• ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4.2 ක සිට සියයට 4.0ක් දක්වා පහළට
  • උද්ධමන පුරෝකථනය සියයට 4.0 ක සිට සියයට 5.2 ක් දක්වා ඉහළට
  • දකුණු ආසියාවේ ආර්ථික වර්ධනයත් 2026 දී සියයට 6.3 ක සිට සියයට 6.0 ක් දක්වා පහළට
  • ආනයනික ඉන්ධන මත යැපීම නිසා ගෝලීය ඉන්ධන කම්පන වෙත ශ්‍රී ලංකාවේ නිරාවරණය ඉහළයි
  • බලශක්ති සහ පොහොර පිරිවැය ඉහළ යාම නිසා ප්‍රාථමික ගිණුමේ ශේෂය දුර්වලවීමේ අවස්ථාවක් 

භානුක අමරසිංහ


වර්තමානයේදී මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් උද්ගතව පවතින ගෝලීය වටපිටාවත් සමගින් 2027 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවටත්, උද්ධමනය ඉහළ යනු ඇති බවටත් පුරෝකථනය කරන බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසයි. 

එම බැංකුව විසින් පසුගියදා එළි දැක්වූ ජුලි මාසය සඳහා වන 2026 ආසියානු සංවර්ධන පෙර දැක්මේ යාවත්කාලීන සංස්කරණය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. මීට පෙර අවසන් යාවත්කාලීන කිරීම 2026 අප්‍රේල් මාසයේදී සිදු විය.

විශේෂයෙන්ම මැදපෙරදිග පවතිවන භූදේශපාලනික ගැටුම්කාරී තත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳ පොළ වෙත එල්ල වන බලපෑම, ශ්‍රී ලංකාවේ මැදිකාලීන ආර්ථික වර්ධනය වෙත සහ උද්ධමනය වෙත බලපා ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

ඒ අනුව 2026 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4.0 ක අගයක් ගන්නා බවත්, 2027 දී එය 2026 අප්‍රේල් මාසයේදී පැවැති සියයට 4.2 ක පුරෝකථනයේ සිට සියයට 4ක් දක්වා අඩු වන බවත් එම බැංකුව පෙන්වා දෙයි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ මෙම යාවත්කාලීන වාර්තාව තුළ දකුණු ආසියාව සඳහා වන ආර්ථික වර්ධනයත් අප්‍රේල් පැවැති සියයට 6.3 ක සිට සියයට 6.0 ක් දක්වා පහත හෙළා තිබේ. මෙහිදී ඉහළ ගිය ඉන්ධන මිල ගණන්, ප්‍රවාහන පිරිවැය ඉහළ යෑම සහ ප්‍රේෂණ ගලාඒම්හි අවිනිශ්චිතතා යනාදිය ඊට හේතුව වී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.

‘‘ශ්‍රී ලංකාවත් මේ දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය පහත හෙළීමේ අවස්ථාවට අයත්. ඉහළ ගිය ඉන්ධන මිල ගණන් හේතුවෙන් ශ්‍රී ලංකාවටත් තවදුරටත් බලපෑම් එල්ල වෙමින් තිබෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආනයනික ඉන්ධන මත යැපී සිටීම නිසා ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ ඇතිවන වෙනස්කම් වෙත ශ්‍රී ලංකාව වැඩි වශයෙන් නිරාවරණය වෙනවා.’’

එසේම 2026 වසර සඳහා ශ්‍රී ලංකාවේ උද්ධමනය සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේදී පැවැති සියයට 5.2ක පුරෝකථනය වෙනුවට ජුලි මාසයේදී සියයට 6.0 ක් දක්වා එය ඉහළ ගොස් තිබෙන අතර, 2027 වසර සඳහා පැවැති එම පුරෝකතනය සියයට 4.0 ක සිට සියයට 5.2ක් දක්වා ඉහළ නැංවී තිබේ. 

මෙලෙස ඉහළ යන උද්ධමන පීඩනයට ප්‍රතිචාර ලෙස 2026 අප්‍රේල් සහ ජුනි අතර කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවූ කලාපීය ආර්ථික අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී පෙන්වා දෙයි. 

“බලශක්ති සහ පොහොර පිරිවැය ඉහළ යාම කලාපය පුරා රජයේ මූල්‍ය කටයුතු මත අමතර පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරනවා. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ ශේෂය පෙර වසරට සාපේක්ෂව 2026 දී දුර්වල විය හැකියි. ඒ වගේම රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කර ගත් මූල්‍ය ලාබ ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් මුහුණ දෙන අභියෝගත් මින් පෙන්නුම් කරනවා’’ ආසියානු සංවර්ධන බැංකුව තවදුරටත් අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී යථා තත්වයට පත්වීමෙන් පසු අඛණ්ඩ ආර්ථිකය වර්ධනයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කළද, තවදුරටත් පවතින බලශක්ති වෙළෙඳපොළ අවිනිශ්චිතතාව, උද්ධමනය ඉහළ යාම සහ දැඩි මූල්‍ය තත්වය ඉදිරි වසරවලදී රටේ ආර්ථික ගමන් මාර්ගයට අවදානම් ඇති කළ හැකි බවටත් ආසියානු සංවර්ධන බැංකුව මෙම වාර්තාව තුළ වැඩිදුරටත් පෙන්වා දෙයි.