ඔස්ට්‍රේලියානු ජෙට්ස්ටාර් (Jetstar  ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු සෘජු, අඩු පිරිවැය ගුවන් ගමන් සේවාව නොබොදා ආරම්භ කරන ලදී. ඒ අනුව ඔවුන්ගේ මංගල ගුවන් යානය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අතර, කොළඹ සිට මෙල්බර්න් බලා පිටත්වන පළමු ගුවන් යානය ඉන් සුළු වේලාවකට පසු ගමන් ආරම්භ කළේය.

සතියකට දින තුනක් ක්‍රියාත්මක වන මෙම නව ගුවන් ගමන් සේවාවෙන්, කොළඹ සහ මෙල්බර්න් අතර ගමන් ගන්නා මගීන් වෙනුවෙන් වසරකට 100,000 කට අධික අඩු පිරිවැය ආසන සංඛ්‍යාවක් ලබා දීමට අපේක්ෂිතය.

Hayleys Advantis  නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ෂානෝ සබාර් මහතා සඳහන් කළේ, මෙම නව ගුවන් ගමන් සේවාව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සෘජු ගුවන් ගමන් පහසුකම් සම්බන්ධයෙන් දිගු කලක් පුරාවට පැවති හිඩැසක් පිරවීමට සමත් වූ බවයි.

“මෙතෙක් කල් කොළඹ සහ ඔස්ට්‍රේලියාව අතර ගමන් කිරීමේදී වැඩි පිරිවැයක් දරමින් වෙනත් රටක් හරහා ගමන් කිරීමට සිදු වුණා. වසරක් පුරා සතියකට දින තුනක් ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සේවාව එම තත්වය වෙනස් කරාවි. ඒ වගේම, මෙය සංචාරකයන් බහුලව පැමිණෙන කාලවලදී පමණක් නොව, සාමාන්‍ය කාලවලදී පවා අඛණ්ඩ ගුවන් ගමන් පවත්වා ගැනීමට උපකාරී වනවා.” 

“ශ්‍රී ලාංකිකයන්ට මෙමඟින් වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන තම පවුලේ සාමාජිකයන් හමුවීමට කදිම අවස්ථාවක් හිමි වන අතර, ජෙට්ස්ටාර් හි අභ්‍යන්තර ගුවන් ගමන් ජාලය හරහා සිඩ්නි, බ්‍රිස්බේන්, ගෝල්ඩ් කෝස්ට්, ටස්මේනියාව, ඕක්ලන්ඩ් සහ ක්වීන්ස්ටවුන් යන නගර වෙත ද තනි ගුවන් ගමන් සම්බන්ධතාවක් හරහා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. 

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා අඛණ්ඩ ගුවන් ගමන් පහසුකම් අත්‍යවශ්‍ය වී ඇති මෙවැනි වකවානුවක, මෙමගින් ඔස්ට්‍රේලියානු සංචාරකයන් විශාල වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. 

මෙරට ජෙට්ස්ටාර් හි විකුණුම් සාමාන්‍යාධිකාරීවරයා ලෙස අපගේ කාර්යභාරය වන්නේ, දෙරට අතර මෙම ගුවන් ගමන් මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා වාණිජමය සහ මෙහෙයුම් අතින් උපරිම සහයෝගය ලබා දීමයි” යනුවෙන් සබාර් මහතා වැඩිදුරටත් පැවසීය.