ප්‍රේමකීර්ති රණතුංග
ශ්‍රී ලංකාව නිරතුරුවම විදේශ ආයෝජන කැඳවා ගැනීම පිණිස උත්සාහ කළද 1990 න් පසු මෙරටට මහා පරිමාණ විදේශ ආයෝජන පැමිණෙන්නේ නැත. 1977න් පසු ආරම්භ කළ නිදහස් වෙළඳ කලාප යටතේ යුරෝපීය හා කොරියානු වැනි ආයෝජකයන් පැමිණියද ඉන් දශකයකට පමණ පසු මව් සමාගම්වල හිමිකාරිත්වය දේශීය සහ වෙනත් ආයෝජකයන්ට පැවරිණි. විදේශ ආයෝජකයෝ කිහිප දෙනෙක් පමණක් මෙරට දිගටම රැඳී සිටිති. එහෙත් එම ආයතනද ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට ඈඳුණු ආයතන මිස බැහැර කර්මාන්ත නොවේ.
නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරද්දී විදේශ ආයෝජකයන්ගේ පැමිණීමෙන් නවීන තාක්ෂණය මෙරටට ගලා එනු ඇතැයි බලාපොරොත්තු මතු විය. එහෙත් එය එසේ නැත. අලුත් ආයෝජකයන් නිසා පමණක් නොව පැරණි ව්‍යාපාරයකට හෝ කර්මාන්තයකට විදේශ ආයෝජන යෙදවීමෙන්ද නව තාක්ෂණය රටට ගලා එනු ඇතැයි බොහෝ විට බලාපොරොත්තු වේ. තාක්ෂණය ගලා ඒම මගින් නිෂ්පාදනය වේගවත්වී රටේ ආර්ථික වර්ධනය වඩාත් වේගවත්වී ජනතාවගේ ආදායම් මාර්ග වැඩි දියුණු වන බවත් ජීවන තත්ත්වය ඉහළ යනු ඇති බවත් බලාපොරොත්තු විය. එහෙත් එසේ සිදූවූයේ නැත.
එක් රටක් පමණක් නොව ලොව සෑම රටක්ම පාහේ විදේශීය ආයෝජකයන් කෙරෙහි මහත් වූ බලාපොරොත්තුවක් දල්වාගෙන සිටිනු දැකිය හැකිය. මැලේසියාව, තායිලන්තය වැනි රටවල පටන් යුරෝපයේ ධනවත් රටවල් වන බ්‍රිතාන්‍ය ප්‍රංශය වැනි රටවල් පවා විදේශීය ආයෝජන කෙරෙහි ලැදියාවක් දක්වයි. දියුණු වීමට උත්සාහ දරණ අප වැනි රටවල් යුරෝපීය ආයෝජකයන් කෙරෙහි නිරතුරුවම දෑස් දල්වාගෙන බලා සිටියදී යුරෝපීය රටවල් දෑස් දල්වා බලා සිටින්නේ චීනය එනතුරුය. දැනට වසර දෙක තුනකට පෙර චීන ජනාධිපති ෂි ජින්පින්ගේ යුරෝපීය සංචාරයේදී බ්‍රිතාන්‍ය මහ රැජිණ චීන ජනාධිපතිවරයා පිළිගත්තේ ඉතාම ලෙන්ගතුවය. එයට හේතුව මහා පරිමාණ චීන ආයෝජනය.
විදේශීය ආයෝජකයන් කැඳවන ප්‍රධානතම හේතුව වී ඇත්තේ සෑම රටකම වේගයෙන් ඉහළ යන විදේශීය ණය සහ ආර්ථික ගැටලුය. මුදල් හදල් සහ කැම බීම ගෙන එන ඉටු දෙවියන් වැනි විදේශීය ආයෝජකයන් එනතුරු දෑස් දල්වා බලා සිටින්නේ අප පමණක් නොවේ.
එහෙත් මෙරටට විදේශීය ආයෝජකයන් නොපැමිණෙන්නේ ඇයි?
චීනය විදේශ ආයෝජකයන්ට විවෘත වූයේ ඩෙංග්ෂියා ඕ පෙන්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේය. මාවෝ සේතුංගේ විප්ලවයෙන් පසුව වර්තමාන චීනයේ ආර්ථික විප්ලවයේ නියමුවා ලෙස සැලකෙන්නේ ඩෙංග් ෂියා ඕ පෙන්ය. රට තුළ එතෙක් පැවැති ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරමින් විදේශ ආයෝජනවලට දොර විවර කළ ඩෙංග් ෂියා ඕ පෙන් ජනාධිපතිවරයා එම විදේශ ආයෝජන පැමිණිය යුත්තේ තාක්ෂණයද සමග බවට කොන්දේසියක් පැනවීය.
පෞද්ගලික දේපොළ හිමිකාරිත්වය වේගයෙන් දියුණු වෙමින් පැවැති චීනය තුළට විදේශීය වාහන සමාගම් පැමිණියේ චීනය පූර්ණ ලෙස නිෂ්පාදිත වාහන ආනයනය නොකළ නිසාය. චීනයේ අති විශාල වෙළෙඳපොළ තුළ විදේශීය සමාගම් ශාඛා අරඹමින් මෝටර් රථ නිෂ්පාදනය කළ අතර ශ්‍රමය, අමුද්‍රව්‍ය ඇතුළු සියල්ල චීනයෙන් සැපයුණි. ලාබයෙන් වැඩි කොටසක් මෝටර් රථ සමාගමට හිමිවිය. ඒ සමගම චීන ශ්‍රමිකයන්ට විදේශීය තාක්ෂණය උරාගත හැකිවිය. වසර ගණනකට පසු එම නිෂ්පාදන පූර්ණ දේශීය නිෂ්පාදන බවට පත් වුවත් අදත් විදේශීය සන්නාමයට හිමි ලාබය මව් සමාගමට බැරවෙයි. චීනයේ මහා මාර්ගවල ටැක්සි රථ ලෙස බී.එම්.ඩබ්ලිව්. වැනි විදේශීය සුඛෝපභෝගී වාහන ධාවනය වුවත් ඒවා චීන නිෂ්පාදන මිස ජර්මනියෙන් ආනයනය කළ ඒවා නොවේ. විවෘත වෙළඳ සංකල්ප තුළ තාක්ෂණය උකහා ගනු ලබන්නේ එපරිද්දෙනි. 1969 දී ඉතාලියේ ‘ලැම්බ්‍රෙටා’ මෝටර් රථ සමාගම විසින් ජාඇල කර්මාන්ත ශාලාවක් විවෘත කළේය. වර්තමාන ත්‍රීවීලරයට සමාන රෝද තුනේ වෑන් රථයක් සහ ස්කූටර් රථ එහි නිෂ්පාදනය කළත් 1977 වනවිට එම කර්මාන්ත ශාලාව වැසී ගියේය. 1970 අගෝස්තුවේ පූර්ණ දේශීය නිෂ්පාදනයක් ලෙස ඇරඹු ‘උපාලි ෆියට්’ මෝටර් රථ සමාගම වේගයෙන් දියුණු වෙමින් පැවතියත් 1977 නිදහස් වෙළෙඳ සුළඟට ගසාගෙන ආ නවීන මෝටර් රථවලට මුහුණ දීමට උපාලි මෝටර් රථ සමාගමට නොහැකි විය.
ආයෝජන යනුවෙන් දියුණු රටවල් සිදු කරන්නේ දියුණුවෙන් ඌන රටවල තම ධනය ආයෝජනය කර ලාභය ඇද ගැනීමය. තම රටවල ශ්‍රමයට වඩා අඩු දියුණු රටවල ශ්‍රමය ලාබදායක නිසා එවැනි රටක කුඩා කර්මාන්තකරුවකුට වුවද අඩු දියුණු රටකදී ආයෝජකයකු විය හැකිය. එහෙත් ඔවුන් සැබෑ ආයෝජකයන් නොවේ. ලාබ යනුවෙන් ඔවුන් මෙහිදී ලබා ගන්නේ සම්පත් මිලදී ගැනීමේ හැකියාවය. අවසානයේදී ඔවුන්ට වැඩි සම්පත් ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව ලැබෙයි. ඔවුන් සමග තරග කිරීමට විදේශ ආයෝජකයන්ට ආරාධනය කළ අඩු දියුණු රටවලට නොහැකි වේ. එනිසා දියුණු රටවල ජීවන තත්ත්වය හා ආදායම කරා ළඟාවීමට අඩුදියුණු රටවලට නොහැකිවේ.
ආයෝජකයා දේශීය වුවද විදේශීය වුවද ඔහු යම් ව්‍යාපාරයක හෝ කර්මාන්තයක මුදල් ආයෝජනය කරනුයේ ලාබ ලැබීම සඳහාය. එය ඔහුගේ ලාබය මිස රටේ ලාබය නොවේ. එවැනි අවස්ථාවක ලාබයට අයිතිවාසිකම් කීමට ශ්‍රමිකයන්ට හිමිකමක් නැත. ශ්‍රමිකයාට ඒ වෙනුවෙන් වැටුප් ගෙවනු ලැබේ. අදාළ රටට ඒ වෙනුවෙන් බදු ගෙවීමද ශ්‍රමිකයන් නඩත්තු කිරීම මගින් ඔවුන්ගේ රැකියා ප්‍රශ්නය තාවකාලිකව හෝ විසඳීම ද සිදුවේ. එහෙත් එම ආයෝජන තාවකාලිකය. නිදසුනක් ලෙස මැණික් පතලකට සමානය. පතලේ මැණික් අවසන් වූ පසු වෙනත් තැනක මැණික් පතළක් කැපීමට පෙර පතල අත්හැර දමයි.
මෙරටට පැමිණෙන ආයෝජන ද එවැනිය. අදාල කාල සීමාව තුල ලාබය උපයාගෙන ආයෝජනය අවසන් කෙරෙයි. ඇතැම් විට කීර්ති නාමයක් යම් තරමකට හෝ තිබේ නම් වෙනත් ආයෝජකයකු එහිම අලුත් ආයෝජනයක් අරඹයි. එහෙත් ආයෝජනය ආපසු ගිය පසු එම තාක්ෂණය මෙරට ඉතිරි වන්නේ නැත. එවැනි ආයෝජන සැබෑ ආයෝජන ලෙස සැලකිය නොහැකිය.
විදේශ ආයෝජන සම්බන්ධයෙන් තර්ක දෙකක් මතුවේ. එක් මතයක් වන්නේ විදේශ ආයෝජන සමග තාක්ෂණයද රට තුළට ගලා එන බවය. අනෙක් තර්කය වන්නේ එසේ ගලා එන තාක්ෂණය යන්ත්‍ර තැනීමේ තාක්ෂණය නොවන බවය. දියුණු වූ රටවල් විසින් ඌණ සංවර්ධිත රටවල් තවදුරටත් තම වෙළඳපොළ ලෙස තබා ගැනීමට අවශ්‍ය නිසා එම දියුණු රටවල් ඌණ සංවර්ධිත රටවලට තාක්ෂණය ලබා දෙන්නේ එක්තරා ප්‍රමාණයකට බවත් එහෙයින් ආයෝජන සමග පැමිණෙන්නේ නියම තාක්ෂණය නොවන බවත් එම තර්ක යයි. මෙම තර්ක දෙකම මෙරටදීත් මතු වුවත් ආයෝජන සමග දියුණු තාක්ෂණය මෙරටට හිමිවූ බවක් ගෙවී ගිය හතලිස් පස් වසර තුළම දැක ගන්නට නැත. ආයෝජකයා මෙරට සිටින තුරු සිදුවන ඔහුගේ නිෂ්පාදන එම ආයෝජකයා මෙරටින් ඉවත්ව ගිය පසු නතරවීම අප රටේදී දැකගත හැකිවිය. ඒ අනුව පෙනී යන්නේ මෙරට කම්කරුවන් ශ්‍රමිකයන් ලෙස පමණක් තබා ගනිමින් ආයෝජන සිදු කළ බවය. එහෙත් ඉන්දියාව වැනි රටවල් එසේ නොවේ. බ්‍රිතාන්‍යයේ ලේලන්ඩ් සමාගම සමග හවුල් ආයෝජනයකට එළඹුණු ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම තනිව වාහන නිෂ්පාදනය කරයි. ජපානයේ සුසුකි සමාගම සමග හවුල් ආයෝජනයකට එළඹුණු මරුටි සුසුකි නමින් යුත් නිෂ්පාදනය තනිවම වාහන නිෂ්පාදනය කරයි. ලංකාවේ තිබූ විදේශ ආයෝජනවලින් එවැනි දේශීය කර්මාන්තයක් බිහිවූයේ නැත.
1950 දී ලෝක බැංකුව මෙරට ආර්ථිකය සම්බන්ධන්ධයෙන් ලබාදුන් උපදෙසක් අදටත් වලංගුය. එකල මෙහි පිහිටුවන්නට අදහස් කර තිබූ කර්මාන්ත කිහිපයක්ම ආරම්භ නොකරන ලෙස ඔවුහු උපදෙස් දුන්හ. එකල තිබූ කම්හල්වලට ආධාර දීම විනා අලුතෙන් කර්මාන්ත ආරම්භ නොකළ යුතු බවත් රජය කර්මාන්ත කරගෙන යාම අත්හල යුතු බවටත් උපදෙස් දුන්නේය. ආණ්ඩුව කළ යුත්තේ දක්ෂ කම්කරුවන් සහ කාර්මිකයන් පුහුණු කිරීමටත් ලංකාවේ භූ විද්‍යා පරීක්ෂණ සිදුකර මෙරට ඇති මූලද්‍රව්‍ය ගැන පැහැදිලි අනාවරණයක් කරගත යුතු බවත් ඔවුහු උපදෙස් දුන්හ. ලෝක බැංකුව කියා සිටියේ මෙරට යපස්, ඛනිජ තෙල්, ටින් වැනි ලෝහ වර්ග ආදිය නොමැති නිසා කර්මාන්ත ශාලා ආරම්භ කළත් අමුද්‍රව්‍ය ප්‍රශ්නය මතු වන බවය. ආයෝජනවලට ද එය බලපායි. මෙරටට පැමිණෙන ආයෝජකයන් කර්මාන්තකරුවන් නොව ශ්‍රම සම්පත පමණක් බලාපොරොත්තුව මෙහි පැමිණෙන්නවීම තුළින් වසර හතළිස් පහක් අප තේරුම් ගෙන ඇති සත්‍යය එයයි. විදේශ ආයෝජකයන් කැඳවා ගැනීම අපට තවදුරටත් ‘සිහිනයක්’ වී ඇත්තේ එම නිසාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදේශ ආයෝජන ඇත්ත නැත්ත