භානුක අමරසිංහ
වත්මන් රජය ආර්ථිකය ස්ථායිකරණය කරන අතරතුරදීම ප්‍රමාණාත්මක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීම සඳහා වන ආයෝජන ආකර්ෂණයට කටයුතු කරමින් සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව 2026 වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 5ක අගයක් ගනු ඇතැයි සිය අපේක්ෂාව බවද ඒ මහතා සඳහන් කරයි.
රටේ ආර්ථික තත්වය සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු කිහිපයක ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ආචාර්ය අනිල් ජයන්ත මහතා මෙම කරුණු සඳහන් කළේය.
“බොහෝ දේශීය සහ විදේශීය ආර්ථික විද්වතුන් වුණත් 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් පුරෝකථනය කරද්දී ඉදිරිපත් කළේ සියයට 3.5ක වගේ මට්ටමක්. ඒත් අපේ මැදිහත්වීමේ සාර්ථකත්වය මත මේ වනවිට තෙවැනි කාර්තුව සඳහාත් අපේක්ෂිත ඉලක්ක අභිබවලා සියයට 5.4 ක ආර්ථික වර්ධනයක් ළගා කරගන්න හැකි වෙලා තිබෙනවා. පළමු සහ දෙවැනි කාර්තුවලදී හිමි කරගත්ත සියයට 4.8ක සහ 4.9 ක වර්ධනයත් සමගින් වසරේ පළමු අර්ධයේදී සියයට 4.8ක වර්ධනයක් අපි ළගා කර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 2026 වසරේදී සියයට 5 ක මට්ටමේ ආර්ථික වර්ධනයක් අපිට හිමි කරගන්න හැකි වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
විශේෂයෙන්ම දිට්වා සුළිකුණාටුව නිසා ඇති වූ ව්‍යසනය හේතුවෙන් ආර්ථිකය තාවකාලික පසුබැසීමක් සිදුවිය හැකි වුවත්, ඇත්ත වශයෙන්ම ඒ හරහා විදේශීය ආයෝජකයන්ට අවස්ථා නිර්මාණය කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“මූලිකවම ආනයන ලිහිල් කිරීම, තනි ඉලක්කම් පොලී අනුපාත පවත්වාගෙන යෑම, නම්‍යශීලී විනිමය අනුපාතය සහ සියයට 5 කට අඩු උද්ධමනය වැනි ප්‍රතිපත්ති ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී වී තිබෙනවා.” ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම වර්තමාන රජයේ අරමුණ වන්නේ ආර්ථිකය හැකිලීම නොව, ආර්ථිකය ප්‍රසාරණය කිරීම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව මූලිකවම ආනයන සඳහා ඉඩ ලබාදී තිබෙන බවත්, ඒ හරහා ආනයන සඳහා වන ගෙවීම් වැඩිවී තිබෙන බවත් පැවසුවේය. “සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී ආනයන සඳහා එක් මාසයකට ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් වියදම් වෙලා තිබෙනවා. ඒ අතරින් වාහන ආනයනය සඳහා පමණක් මේ දක්වා ඩොලර් බිලියන 2කට වැඩි ණයවරලිපි ප්‍රමාණයක් විවෘත කරලා තිබෙනවා.”
ඒ අතරතුරදීම විදේශ ණය ආපසු ගෙවීමේ තත්වයකදී පවා විනිමය අනුපාතය යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. “මේ අවදානම පුරෝකතනය කරන්න පුළුවන් පාලනය කළ හැකි සීමා ඇතුළේ තමයි අපේ ආර්ථිකයේ මේ සියල්ල තියෙන්නේ.”
එසේම අද වනවිට මෙරට තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2ක විදේශ මුදල් සංචිතයක් පවතින බවත්, එය මාස 3.7 ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පුළුවන් විදේශ මුදල් වියදම් කරමින් සහ වියදම් කිරීම නවත්වමින් මේ සංචිත ගොඩනගා ගන්න. මේ වනවිට සිදුව තිබෙන වියදම් ප්‍රමාණය වැඩිවීමත් එක්කම, අපනයන ඉදිරියේදී සැලසුම් සහගත ලෙස ඉහළ නැංවීමට අපි කටයුතු සකස් කර තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ඉපැයීම්, විදේශීය ප්‍රේෂණ එතෙක් මෙතෙක් වාර්තා කළ වැඩිම අගය ලෙස 2016 වාර්තා කළ ඩොලර් බිලියන 7.24 ක මට්ටම පසුකරන අවස්ථාවක් මේ වසරේ උදාවෙලා තිබෙනවා.”
මේ අතර රජය ණය තිරසරභාවය ආරක්ෂා කරමින් කටයුතු කරන බවත්, ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ පවතින වසර 2032 වන විට රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 95ක මට්ටමට පත් කරගැනීමේ මාවතට මේ වනවිට පහසුවෙන්ම ගමන් කරමින් සිටින බවත් ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.
“නොවැම්බර් මාසය අග වනවිට රජය සතුව තියෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන තිස් දහස් හයසිය හතළිස් එකක්. ඊට කලින් තිබුණු ප්‍රමාණයට සාපේක්ෂව විශාල වැඩිවීමක් සිදු වෙලා නැහැ. කිසිම ආකාරයක අනවශ්‍ය ණය ගොඩගැසීමක් සිද්ධ වෙලා නැහැ. ඒ අතරින් විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.23 ක්.” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර රජය දැනටමත් විදේශීය ණය ආපසු ගෙවීම් සිදු කරමින් සිටින බවත්, 2026 සිට 2030 දක්වා කාලය තුළදී ආපසු ගෙවිය යුතු විදේශීය ණය සහ පොළියේ වටිනාකම දළ වශයෙන් ඩොලර් බිලියන 2.5ක්, 2.6ක් සහ 3.2ක් ලෙස පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. “කිසිම ආකාරයකින් එකවර ඉහළ යන ණය ප්‍රමාණයක් නැහැ. ඒ නිසා සමාජය තුළ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.”
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2026 දී ආර්ථික වර්ධනයේ සියයට 5 ක ඉලක්කයක්