දශක හයකට අධික කාලයක් පුරා මෙරට  PVC  කර්මාන්තයේ ප්‍රමුඛයකු වනවන Anton,  සිය පානීය ජල නළ පරාසය සඳහා NSF/ANSI/CAN 61  ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නළ ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත්  ලංකාවේ ප්‍රථම සමාගම මෙය වන අතර, එමගින් මහජන සෞඛ්‍යය සුරැකීමට සහ නිෂ්පාදනවල ඉහළම ආරක්ෂාව මෙන්ම පාරිසරික වගකීම පවත්වා ගැනීමට සමාගම සතු කැපවීම යළිත් සහතික කෙරේ.  
ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් ජාතික සනීපාරක්ෂක පදනම (NSF), ගෝලීය වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත මහජන සෞඛ්‍ය සංවිධානයකි. ආහාර, ජලය සහ පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රවල විවිධ පරාමිතීන් පරීක්ෂාවට ලක් කර, ඒවා දැඩි ආරක්ෂණ සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලද යන්න පරීක්ෂා කර සහතික කිරීම මෙම පදනම මගින් සිදු කෙරේ. ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනය සහ කැනඩාවේ ප්‍රමිති කවුන්සිලය විසින් NSF ආයතනය නිල වශයෙන් පිළිගැනෙන බැවින්, ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ප්‍රමිති ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම ආයතනය සතු සුවිශේෂී අධිකාරී බලය මැනවින් පිළිබිඹු වේ.
NSF/ANSI/CAN 61  සහතිකය හිමිකර ගැනීමෙන් ජාත්‍යන්තරව පිළිගත් ගුණාත්මක සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වෙමින් වඩාත් ආරක්ෂිත මෙන්ම වගකීම් සහගත ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමටAnton  දක්වන දායකත්වය මැනවින් පැහැදිලි වේ. වර්තමාන වෙළෙඳපොළේ පවතින ඇතැම් ජල නළ නිෂ්පාදනය සඳහා සෞඛ්‍යයට අහිතකර ඊයම් සංයෝග භාවිත කරන අතර, ඒවා පානීය ජලය සඳහා භාවිත කිරීම දීර්ඝකාලීනව දරුණු සෞඛ්‍ය ගැටලු‍ ඇති කිරීමට හේතු විය හැකිය. එබැවින්, ජල නළ මිලදී ගැනීමට පෙරNSF  වැනි ජාත්‍යන්තර ආයතනයක සහතිකයක් පවතීදැයි පරීක්ෂා කර බැලීම පාරිභෝගිකයන් සතු  වගකීමකි. 
Anton,  පීඩන නළ නිෂ්පාදනයේදී විෂ රහිත සහ ඊයම්වලින් තොර ස්ථායීකාරක භාවිත කරන අතර, එමගින් පාරිභෝගිකයාට වඩාත් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලබා දීමටත්, ඊයම් විෂ වීමේ අවදානම අවම කිරීමටත් හැකි වී තිබේ. උසස් ප්‍රමිතිය සහ කල්පැවැත්ම ලබා දීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සමාගම දක්වන අඛණ්ඩ කැපවීම, වසර 60කට අධික කාලයක් පුරා ඇන්ටන් සන්නාමය කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Anton  හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු ජයසිංහ මහතා මෙසේ පැවසීය, ”‍මෙමNSF  සහතිකය හිමිකර ගැනීම හරහා අපගේ පාරිභෝගිකයන්ගේ සහ සමස්ත ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන සන්නාමයක් ලෙස ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය උදෙසා අප සතු අඛණ්ඩ කැපවීම මැනවින් පෙන්නුම් කෙරෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ PVC  නිෂ්පාදන ලබා දෙන අතරම, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර අනාගතයක් උදෙසා දායක වීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වන්නෙමු.”‍ 
මෙම සහතිකය හිමිවීම හරහා නිවාස හිමියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ වාණිජමය වශයෙන් නළ භාවිත කරන්නන් Anton  සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන අතර, එය සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලීන්හි ප්‍රමිතිය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් ලෙස ද ක්‍රියා කරයි.  මෙම ජාත්‍යන්තර පිළිගැනීමත් සමග වඩාත් ආරක්ෂිත ඉදිකිරීම් පරිසරයක් ගොඩනැගීමට ඇති කැපවීමAnton   තවදුරටත් ඉහළ නංවන අතර, වගකීම් සහගත නායකත්වය හරහා කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ද පෙරමුණ ගෙන සිටී.