයුතු දෙය නම්, නවීන මෝටර් රථ ආයතනයකට ශිෂ්‍යත්වයක් ලබාදී මෙරට ආයතනයක නිර්මාණ රැකියාවක් දෙන්නේ ඔහුගේ සේවය ලබා ගන්නමය. රෝදය ලෝකයට නැවත නිර්මාණය කිරීම අනවශ්‍යය. එය ලොවට බිහිවූයේ දශක ගණනාවකට පෙරය...
මේ jaya... එයාගේ හැටි එහෙම තමයි. හරිම නරක කෙනෙක්...
අපේ රටට සහ ජාතියට අත්වී ඇති විනාශය තෙරුම් ගැනීමට ඉහත කොමෙන්ට්ස් කියවා බැලීමම ප්‍රමාණවත් . ලන්කාදීප පුවත්පත ට මාගේ උපහාරය පලමුව . සිසිර කුමාර මහත්මයාණෙනි ජාතිය වෙනුවෙන් සමාවන්න. ලිදේ ඉන්න අපි ලින් කටින්ම ගොඩට ආයුතුවෙමු. මාගේ ඉල්ලීම ඔබ මෙය මුදල් අය නොකරන අන්තර්ජාල දැන්වීම් වල හැකිතරම් පලකරන්න. ඔබට එක බැගින් විකිනිය හැකි බව සහතිකයි. RMV ,ලියාපදිංචි පසුපස කාලය වැය නොකරන්න, මෙය බාවිතා කලහැකි අය ඔබ සොයා එනු නියතය . එම අයට අවශ්‍ය පරිදි ඔබට හැකි වැඩි දියුණු කිරීම් ක්‍රමයෙන් කරන්න. ජය වේවා
හැම එකාම කොමෙන්ට් දාන්නේ නිෂ්පාදකයව අධෛර්ය කරනයි. . ලෑන්ඩ් මස්ටරයෙන් තවමත් ගමනාගමනයේ යෙදෙන අය ඉන්න දුෂ්කර පැති වලට මෙය හොඳ නැත්තේ ඇයි ?. ත්‍රී වීලර් පාරේ දුවනවා නම් මෙය තරමක් දියුණු කර වහල ගසා පාවිච්චිකරන්න බැරි ඇයි ? නමුත් හරි විදිහට " ඇත් පවුර " වැනි ටීවී වැඩසටහනකට සහබාගි වනහැටි දැනගන්න. විශේෂයෙන්ම මයික්‍රෝ වැනි ආයතනයේ අයිති කරු හමුවන්න. ඔහුගේ නිෂ්පාදනය බොහෝ රජයන් මගින් එලි දැක්වීමට ඉඩ දුන්නේ නැහැ මුලින්ම. ඇත්ත තත්වය එයයි.. ඔහු ඔබට උදවු කරනව ඇති. තවත් හොඳ කෙනෙක් තමයි අරවින්ද සිල්වා . දම්මික පෙරේරා. අනිවාර්යයෙන්ම ඔබට කවුරු කෙසේ කමෙන්ට් දැම්මත් ඔබ ඇති දක්ෂයෙකි !. ඔබ නොදන්නා අනාගතයක් ඔබට ඇත .
ඔය ජයා කියන එකාට ජීප් එකක් තියා බසිකලයක් පැද ගන්න බැරුව ඇති
අන්න වැරදුනු තැන... එතකොට රෝද දෙකේ බයිසිකලේ කිසිම ආරක්ෂාවක් තියෙනවද? පෙරලිලා අතපය කැඩෙනවා.. මේකේ රෝද හතරක් තියෙනවනේ බොලන්.. ඔහොම හිතුවොත් හැමදාම මංගච්චන්න වෙන්නේ කොලපතෙන් තමයි..
ඔබේ උත්සාහය ඉතා සාර්ථකයි පසු බසින්න එපා ඔබට කළ හැකි දේ රටට කරන්න අගයන දිනක් එය සුබ පතමි
තට්ටුවකට රෝග හතරක් තියලා මෝලක් තියාගෙන වහානයක් කියන්න පුලුවන් ඕනෑතරම් අය ලංකාවේ ඇති. හැබැයි වාහනේ ප්‍රමිතියක් තියනවා.
සරුංගලයක්වත් හදන්න බැරි අයට නම් මේක මැජික් එකක් වගේ ඇති...
මේකට "ජීප්"කියන නමවත් පාවිච්චි කරන්න එපා.
අතීතයේ ඉඳලා මේ වගේ නිර්මාණවලට අත දුන්නා නම් මේ රට අද මෙතන නොවේ..
මේ කමෙන්ට් දාලා තියෙන හුඟක් දෙනෙක් කාර්මික දැනුම නැති අය... මේ වගේ දෙයක් කාර්මික සහ වෙල්ඩින් ගැන දැනුම තියෙන කෙනෙකුට සාමාන්‍ය දෙයක්. නමුත් මෙහෙම දෙයක් කරනකොට තාක්ෂණ දැනුම ඕනේ කරනවා. මෙතැන කිසිම තාක්ෂණයක් නැහැ. බොක්ස් බාර් ටිකක් කපලා, පාස්සලා පරණ අමතර කොටස් එකතු කර හදලා තියෙන්නේ. සමහරුන්ට කියන්ට පුළුවන් මේක වැඩිදියුණු කරපුවාම හරි කියලා. තමුන්ගේ දරුපවුල එක්ක ආරක්ෂාකාරී විදියට යන්නට නම් මේකට තව ලක්ෂ 10ක් වත් වියදම් කරන්නට වෙයි. මේ වාහනේ මේ පවුලට වටිනවා. රුපියල් 50000ක් ගියා කියලනේ කියන්නේ. නමුත් පාරට දාන්න බැහැ. ජීවිතේට රෙජිස්ටර් කරන්ටත් බැහැ.
අපේ රටේ මේවාට අත දෙන්න අය නැහැ. අලුත් දෙයක් කළොත් ඒක නැතිවෙන්න තමයි වැඩ කරන්නේ.. එ්කනේ අවුරුදු 70 ක් ගිහිල්ලත් එකම තැන. ඉන්දියාවේ නම් ඉතින් මේවට නියම තැන ලැබෙනවා. මේවා දියුණු කළොත් කොමිස් ලැබෙන්නේ නැහැනේ...
උත්සාහය අගය කරනවා. ඒ වගේම මෙහි ඇති නීතිමය සහ ආරක්ෂාව සම්බන්ධ දේවල් ගැන හොයා බැලුවොත් හොඳයි.
මේක හොඳයි තමන්ගේ ගෙවත්තේ සෙල්ලම් කරන්න. එ්කත් බොහොම අනාරක්ෂාකාරියි. හේතුව මෙය පෙරලීමෙන් ආපදාවට ලක්විය හැකියි. තාක්ෂණ දියුණුව කියන්නේ මෙවැනි යකඩ කෑලි අවිද්‍යානුකූලව පාස්සමින් රෝද හයි කරලා ලී කරත්තයක් මෙන් යකඩ කරත්ත සෑදීම නොව අවම වශයෙන් විද්‍යාත්මක දැනුම භාවිතා කරලා රටේ විශ්ව විද්‍යාල තුළින් මෙවැනි නිර්මාණ මතුවීමයි.